ජාතික හැඟීමක් නැති තැන ජාතික ජයග්‍රහණයක් කොහිද? | සිළුමිණ

ජාතික හැඟීමක් නැති තැන ජාතික ජයග්‍රහණයක් කොහිද?

ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග කාරිත්වයෙන් යුක්තව ක්‍රීඩා කරන්න ඕනෑ. ඒක ඉන්දියාව අනුකරණය කිරීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉන්දියාව එක්ක ගනිද් දී අපි තවමත් ඉන්නේ සීමිත දක්ෂතා අතරයි.

හැම තරගයකදීම ශතකයක් ලබා ගන්නා පිතිකරුවන් හෝ පැයට කිලෝමීටර් 140 ට වඩා වැඩි වේගයකින් පන්දු යවන ක්‍රීඩකයන් අප සතුව නෑ. ඒත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුවිශේෂ වූ රිද්මයක් තියෙනවා. තියෙන සුවිශේෂ දේවල් ටික හරි වෙලාවට හරි තැන දී එළියට දා ගන්න පුළුවන් නම් අපට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්.

මගේ නායකත්වය ගැන ප්‍රශ්නයක් නෑ. සියලුම දෙනා එය පිළිගන්නවා. මට ඇති එකම ගැටලුව පිතිකරුවකු ලෙස උපරිම දක්ෂතා අතරට එන එක විතරයි.“ දිමුත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී පැවැසීය.

“ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන් නමුත් ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. මෙම පරාජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූයේ ඔවුන්ට බංගලාදේශ තරගය හා පාකිස්තාන තරගය යන තරග දෙකම වැස්සට සේ දී ගිය නිසයි.“ තවමත් බලාපොරොත්තු අත්නොහළ මහේල ජයවර්ධන පවසයි.

“ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ලකුණු 335ක ඉලක්කය හඹා යෑම ආරම්භ කළේ වේගවත් පිතිකරණයක යෙදෙමින් ලකුණු 100ක ආරම්භක සබඳතාවයක් ගොඩනඟමිනුයි.

අපට අවශ්‍ය වුණේ හොඳ සබඳතා දෙකක් පමණයි. එහෙම වුණා නම් මිචෙල් ස්ටාර්ක්ගේ අවසන් පන්දුවාර කිහිපයෙන් බේරෙන්න තිබුණා. අනෙක් පන්දු යවන්නන් අපිට එතරම් ගැටලුවක් වුණේ නැහැ.

ඒත් නැවත වතාවක් මැදපෙළ කඩා වැටුණා. දකුණු අප්‍රිකාවට එරෙහිව පුහුණු තරගයේ දී, නවසිලන්ත තරගයේ දී මෙන්ම ඇෆ්ගනිස්තාන් තරගයේදීත් සිදු වූයේ මේ දෙයමයි.

මැක්ස්වෙල් පන්දු යවන්නට පැමිණි අවස්ථාවේ අපේ වමත් පිතිකරුවන් සිර වුණා. ඔහු කණ්ඩායමේ පස්වැනි පන්දු යවන්නා. අපිට ඔහුව පීඩනයකට ලක් කරන්නට නොහැකි වුණා.

ඔවුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්, අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ ඒ නිසයි. ඔවුන් වෙනත් ආකාරයෙන් උත්සහ කරනවා ලකුණු අතරට එන්න. ඒත් එකම විදිය තමයි පැරණි විදියට ක්‍රීඩා කරන එක – කඩුල්ලේ හිඳ ක්‍රීඩා කරන එක. ඒක තමයි වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ දෙය කරන්නට හැකියාවක් තිබුණා. ඒ ලැබුණු විශිෂ්ට ආරම්භය නිසා. ලකුණු 50ක සබඳතා දෙකක් ඇති වුණා නම් අපිට ඔස්ට්‍රේලියාවට දැඩි පීඩනයක් එල්ල කරන්න ඉඩ තිබුණා. එසේ වුණා නම් තරගයේ පාලනය අප සතු වෙනවා.

කණ්ඩායම් දෙකේම වේගපන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා ඒත් කණ්ඩායම් දෙකම ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කළේ නැහැ. මොනව වුණත් විකට් ගන්න නම් මැද පන්දුවාරවලට දඟපන්දු යවන්නෙක් අවශ්‍යයි.

අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. ඒත් ඔවුන් කඩුලු ලබා ගත්තේ නැහැ. හොඳ පිතිකරුවන් සිටින කණ්ඩායම් ලකුණු 280කට 270කට සීමා කරන්න නම් මැද පන්දුවාරවල කඩුලු ලබා ගන්න ඕන.

ශ්‍රී ලංකාවට හොඳ දඟපන්දු යවන්නෙක් සිටියා නම් තරගය වෙනස් වෙන්නත් තිබුණා. මම හිතුවා ඔවුන් ජීවන් මෙන්ඩිස්ව යොදා ගනියි කියලා ඔහුට පන්දුවට පහර දෙන්නත් පුළුවන් නිසා.

දැන් ඔවුන්ට අවම වශයෙන් තරග දෙකක් වත් දිනන්න වෙනවා අවස්ථාවක් ලබා ගන්න. ඔවුන්ට තිබෙන්නේ එංගලන්තය (21), දකුණු අප්‍රිකාව (28), බටහිර ඉන්දීය කොදෙව් (01) හා ඉන්දියාව(06) යන ප්‍රබල කණ්ඩායම්වලට මුහුණ දෙන්න.

මීළඟ තරගය එංගලන්තය. ඔවුන්ට ඒ තරගය සඳහා පාකිස්තානයේ ක්‍රීඩා විලාසය හොඳින් අධ්‍යයනය කරන්න වෙනවා. පාකිස්තානය එංගලන්තය හමුවේ ඔවුන්ගේ සුපුරුදු ස්වාභාවික ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කළේ. ඒ නිසාම ඔවුන් ජයග්‍රහණය කළා.

ඔවුන් මැද පන්දුවාරවල දී එංගලන්ත දඟපන්දු යවන්නන්ට හොඳින් පහර දුන්නා. මොහොමඩ් හෆීස්ගේ ඉනිම තරගය මැද ඉතා හොඳින් පාලනය කළා.ශ්‍රී ලංකාව අවස්ථාවක් අරගෙන එංගලන්ත පන්දු යවන්නන් පීඩනයක හෙළන්න ඕන. තරග දිනන්න නම් එක්කෝ ලකුණු 300කට වැඩියෙන් ලකුණු පුවරුවට දමන්න ඕන, නැත්තම් ප්‍රතිවාදීන් ලකුණු 270කට අඩුවෙන් සීමා කරන්න ඕන.“

මහේල එසේ පැවසුවද. මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකාව අයි.සී.සී. යට ආඩපාලි පැවසීමට පටන් ගෙන ඇත. ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා තරගය අවසානයේ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මාධ්‍ය හමුව වර්ජනය කරන්නේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් අයි. සී. සී යට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගේ වගක් නැත. එය එසේ වන්නේ මන්දැයි විමසා බැලීම වටීයි. ශ්‍රී ලංකාවෙන් ICC යට දැන් ඇති වැඩේ මොකක්ද? අපේ සමහර අය හිතන්නේ අප මාර බලවත් රටක් ලෙසය. ක්‍රිකට්වල දී ලංකාව කළ දේවල් පුදුම සහගත වුවද අද ඒ සියල්ල පුස්ය.

ඉන්දියාවට මෙන් බිලියනයක ජනගහනයක්, එංගලන්තයට මෙන් ශක්තිමත් දේශීය තරග රටාවක්, ඕස්ට්‍රේලියාවට මෙන් උසස් තාක්ෂණික හැකියාවකුත් පවා නැතුව අපේ ක්‍රීඩකයින් එදා කළ දේවල් නිසාය.

අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ඉගෙන ගත්තේ පාරෙන්, ඉස්කෝලෙ ගහ යට තණ බිස්සෙන් වෙරළෙන් ගෙදර මිදුලෙන්, ගමේ ග්‍රවුන්ඩ් එකෙන් මිසක් ක්‍රිකට් ඇකඩමි හරහා නොවන බව රහසක් නෙමෙයි. පසුව සිදු වූයේ ළමයින්ගෙ ලෝකෙ ළමයින්ගෙන් උදුරා ගැනීමය. ක්‍රිකට් වෙනම ඉගැන්වීමය. ක්‍රිකට් ගහන්න නො දී ක්‍රිකට් ඉ‍ගැන්වීමය. ක්‍රිකට් ගහන්න ඒකාකාරී ඇකඩමි බිහිවීමය, සාම්ප්‍රදායික පුහුණුවිම්ය.

ඉන්දියාව අවසන් මහා තරගෙකට එනවා කියන්නෙ මුදල්ය. එංගලන්තය, ඕස්ට්‍රේලියාව කියන්නෙ මුදල්ය, බංග්ලාදේශයේ ජනගහනය කියන්නෙ මුදල්ය. එහෙත් ශ්‍රී ලංකාව?

ජනගහනයම මිලියන 20කට මඳක් වැඩිය. ඒකෙනුත් ක්‍රිකට් බලන්නෙ කීයෙන් කී දෙනාද? ලාංකේයන්ට බලන්න පුළුවන් විදිහට සෙල්ලම් කරන්නෙ ජාතික කණ්ඩායමෙන් කී දෙනාද? අපේ රටෙන් බාගයක්ම එක මැච් එකක් බැලුවත් අපි ICC එකට ලබාදෙන ආර්ථික වාසිය, ඉන්දියාවෙ එක නගරයක් පිනවලා ICC එකට පැයෙන් දෙගුණ කරගත හැකිය.

අපේ ක්‍රිකට් ඉබේ හැලෙන කොට අඩු සැලකිලි. ආයතනික මැච් ෆික්සින්. ඉන්දියාවට ෆ්ලැට් විකට්, අපිට ග්‍රීන් විකට්, ඉන්දියාවට සැප හෝටල්, අපට කඩ, ඉන්දියාවට සැප බස්, අපට හුබස්. බංගලියන්ගෙ ක්‍රිකට් නැගිටීමට අතහිත, අපේ ක්‍රිකට් නැගිටින්න හදනකොටම නැති ප්‍රශ්න ගොඩකි.

මෙය වෙනස් කරන්න මොනවද කරන්න ඕන? ජනගහනය දවසකින් බිලියනයක් කළ නොහැකිය. ඒ නිසා ශ්‍රී ලංකාවට ආවේණික දස්කම් එදා මෙන් මතු කර ගත යුතුයි. අමුතු බෝලර්ස්ලා, අමුතු බැට්ස්මන්ලා, තරග දිනන සටන්කාමී ක්‍රීඩකයො, සටන්කාමී කණ්ඩායමක්, ඒ කියන්නෙ ICC එකට සල්ලි පොම්ප කරන්න පුළුවන් විදිහේ කණ්ඩායමක්. ඉස්සර අපි අපේ පරම ප්‍රතිවාදියො කිව්වෙ ඕස්ට්‍රේලියාවට, ඉන්දියාවට එච්චර සටන්කාමීයි. මරාගන්න ගහන්නෙ. ඒ කියන්නෙ ලංකාව තරග කරද්දී ලෝකෙම බලනවා. ඒ කියන්නෙ එදා ICC එකට ශුද්ධ ලාභ ඇතුළු ධන උල්පත වූ ශ්‍රී ලංකාව අද සිඳී ඇත.

දැනට ICCයේ දිගුකාලීන ක්‍රිකට් සැලසුමේ ශ්‍රී ලංකාවට ඉඩක් නැත. ඒත් ඉස්සර වගේ අපි ගහන මැච් ලෝකෙටම හොඳට විකුණන්න පුළුවන් කියන හැගීම ICC එකට ආවොත් නැවත සැප හෝටල්වල ඉඳලා හැම දෙයක්ම අඩු නැතුව හම්බ වෙයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් විමසන්නේ මෙවන් පසුබිමකය.

එසේම වර්ෂාව නිසා තම කණ්ඩායමට බලාපොරොත්තු වු ජයග්‍රහණ නොලැබීම පාඩුවක් වුවත් ඇෆ්ගනිස්තාන තරගයට පසුව පැවැති තරග වර්ෂාවට හේදී ගිය නිසා තරග වැදීමට අවස්ථාවක් නොලැබීම ද කනගාටුදායක තත්ත්වයක් බවත් හෙ‍ෙතම පවසා සිටියේය.

‘‘අපි 4 වැනිදාට පස්සෙ ක්‍රිකට් ගහලා නැහැ. අපි ෆෝම් එකේ හිටියට තරග ගහන්න ලැබුණේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි කැමති ෆෝම් එකේ ඉන්න කොට ක්‍රීඩා කරන්න.

“අපිට සෙල්ලම් කරන්න දෙන තණතිලිවල ටිකක් තණකොළ වැඩියි. ඉන්දියාව ගහන කොට ඒක දුඹුරුයි. කාර්ඩිෆ්වල වුණත් අපිට දුන්න තණතිල්ල නෙමේ එංගලන්ත – බංග්ලාදේශ තරගයට දුන්නේ. හැමෝටම එක වගේ තණතිලි තියෙන්න ඕන. අපි මේක ICC එකට ලිඛිතව දන්වනවා.” අසන්ත දැඩිව පවසයි.

“පුහුණු නෙට්ස් වුණත් 3ක් තිබුණා, දුන්නේ 2යි. අපිට කාර්ඩිෆ්වල ඉන්න දීල තිබුණ හොටෙල් එකේ පහසුකම් හරියට තිබුණේ නැහැ. Bristolවල හොටෙල් එකේ Pool එකක්වත් තිබුණේ නැහැ. විශේෂයෙන්ම වේගපන්දු යවන්නට තමයි එකෙන් ලොකුම බලපෑම වෙන්නේ මොකද ඔවුන් සාමාන්‍යයෙන් Pool එකේ බැහැලා තමයි මසල් රිලැක්ස් කරගන්නේ. ඒක නිසා ඒ වගේ පහසුකම් අපට තියෙන්න ඕන. අපිට දීලා තියෙන Bus එකේ වුණත් ආසන මදි.”

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වේගය නැති වුණත් ඔවුන්ට විවිධ උපක්‍රම තිබෙනවා. මම හිතනවා ඔවුන් දඟපන්දු යවන්නෙක් කණ්ඩායමට ඇතුළත් කරගෙන ඉනිම මැද පන්දුවාර කිහිපයේ කඩුලු ලබා ගත යුතුයි කියා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එල්ල කරන ලද චෝදනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කරමින් සඳහන් කර තිබුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එක් එක් රටවලට තණතීරු සෑදීමේ දී අසාධාරණ ලෙස කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණ සියලු තණතීරු කොළ පැහැ ඒවා බවත් අනෙක් රටවල් දුඹුරු පැහැ තණතීරුවල තරග වැදුණු බවත් එම චෝදනාවල කියැවිණි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගය පැවැත්වුණේ දුඹුරු පැහැති තණ තීරුවක වුවද එයින් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් අඟවා ඇත්තේ වරද ඇත්තේ තණ තිරු මත නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත බවයි. දෙන ඕනෑම පිටියක දක්‍ෂ ලෙස ක්‍රීඩා කළහොත් තරග ජයගැනීමට හැකි බව අයි.සී.සී. අවධාරණය කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම අර්ජුන රණතුංග ද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද සැකයක් ඇති බවත්.එහෙත් වත්මන් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇති බවත් අර්ජුන රණතුංග අවධාරණය කළේය.

“ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ පහුගිය කාලේ සුදු කාරයෝ ක්‍රීඩාවට ඇවිල්ලා තම තමන්ට හිතවත් අය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කරලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරලා තියෙනවා. ඒ වගේම අසන්ත ද මෙල් තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේ දී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා බලන්න ඕනි. නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න ක්‍රිකට් පරිපාලනයේ අද ඉන්න අයට ක්‍රිකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ අය දන්නේ අශ්වරේස් යන්න විතරයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන… අර්ජුන රණතුංග පැවැසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයට හේතු වූ තාක්ෂණික කරුණු ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා නොකරන බවයි.

“ඕස්ට්‍රේලියාට එරෙහි තරගයේ දී අපේ කණ්ඩායම සෑහෙන්න දුරට හොඳින් ක්‍රීඩා කළා. අපේ ආරම්භක පිතිකරුවන් විශාල සේවයක් කළා. ඒත් අපේ කණ්ඩායමට එකට සෙල්ලම් කරනවද කියන ප්‍රශ්නය දකින්න තිබුණා. මැද පෙළ පිතිකරුවන්ගේ විශාල අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම ඇතැම් පිතිකරුවන් හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට පීඩනය වැඩි කරනවා. අනවශ්‍ය ලෙස ඇති කළ එම පීඩනය නිසා තමයි හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පවා අනවශ්‍ය පහරවල් ගහන්න ගියේ.

සනත් ජයසූරියට අපිට කියන්න බැහැ මාවන් අතපත්තු වගේ ක්‍රීඩා කරන්න කියලා. ඉතිං එක එක පිතිකරුවන් එක එක විදිහට ක්‍රීඩා කරනවා. හැබැයි අපිට සැලස්මක් තියෙන්න ඕන සනත් දැවී ගියාම තරගය ඉදිරියට ගෙනියන්න. එවැනි සැලැස්මක් අපේ කණ්ඩායමට නැති බව මට පෙනුණා.විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයින්ට පන්දුවාර 50ම ගහන්න දීලා අනිත් පැත්තෙන් තමයි ලකුණු ගහන්න ඕන. තමන්ට දැනට තියෙන සම්පත් එක්ක ජයග්‍රණය කරන්න අපි දැන ගන්න ඕන. ඒ කලාව අපේ කණ්ඩායමට දැන් නැහැ. පරිපාලනය දන්නේ නැහැ ක්‍රීඩකයින්ගේ මනස හදන්න.

අපි දැක්කා මේ තරගාවලිය නරඹන්න පරිපාලනයේ තිස්ගානක් එංගලන්තයට යනවා. විනෝද චාරිකාවක් වගේ. මේ රටේ සල්ලි. මේවා විනාශ කරනකල් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් බලන් ඉන්නවා. ක්‍රීඩා ඇමැතිතුමත් බලන් ඉන්නවා. අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවැසීය

 

Comments