බය නැතිව ලංකාවට එන්න ශ්‍රී ලංකාව ආරක්ෂිතයි | සිළුමිණ

බය නැතිව ලංකාවට එන්න ශ්‍රී ලංකාව ආරක්ෂිතයි

ආරක්ෂාව සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ මම ආරක්ෂිතව ඉතා සතුටින් ඉන්නේ ඒ නිසා ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවට දැන් එන්න පුළුවන් යැයි ජර්මානු ජාතික ජේසි ඉරිනා (30) මෙනවිය පැවසීය.

ශ්‍රී ලංකාව කියන්නේ මා සංචාරය කළ අලංකාරම සුන්දරම රටක්. මෙහි සුන්දරත්වය විඳ ගන්නට ලැබීම මා ලද භාග්‍යයක් බවද ඇය කීවාය. අලංකාර දිය ඇලි, මනරම් වනාන්තර කොළඹ කොළපාට ගම්මාන ඒ වගේම සුන්දර වෙරළ තීරයක් ඇතුළු ස්වභාවික පරිසරයන් මා සජීවව මීට පෙර දැක නැතැයිද ඇය පැවසුවාය.

ත්‍රීකුණාමලය නිලාවැලි මුහුදු ප්‍රදේශයේ පිහිටි පරවි දූපතේදී (Pigeon Island) ඇය මේ බැව් ඉකුත් (8) වැනිදා ‘සිළුමිණ’ ට පැවසුවාය.

අලංකාර ‘පරවි දූපත’ වටා පිහිටි කොරල් පර උද්‍යානය දැක ගැනීමට ඇය තවත් විදේශ සංචාරකයින් කිහිප දෙනකු සමඟ පැමිණ සිටියාය.

අප්‍රේල් මස 21 වැනිදා මෙරටට එල්ල වූ අන්තවාදි මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකම සිටි විදේශ සංචාරකයින් මෙරටින් වහාම පිටව ගිය අතර, ඉන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.

ඩොලර් මිලියන ගණනක් මෙම කර්මාන්තයට අදාළව මෙරටට අහිමි විය. මේ සමඟම යුරෝපය ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් රැසක්ම එරට වැසියන්ට නියෝග කර සිටියේ නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසටයි. එහෙත් රටවල් කිහිපයකම සංචාරකයන් සුළු වශයෙන් මෙරටට පැමිණියහ.

වසර ගණනක් යන තුරු සංචාරකයින් මෙරටට පැමිණෙනු නැතැයි බොහෝ පිරිස් ඉකුත් කාලය තුළ ප්‍රකාශ නිකුත් කළ අතර, තවමත් රටවල් බොහෝමයක් සිය වැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බවත් පවසා ඇත.

එහෙත් ත්‍රීකුණාමල ප්‍රදේශය පුරා මේ වන විට සංචාරකයින් දැක ගත හැකි අතර එය වෙනදා තරම් විශාල පිරිසක් නොවන අතර සැලකිය යුතු ප්‍රමාණයක් බව සඳහන් කළ හැකිය.

පරවි දූපත අවට කොරල්පර සහ මුහුදු ජීවින් දැක බලා ගැනීම සඳහා එහි කිමිඳීමට පැමිණි රටවල් කිහිපයකම සංචාරකයින් සිය අත්දැකීම් අප සමඟ පැවසීය.

රුසියානු ජාතික ක්ලේයෝ

“ලංකාව කියන්නේ පුදුම රටක් මට ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිට දැනෙන්නේ සිතෙන්නේ මේ මම සොය සොයා සිටි රට බවයි. මට මෙහි නතර වීමට අවශ්‍යයි. ඒ කියන්නේ සැමදාම. ඒත් ඒක කරන්නේ කොහොමද කියන ගැටලුව පැණනැ‍ගෙනවා.

