ලංකාවේදී හිතේ ඇඳී තායි­ල­න්තයේදී සැබෑවූ ‘සුදු පන්සල’ | සිළුමිණ

ලංකාවේදී හිතේ ඇඳී තායි­ල­න්තයේදී සැබෑවූ ‘සුදු පන්සල’

* පන්සල තැනුවේ චිත්‍ර විකුණා ලද මුදලින්
* නිර්මා­ණ­කරු මෙරට දී මංජු ශ්‍රී සමඟ චිත්‍ර ඇඳලා
* බැහැර කළ­ යුතු රන් ගැන කියන්න වැසි­කි­ළි­ව­ලට රන් පැහැය

උතුරු තායි­ල­න්තයේ චින්ග්රායි පළාතේ ගිනි­යම් අහස යට සුදෝ සුදු පැහැ­යෙන් බැබ­ළෙන මන­රම් නිමැ­වු­මකි. වට් රොන්ග් කුන් (Wat Rong Khun) සැබෑ නම වුවත් එය ලොව පුරා ප්‍රච­ලි­තව ඇත්තේ ‘වයිට් ටෙම්පල්’ යනු­වෙනි. ‘වට්’ යනු තායි භාෂා­වෙන් ‘විහා­ර­ස්ථා­නය’ යන්නය. වට් රොන්ග් කුන් යනු රොන්ග් කුන් විහා­ර­ස්ථා­නය යන්නය. වයිට් ටෙම්පල් (White Temple) අද මුළු තායි­ල­න්ත­ය­ටම ආභ­ර­ණ­යකි. විදෙස් සංචා­ර­ක­යන් ලක්ෂ ගණ­නක් ඇදී එන තායි­ල­න්තයේ ආක­ර්ෂ­ණීය පුද­බි­මකි.

මෙම මහා නිර්මා­ණයේ නිමැ­වු­ම්කරු චැල­ම්චායි කොසි­ට්පි­පටා (Chalemchai Kositpipat) තායි ජාති­ක­යකු වුව ද ශ්‍රී ලංකාව සමඟ ද අම­තක කළ නොහැකි බැඳී­මක් ඇත්තෙකි. බැංකොක් නග­රයේ සිට කි.මී. හත්සිය අසූ­වක මග ගෙවා අප චින්ග්රායි වෙත පැමි­ණියේ චැලෙ­ම්චායි ගැනත් ඔහුගේ සුදු පන්සල ගැනත් ඔබට කිය­න්න­ටය.

චැලෙ­ම්චා­යිගේ සුදු පන්සල තායි­ල­න්තයේ අනෙක් පන්ස­ල්ව­ලින් වෙනස් වන්නේ එය තනි­ක­රම සුදු පැහැ­යෙන් නිර්මා­ණය කර තිබීම හේතු­වෙනි. තායි­ල­න්තයේ සෑම පන්ස­ලක් ම පාහේ රත්­රන් පාටය. බොහෝ පන්ස­ල්වල රන් ආලේ­පිත බුදු පිළිම, රන් ආලේ­පිත ගොඩ­නැ­ඟිලි දක්නට හැකි ය. එහෙත් වයිට් ටෙම්පල් භූමිය පුරාම රත්­රන් පැහැ­යෙන් දක්නට ලැබෙන්නේ එකම එක ගොඩ­නැ­ඟි­ල්ලක් පමණි. ඒ එහි වැසි­කිළි ඉදි­කර ඇති ගොඩ­නැ­ඟිල්ල ය. එයින් අද­හස් කරන්නේ රත්­රන් වැනි දෑ එත­රම් වැද­ගත් කොට තැකිය යුතු නැති බවය. චැලෙ­ම්චායි විස්තර කරන්නේ රත්­රන් වැනි භෞතික වටි­නා­කම් සහිත දෑ වැසි­කි­ළිය මෙන් සැල­කිය යුතු බවත් සුදෝ සුදු­වන් ධර්ම මාර්ගයේ ජීවි­තය ගමන් කර­විය යුතු බවත් ය.

බැංකොක් සිට චින්ග්රායි වෙත දුර කි.මී. අට­සි­ය­ය­කට ආසන්න ය. අප මෙහි ආවේ අත­ර­මඟ හමු­වන ............., චින්ග්මායි යන ප්‍රධාන නගර දෙකෙහි රාත්‍රි දෙකක් ගත කිරී­මෙන් අන­තු­රු­වය. තායි­ල­න්තය පිළි­බ­ඳව අප සතු අත්දැ­කීම් අනුව ද ලාංකි­ක­යන්ට වඩාත් ගැළ­පෙන ගමන් මාර්ගය එය­මය. අතීත සියම් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍ර­ත්වයේ මඟ සල­කු­ණුත්, විශේ­ෂ­යෙන් සියම් රටේ ‍බෞද්ධ උරු­ම­ය­නුත් මේ මගේ ඕනෑ තරම් දක්නට පුළු­වන. අභ්‍ය­න්තර ගුවන් සේවා මඟින් පැය එක හමා­ර­කදී බැංකොක් සිට චින්ග්රායි වෙත පැමි­ණිය හැකි ය. දුම්රි­යෙන් එන්නේ නම් බැංකොක් සිට චින්ග්රායි කරා ඒමට පැය දහ­යක පමණ කාල­යක් ගතවේ.

අප වයිට් ටෙම්පල් වෙත ළඟා වෙන විට උදෑ­සන දහය පසු­වූවා පමණි. එහි ඇති රස්නය ඇඟට දරා­ගත නොහැකි තරම් ය. එහෙත් දෙස් විදෙස් සංචා­ර­ක­යන් දහස් ගණ­නක් ඒ වන­වි­ටත් වයිට් ටෙම්පල් භූමි­යෙහි ය. බාත් පන­හක් (රුපි­යල් තුන්සි­ය­යක්) ගෙවා ටිකට් පතක් ගෙන ඇතු­ළු­වීමි. ඇතුළු වන තැනම ඇත්තේ රූස්ස ගසකි. එහි සෙවණ ඇඟ දවන රස්න­යට පුදුම අස්වැ­සි­ල්ලකි. තායි­ල­න්තයේ අනෙ­කුත් ප්‍රදේ­ශ­වල මෙන් ම චින්ග්රා­යි­හිද වසරේ වැඩි කාල­යක් ඇත්තේ උණු­සුම් කාල­ගු­ණ­යකි. වයිට් ටෙම්පල් පුරා තැන තැන ඇති ගස් වෙහෙස නිවන නැවැ­තුම් ය.

ඒ ගස් අත­රින් ඇවිද යද්දී වම් පසින් දක්නට ලැබෙන්නේ සුදෝ සුදු ගොඩ­නැ­ඟි­ල්ලකි. එය මේ බිමේ ප්‍රධාන සහ විශා­ලම ගොඩ­නැ­ඟි­ල්ලය. අලං­කාර කැට­ය­ම්ව­ලින් නිම­කර ඇති ගෘහය ඉර එළි­යට දිලි­සෙන්නේ දිය­මන්ති ඔබ්බවා ඇති අයු­රිනි. ගොඩ­නැ­ඟිල්ල වටා දිය අග­ලකි. දුටු විට එක් වරම සිහි­යට නැ‍ඟෙන්නේ තායි ජාති­ක­යන් ජල­යත් සමඟ ඇති බැඳී­මය. අප ඇවි­ද­යන පාරේ වම් පස දිය අග­ලය. එයට ‍එතෙර සුදෝ සුදු ගොඩ­නැ­ඟි­ල්ලය‍. දකුණු පස කුඩා ගොඩ­නැ­ඟිලි කිහි­ප­යකි. රත්­රන් පාටින් නිම කළ වැසි­කිළි සහිත ගොඩ­නැ­ගිල්ල ද ඒ අතර ය. රත්­රන් පැහැය යැයි කීව ද එය සැබැ­වින් ම රන් ආලේ­පිත ගොඩ­නැ­ඟි­ල්ලකි.

චලෙ­ම්චායි චින්ග්රා­යි­හිම උපත ලැබූ­වෙකි. අනූව දශ­කයේ අග භාග­යෙහි ඔහු වයිට් ටෙම්පල් ගොඩ­නැ­ඟීම ආර­ම්භ­කර ඇත්තේ ඒ වන­වි­ටත් පැවැති පන්ස­ලක් වැඩි දියුණු කිරී­මක් ලෙස­ටය. අනූව දශ­කය වන­වි­ටත් ඔහු තායි­ල­න්තයේ ජන­ප්‍රිය මෙන් ම දක්ෂ සිත්ත­රෙකි. තමන්ගේ ගම් ප්‍රදේ­ශයේ එත­රම් සැල­කි­ල්ලක් නොලැ­බෙන පුංචි පන්ස­ලක් ලෝකයේ ම අව­ධා­නය ලැබෙන තැනක් බවට පත්කි­රීම චලෙ­ම්චා­යිගේ අර­මුණ වී ඇත. එහි පසු­බිම් කතාව ශ්‍රී ලාංකික අපට ද අත්හළ නොහැකි මත­ක­ය­න්ගෙන් සම­න්වි­තය. එක්ද­හස් නව­සිය අසූ­වේදී ශ්‍රී ලංකා­වට පැමිණි චලෙ­ම්චායි යළි තායි­ල­න්ත­යට ගොස් ඇත්තේ මාස හය­කට පසුව ය. වයිට් ටෙම්ප­ල්හිදී අහ­ම්බෙන් අපට මුණ­ගැ­සුණු ඔහු අප ශ්‍රී ලාංකි­ක­යන් බව දැන බෙහෙ­වින් සතුටු විය. උණු­සුම් පිළි­ගැ­නී­මක් ද ලැබිණි. ලංකාවේ ගත කළ මාස හයක කාලය ගැන ඔහු මෙසේ කියයි.

“ලංකාවේ චිත්‍ර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ‍මම බෙහෙ­වින් අගය කර­නවා‍. මම ඇත්ත­ටම ලංකා­වට ගියෙ ඒවා ගැන ඉගෙන ගන්නත් එක්ක. මම ලංකාවෙ ප්‍රකට චිත්‍ර ශිල්පි­යෙක් වුණු මංජු ශ්‍රීව හමු­වුණා. ඔහුත් එක්ක වැඩ කළා. ලංකාවෙ චිත්‍ර ශිල්පය ගැන බොහෝ දේවල් ඔහු­ගෙන් ඉගෙන ගත්තා. මම ලංකා­වේදි චිත්‍ර හැටක් ඇඳලා, ඒක­පු­ද්ගල චිත්‍ර ප්‍රද­ර්ශ­න­ය­කුත් කළා. එයින් කීප­යක් ලංකා­වේ­දිම විකි­ණුණා. ‍ඔය චිත්‍ර හැට විකු­ණලා ලැබුණු සල්ලි මම පාවිච්චි කළේ වයිට් ටෙම්පල් එ‍ක හදන වැඩ­ව­ලට.

තවත් විශේෂ කාර­ණ­යක් තියෙ­නවා. සුදු පන්ස­ලක් ගැන අද­හස මට මුලින් ම ආවෙ ලංකා­වෙදි‍. තායි­ලන්තෙ හැම තැනම තියෙන්නෙ රත්­රන් පාට පන්සල්. මම රත්­රන් පාටට කැමැති නැහැ. මම කැමැති සුදු පාටට. සුදු කියන්නෙ පාරි­ශු­ද්ධ­ත්වයේ පාට.”

ඔහුගේ මුහුණ නිර­තු­රුව සින­හ­ව­කින් පිරී පව­ති­න්නකි. කතා කළ කාලය පුරා­මත් ඔහුගේ මුහුණේ වූයේ සින­හ­වකි. අසල සිටි සේව­ක­ය­කුට අප හඳු­න්වා­දෙ­මින් චලෙ­ම්චායි කීවේ වයිට් ටෙම්පල් භූමිය පුරා ඇවිද යන්නට අපට මඟ පෙන්වන ලෙස ය. “මම ලංකා­වට හරිම ආද­රෙයි. ඒක හරිම ලස්සන රටක්.” ඒ චලෙ­ම්චායි අපට සමු­දුන් වදන්ය.

මම අසල පිහිටි රන් ආලේ­පිත වැසි­කිළි සහිත ගොඩ­නැ­ගි­ල්ලට ඇතුළු වුණෙමි. රත්­රන් ගෑ වැසි­කි­ළි­ය­කට ඇතුළු වන පළමු අව­ස්ථාව මෙයයි.‍ බොහෝ විට එකම අව­ස්ථාව ද මෙය විය හැකි ය. රත්­රන් ආලේ­පිත වැසි­කිළි පද්ධ­ති­යක් ඇති ලෝකයේ එකම තැන මෙය වන්නට ද පුළු­වන. එය රත්­රන් මෙන් පිරි­සුදු සනී­පා­ර­ක්ෂක ඒක­ක­යකි.

වැසි­කිළි පද්ධ­තිය පසු­කර තවත් ඉදි­රි­යට යද්දී දිය අග­ලෙන් සුදෝ සුදු ගොඩ­නැ­ඟි­ල්ලට ඇතු­ළු­ව­න්නට තැනූ පාල­මකි. පාල­මක් යැයි කීව ද එය ගොඩ­නැ­ඟි­ල්ලේම කොට­සකි. එහි දෙප­සම ඇත්තේ මන­රම් කැට­යම් ය. ගොඩ­නැ­ඟිල්ලේ පිටත ද කැට­ය­ම්ව­ලින් අලං­කාර කර තිබේ. ගෘහය ඇතු­ළත ස්ථාන කිහි­ප­ය­කම බුදු පිළිම දක්නට හැකි ය. ඒවාත් නිම­කර ඇත්තේ සුදෝ සුදු පාටිනි.

දෙද­හස් දහ හතර වසරේ මැයි පස්වැ­නිදා උතුරු තායි­ල­න්ත­යට විශේ­ෂ­යෙන් චින්ග්රා­යි­ව­ලට ඇතිවූ ප්‍රබල භූමි කම්පා­වක් නිසා වයිට් ටෙම්පල් වෙත ද දැඩි හානි සිදු­විණි. එයින් චලෙ­ම්චායි දැඩි පීඩ­න­ය­කට පත්වුණු බව පැවැසේ. පසුව ඔහු වයිට් ටෙම්පල් තිබු­ණ­ටත් වඩා හොඳින් යළි ගොඩ­න­ඟ­න්නට තීර­ණය කැර ඇත. චින්ග්රායි වැසියෝ ද ඒ සඳහා ඔහුට උදව් කළහ. අද අපට දක්නට ලැබෙන්නේ දෙද­හස් දහ හතරේ මැයි පහට පෙර තිබූ වයිට් ටෙම්ප­ල්ව­ල­ටත් වඩා විචි­ත්‍ර­වත් වූවකි.

බුදු­ද­හම හදා­රන අයට ද මෙය කදිම නැවැ­තු­මකි. චලෙ­ම්චා­යිගේ එක් අර­මු­ණක් වී ඇත්තේ ද බුදු දහමේ ඉගැ­න්වීම්, මඟ පෙන්වීම් වයිට් ටෙම්පල් හරහා ලෝක­යට බෙදා හදා දීමය. වි‍‍ශේෂ­යෙන් භාව­නා­නු­යෝ­ගීව මාන­සික නිද­හස අපේක්ෂා කර­න්නන්ට තම භූමිය නිර­තු­රුව විවෘ­තව පව­තින බව චලෙ­ම්චායි පව­සයි. ඔහ‍ුගේ තවත් විශේ­ෂ­ත්ව­යක් වන්නේ වයිට් ටෙම්පල් ගොඩ­නැ­ඟී­මේදී පෞද්ග­ලික ධන පරි­ත්‍යාග ලබා නොගැ­නී­මය. ඔහු ඔහුගේ චිත්‍ර අලෙවි කර ලබා­ගත් මුදල් මෙය ඉදි­කි­රී­මට යොදවා තිබේ.‍ මෙහි නඩත්තු කට­යුතු සහ පව­ත්වා­ගෙන යෑමට යොදා­ගන්නේ ඇතු­ළු­වීමේ ටික­ට්පත් අලෙවි කර ලැබෙන මුදල්ය. පරි­ත්‍යා­ග­ශී­ලීන්ට ද දැන් අව­ස්ථා­වක් ලබාදී ඇති නමුත් එය සීමා­ව­කට යටත් කර ඇත.

වයිට් ටෙම්පල්හි සුදෝ සුදු ගෘහයේ එක් පසෙ­කින් ඉර අව­රට හැරී තිබේ. එය අපට මතක් කරන්නේ අප මෙහි ගත ක‍ළ කාලය හෝරා කීප­යක් ම ඉක්ම ගොස් ඇති බවය. උදේ අටට විවෘත කරන මෙය හවස හය දක්වා විවෘ­තව පවතී‍. අපට තවත් හෝරා­වක් දෙකක් මෙහි ගත කළ හැකි නමුත් වයිට් ටෙම්පල් වෙතින් සමු­ගත යුතුව ඇත. ඒ තවත් ගම­නා­න්ත­යක් බලා ය. මෙහි ප්‍රධාන දොර­ටුව අසල පුව­රු­වක මෙසේ සඳ­හන් කර තිබේ.

හසිත කුරුප්පු
‘Gate of Heaven’

අදහස්