පසුගිය ලෝක ශූරයන්ට දැවැන්ත අභියෝග දෙකක් | සිළුමිණ

පසුගිය ලෝක ශූරයන්ට දැවැන්ත අභියෝග දෙකක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය එංගලන්තයට හිමිවන විට, පිළිවෙළින් ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව පළමු පස්දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ. අවසන් ස්ථානය ඇෆ්ගනිස්තානයට හිමිවන විට එක් පියවරක් ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මෙකී ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට බලාපොරොත්තු පොදි බැඳගෙන ආ නමුත්, ඔවුන්ට පළමු ජය වාර්තා කර ගැනීමට හැකි වූයේ ඇෆ්ගනිස්තානය සමඟ පැවැති සිවුවැනි තරගයේදීය. බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ පැවැති තරග පරාජය වූ අතර කොදෙව් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

මෙතෙක් පැවැති තරග අතරින් වඩාත් අවධානයක් දිනා ගත් ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව සහ ඉන්දීය - පාකිස්තානය අතර තරගවලින් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පහසු ජයග්‍රහණ දෙකක් වාර්තා කර ගැනීමට සමත් විය.

මුල් තරග 22 අවසානයේ තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා වීමට ඔස්ට්‍රේලියාවේ ඇරොන් ෆින්ච් තරග පහකදී ලකුණු 343ක් රැස් කිරීමට සමත්ව ඇති අතර, ශතක දෙකක් සමඟ හොඳ ම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය වාර්තා කර ගැනීමට ඉන්දියාවේ ‍රෝහිත් ෂර්මා සමත්ව තිබේ. ෂර්මාගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 157.50 කි. රෝහිත් ෂර්මාට අමතරව, එංගලන්තයේ ජෝ රූට් ශතක දෙකක් ලබා ගැනීමට සමත්ව තිබේ.

පන්දු යැවීමේදී මෙතෙක් පාකිස්තානයේ මොහොමඩ් අමිර් කඩුලු 13ක් දවා ගෙන ඇති අතර, සාමාන්‍යය 13.07 කි.

23 වැනිදා දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය තරග බිමට පිවිසෙයි. 1992 - 2015 දි දෙපිල අතර තරග 4ක් පවත්වා තිබේ. එහිදී පාකිස්තානය තරග 3ක් සහ දකුණු අප්‍රිකාව තරගයක් ජය ගෙන තිබේ. අවසන් වරට දෙපිළ තරග කළේ 2015 දීය. එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පාකිස්තානයට ලකුණු 29ක ජයක් හිමිවිය. දකුණු අප්‍රිකාව ජය ගත් එකම තරගය දෙපිල පළමුවරට මුණ ගැසුණු 1992 දී දකුණු අප්‍රිකාව ලකුණු 22කින් පාකිස්තානය පරාජය කළේය.

24 දා බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තරග කරයි. ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙපිල මුණ ගැසෙන දෙවන වතාව මෙයයි. මෙයට පෙර 2015 දී දෙපිල අතර පැවැති එකම තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 105 කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.

25 දා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග කරයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායම් කිහිපයක් අතරින් මේ දෙපිල ම ඉදිරියෙන් සිටියි. 1975 - 2015 දක්වා දිවෙන දෙපිලේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් දෙපිල අවස්ථා 7කදී මුණ ගැසී තිබේ. එහිදී එංගලන්තය තරග දෙකක් ජයගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව තරග පහක් ජයගෙන තිබේ.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හාපුරා කියා ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ හමුවන්නේ 1975 දී පළමු අවසන් පූර්ව තරගයේදීය. එහිදී ඔස්ට්‍රේලියාව කඩුලු 5කින් එංගලන්තය පරාජය කරමින් බ:ඉ:කොදෙව්වන් සමග අවසන් මහා තරගයට පිවිසෙයි. එහිදී ඔස්ට්‍රේලියාව ලකුණු 17කින් පරාජය කරමින් පළමු ක්‍රිකට් ‍කිරුළ කොදෙව්වෝ සිය රට ගෙන යති. එංගලන්තය පළමුවරට ඔස්ට්‍රේලියාව පරාජය කරන්නේ 1979 දීය. ඒ කඩුලු හයකින්ය. අවසන් වරට දෙපිල මුණ ගැසුණේ 2015 දීය. එහිදී ඔස්ට්‍රේලියාව එංගලන්තය ලකුණු 111 කින් පරාජය කරයි. දෙපිල අවසන් මහා තරගයක මුණ ගැසෙන්නේ 1987 දීය. එහිදී ඔස්ට්‍රේලියාව ලකුණු 7ක තියුණු ජයක් හිමිකර ගනිමින් එංගලන්තය පරාජය කර ප්‍රථම වරට ක්‍රිකට් කිරුළ හිමි කර ගනියි.

26 දා නවසීලන්තය සහ පාකිස්තානය තරග කරයි. පාකිස්තානය සහ නවසීලන්තය අතර 1983 - 2011 අතර දිවෙන ඉතිහාසයේ තරග 8ක් පවත්වා තිබේ. එහිදී පාකිස්තානය තරග 6ක් ජයගෙන තිබෙන අතර නවසීලන්තයට ජයග්‍රහණ 2කී.

1983 දෙපිල තරග කළ ප්‍රථම තරගයෙන් පාකිස්තානය ලකුණු 11කින් නවසීලන්තය පරාජය කළේය. දෙපිල අවසන් වරට තරග කළේ 2011 දීය. එහිදී නවසීලන්තය පල්ලේකැලේ පැවැති තරගයෙන් පාකිස්තානය ලකුණු 110 කින් පරාජය කිරීමට සමත් විය.

27 දා බ:ඉ: කොදෙව් සහ ඉන්දියාව තරග කරයි. 1979 - 2015 දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දෙපිල අවස්ථා අටක මුණ ගැසී තිබෙන අතර, එහිදී ඉන්දියාව තරග පහකදී සහ කොදෙව්වෝ තරග තුනකදී ජය හිමිකර ගෙන තිබේ.

1979 දෙවැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගය පැවැතියේ ද ඉන්දියාව සහ කොදෙව් අතරය. එහිදී කොදෙව්වන් ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 190 හඹා ගියේ එක් කඩුල්ලක් පමණක් දැවී යාමෙනි. නමුත් 1983 දෙපිල මුණගැසුණු තරග තුනෙන් තරග දෙකක් කොදෙව්වන් පරාජය වූ අතර, එහි විශේෂත්වය වන්නේ එකී තෙවැනි තරගය 1983 ක්‍රිකට් කිරුළේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජය ගැනීමයි. අවසන් වරට දෙපිල තරග කළ 2015 තරගයෙන් ද ඉන්දියාව කඩුලු 6කින් කොදෙව්වන් පරාජය කිරීමට සමත් විය.

28 දා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තරග කරයි. 1992 - 2015 දි දෙපිල අතර තරග 5 ක් පවත්වා තිබේ. එහිදී දකුණු අප්‍රිකාව තරග තුනක් සහ ශ්‍රී ලංකාව තරගයක් ජය ගෙන තිබෙන අතර තරගයක් සමව අවසන්ව තිබිණි.

1992 දෙපිල හමු වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු තුනකින් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාව පළමු වරට දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වී ඇත්තේ 1999 දීය. ඒ ලකුණු 89කින්ය. සම වූ එකම තරගය 2003 ඩර්බන්හි පැවැත්විණි. ශ්‍රී ලංකාව ලකුණු 268ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකාවට පන්දුවාර 45කදී ජයග්‍රාහි ඉලක්කය ලකුණු 230ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ට කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 229 ක් පමණි.

අවසන් වරට දෙපිල තරග කළේ 2015 පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදීය. එහිදී ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කළ දකුණු අප්‍රිකාව කඩුලු 9කින් තරගය ජය ගැනීමට සමත්විය.

29 දි පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තරග කරයි. දෙපිල මුල් වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක හමුවන්නේ මේ තරගාවලියේදීය.

29 දා පසුගිය ක්‍රිකට් කිරුළේ ශූරයන් වූ ඔස්ට්‍රේලියාව සහ අනුශූරයන් වූ නවසීලන්තය ලෝඩ්ස් පිටියේදි මුණ ගැසෙයි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ මුල්වරට හමුවී ඇත්තේ 1987 දීය. එහිදී ඔස්ට්‍රේලියාව නවසීලන්තය ලකුණු 17කින් පරාජය කර තිබේ. නවසීලන්තය ඔස්ට්‍රේලියාව මුල්වරට පරාජය කර ඇත්තේ 1992 මේ දෙපිල සත්කාරකත්වය දැරූ පළමු තරගාවලියේදීය. එහිදී නවසීලන්තය ලකුණු 37කින් ජය හිමිකර ගෙන තිබේ. මෙතෙක් පැවැති තරග දහයෙන් ඔස්ට්‍රේලියාව තරග 7ක හා නවසීලන්තය තරග 3ක ජය හිමි කරගෙන තිබේ.

Comments