ලංකාවේ ජනතාව හරිම මිත්‍රශීලියි. සංග්‍රහශීලියි. නිතරම කාට හරි උදව්වක් කරන්න කැමැත්තෙන් සිටින පිරිසක්.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණිමට පොඩි බියක් තිබුණා. හැබැයි ඒ බිය බොරු එකක් කියලා මම මගේ යාළුවන්ට ප්‍රකාශ කළා.

ලංකාවට ආපු දවසේ ඉදලා කිසිම ගැටලුවක් නැහැ. දැන් සති තුනක් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ආරක්ෂාවට බියක් තබා ගැනීමට අවශ්‍ය නැහැ.

එත්ලනා බෲස් බෙරලුස්

මම කාලයක සිට ලංකාවට එනවා. යනවා. ඒ නිසා මට, ලංකාව මගේ රට වගේම දැනෙනවා. ත්‍රස්තප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට නොයන ලෙස අපගේ රජය ජනතාවට දැනුම් දුන්නා. ඒ වුණත් මම ලංකාවට ආවා. මං බියක් තිබුණේ නැහැ. ලංකාවට යන්න එපා කියද්දි මෙහි පැමිණීම ගැන මගේ මිතුරන් විරුද්ධ වුණා. ඒත් මෙහි පැමිණීමෙන් පසු මම ඔවුන්ට සැබෑ තත්ත්වය පැවසුවා. ශ්‍රී ලංකාව ආරක්ෂිත බව ප්‍රකාශ කළා.

ඉන්පසුව මගේ මිතුරන් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකාවට පැමිණියා.

මේ තරම් රස ආහාර පාන මම ලෝකේ වෙන රටවලදී ආහාරයට ගෙන නැහැ. ලංකාවේ දැන් මට මිතුරු මිතුරියන් රැසක් ඉන්නවා. ඔවුන් මා ගැන නිතර සොයා බලනවා. ඒ නිසා ලෝකේ ඕනෑම රටක අයෙකුට ලංකාවට පැමිණිය හැකි තත්ත්වයක් දැන් ඇති වෙලා තිබෙනවා.

ලෙබනන් ජාතික මොහොමඩ් මන්මනුර්

මුස්ලිම් ජාතීන්ට කරදරයි කියලා ලෝකය වටා බොරු පණිවිඩයක් යනවා. ලංකාවේ එහෙම කිසිම ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාවේ හරිම මිත්‍රශීලි ජනතාවක් ජීවත් වෙන්නේ. ඔවුන් නිතරම අනෙකාට වන කරදරය හිරිහැරය ගැන අවධානයෙන් ඉන්නේ.

මට මගේ රජය ලංකාවට යන්න එපා කියලා කියද්දී තමයි මම මෙම සංචාරය පැමිණියේ. මෙහි කිසිම අනාරක්ෂිත බවක් නැහැ. ඒ නිසා මම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව විඳින්න මෙහි පැමිණෙන්න කියලයි.

ඔස්ට්‍රියා ජාතික එලීසා

ශ්‍රී ලංකාවට සංචාරය කරන්න එපා කියලා අපට අපගේ රජය අවවාද කරලා තිබෙන්නේ. ඒ, මේ රට අනාරක්ෂිතයිලු. එම නියෝගයට පිටු පාමින් මම තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මෙරටට සංචාරය කළා.

මෙහි කිසිම අනාරක්ෂිත තත්ත්වයක් නැහැ. ත්‍රිවිධ හමුදාව පොලිසිය සෑම ප්‍රදේශයකම සිටිනවා. ඔවුන් හොඳින් ආරක්ෂාව සපයනවා කියලා තමයි මට කියන්න පුළුවන්. අනික ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න හරිම පහසුයි. ඉතා අඩු මුදලකට ලාබදායි ලෙස සෑම දෙයක්ම ලබා ගත හැකියි. ජනතාවත් හරිම මිත්‍රශීලියි.

සංචාරකයින්ගේ මෙම ප්‍රකාශවලින් පැහැදිලිව කිව හැක්කේ කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය ඉතා ඉක්මනින් යළි තිබූ තත්ත්වයට පත්වනු ඇති බවයි.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments