වර්ගවාදයෙන් රට ගිනි තියන උන්මන්තකයන් නවත්වන්න ගෙනා නීතියේ රඟ | සිළුමිණ

වර්ගවාදයෙන් රට ගිනි තියන උන්මන්තකයන් නවත්වන්න ගෙනා නීතියේ රඟ

මොනම විදිහකින් හෝ ජාති ආගම් භේද ඇති කළොත් දුටු තැන අත්අඩංගුවට...

ඇපත් නෑ... ඇප පනතත් අක්‍රීයයි...

දඬුවම බරපතළයි... අවුරුදු 10 දක්වා බරපතළ වැඩ ඇතිව හිරේ...

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR), සිවිල් යුද සමයේ මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක් වූ පනතකි.

තවමත් මෙහි කතාබහ නිමක් වී නැත්තේ මේ වන විටත් සහරාන්ලාගෙන් ඇරැඹි අන්තවාදීන්ගේ කටයුතු නිමක් නැති නිසාය. විශේෂයේම ආගමිකව, ජාතීන් ලෙස හා වාර්ගිකව විවාදයට බඳුන් වු කරුණු සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කෙනෙකු අත්අඩංගුවට පත් කිරීමට මෙන්ම දැඩි දඬුවම් පැමිණවීමට හැකි පනතක් වශයෙන් ICCPR පනත හැඳින්වුවද එමඟින් අත්අඩංගුවට ගැනීම් බොහෝමයක්ම සමාජයේ දැඩි විවාදයට බඳුන් වෙමින් තිබේ. එයට පදනම් වී ඇත්තේ බොහෝ දෙනා තුළ මේ පනත ගැන හරිහැටි වැටහීමක් නැති නිසාය.

මසහීනා , සත්තික හා කුසල් පෙරේරා

නැවක සුක්කානමක රුව සහිත මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රුව සහිත ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වටහා ගෙන කොළොන්ගොඩ පුදලුගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ ICCPR පනතෙනි. එසේ කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයිද ඊට සාධාරණය ඉටු කරමින් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබේ.

ඇය එක් දරු මවක බවත් කාලයක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව සිට පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නට වු බවත් සිය ඉල්ලීමේ සඳහන් කර ඇත. එමෙන්ම තමන් ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රූපයක් බවත් ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැණි බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසත්, ඊට වන්දි ලබා දෙන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මේ තවත් ඒ හා සම්බන්ධ සිදු වීමකි. මේ වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරාට විරුද්ධවද ICCPR පනත යටතේ පොලිස් ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවට වාර්තා වෙයි. ඒ ‘ඩේලි මිරර් ‘ පුවත්පතට ඔහු විසින් ලියූ ලිපියක ආගම්වාදී හැඟිම් පතුරුවන බවට එල්ල වු චෝදනාවක් හේතුවෙනි. ඔහු සතියේ දිනක අඛණ්ඩව අදාළ පුවත්පතට දේශපාලන විග්‍රහයන් ඉදිරිපත් කර තිබිණි. පාස්කු ප්‍රහාරවලින් පසු ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පදනම් කරගෙන මැයි මස 17 වැනිදා ඔහු ආගමික නායකයකු සම්බන්ධයෙන් ලියූ ලිපියක ආගම්වාදය අවුස්සතියි එල්ල වු පැමිණිල්ලක් මත මේ පතන යටතේ ඔහුට විරුදධව නඩු ගොනු කරමින් පැවතිණි. රටක නීතියට අනුව එවැනි දේ සුළුවෙන් සිතන්නට නොහැකි ආකාරයේ බරපතළ වරදක් වන්නේ එම නීතිය ICCPR පනතින් විග්‍රහ කර ඇති නිසාය.

එසේම පසුගිය දිනක පොල්ගහවෙළ ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැලඹීමකට හේතු විය හැකි බවට එල්ල වූ චෝදනාවටය.

මේ අතර ෆාතිමා නුශ්රා සාරූක් ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

නෙලුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්චයක් ලෙස කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව‍ කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් පසු ඇය අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි.

2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීම්වලින් පසු මහ සොහොන් බළකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාර ගත වීම ද මේ පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය.

හදිසි නීති මෙන් ම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස වරින් වර ඇති වූ යුද්ධමය තත්ත්වයන් සහ කලහකාරී සිදු වීම් යටතේ අත්අඩංගුවට පත් වූහ.

පනතේ ඉතිහාසය හා ක්‍රියාත්මක ස්වරූපය

ICCPR පනත අපේ නීති පද්ධතියට අද ඊයේ ඇතුළු වුවක් නොවන බව කිව යුතුය. නීතියක් ලෙස සම්මත වී ඇත්තේ 2007 දි වුවද, 1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර 1973 මාර්තු මස 23 දා සිට බලාත්මක වූ පනතකි. එදා සිට දශක හතරකට අධික කාලයක් ICCPR පනතට ශ්‍රී ලංකාව ද පාර්ශ්වයක් ලෙස එක් වී සිටියේය.

නමුත් එසේ පාර්ශ්වයක් ලෙසින් එක් වීමෙන් පමණක් එය ශ්‍රි ලංකාවේ නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ ගැටලු පැවතිණි. ICCPR අන්තර්ජාතික සම්මුති පනතේ කොන්දේසි අපේ නීති පද්ධතිය තුළ බලාත්මක වූයේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතිනි. මේ පනතේ ඇති වැදගත්ම කරුණක් වන්නේ ලංකාවේ පුරවැසිභාවය ලත් සෑම පුද්ගලයකුටම නීතිය ඉදිරියේ පෙනී සිටිමේ අයිතිවාසිකම් හිමි වීමය.

එසේම ඉන් යමෙකු යම් දේශයක් තුළ යුද්ධය පතුරුවන, ප්‍රචණ්ඩත්වය වපුරුවන, සතුරුකම පතුරුවමින් යමෙකු හෝ පිරිසක් පීඩාවට පත් කිරීම, පෙළීම මෙන්ම උසි ගැන්වීම නොකළ යුතු බව දැඩිව අවධාරණය කරයි. ජාතික, ආගමික හා වාර්ගික හැඟීම් වර්ධනය කරමින්, වෛරය ඇති කරවන උසි ගැන්වීම් මෙන්ම එක් ආගමක් විසින් අනෙකුත් ආගම හෙළාදැකීම්, ඊට අනුබල දිම් මෙන්ම තර්ජනය කිරීම් අවුරුදු 10 දක්වා බලපතළ වැඩ ඇතිව සිර දඩුවම් විඳින්නට හේතු වන සිදුවීම් වෙයි. එය හඳුන්වා දි ඇත්තේ සංඥෙය වරදක් හෙවත් පොලීසියට දුටු තැන ඇල්ලිය හැකි වරදක් වශයෙනි. එසේ අත්අඩංගුවට ගැනීම් සඳහා හදිසි නීති අවශ්‍ය නොවේ.

සාමාන්‍යයෙන් එවැනි වැරැදි සඳහා මේ පනතින් අත්අඩංගුවට ගැනීමකදී ඇප ලබා දිය හැකි අවස්ථා ඉතා අවමය. අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරමින් හෝ ඇප ලබාගත හැකි වන්නේ මහාධිකරණයෙන් පමණි. ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ. එසේම සෑම මහාධිකරණයකම අනෙකුත් නඩු කටයුතුවලට වඩා මෙම නඩුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන්නේ මේ පනතට ඇති වැදගත් කම නිසාය.

පාස්කු ප්‍රහාරයට පෙරත් අවස්ථා ගණනාවකදී ඇති වූ ආගමික හා වාර්ගික ගැටුම්වලදී මේ නීතිය ඉස්මතු වූයේය. මේ වන විට විවිධ තරාතිරමේ පුද්ගලයන් මේ පනතින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදී, අගාම්වාදී හා වාර්ගිකවාදී හැඟීම් ඉස්මතු කිරීම හෙතුවෙනි. කෙසේ වෙතත් මේ පනතින් යමෙකු අත්අඩංගුවට ගැනීමේදී බොහෝ කල්පනාකාරී විය යුතුව තිබේ. අයෙක් මෙය අර්ථ දක්වන්නේ ජනතාව මර්දනය කිරීම සඳහා වු පනත් වශයෙනි.

චූදිතයන්ගේ වරප්‍රසාද

මේ පනතේ ජාති, ආගමික හා වාර්ගික කරුණු සම්බන්ධ වැරදි අර්ථකථනය කර ඇත්තේ එක් වගන්තියකින් පමණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොව චූදිතයන්ට හිමි වන වරප්‍රසාද ප්‍රඥප්තියට අපේ රට සම්බන්ධ වු පසු චූදිතයන් වශයෙන් ඔවුනට හිමි වන වරප්‍රසාදයන්ද මෙම අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ වගන්තිවලට ඇතුළත් කර ඇත.

ලංකාවේ නීති පද්ධතිවල චූදිතයන්ට හිමි වරප්‍රසාද එක් තැනක ලිඛිතව සඳහන් වී නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේද චූදිතයන්ට හිමි වරප්‍රසාද අන්තර්ගතව ඇත්තේ විවිධ අංශවල සැඟවුණු කරුණු වශයෙනි. නමුත් නීතිය ඉදිරියට යන චූදිතයන්ට හිමි වරප්‍රසාද පැහැදිලිව එක තැන අර්ථකථනය කර ඇත්තේ මේ පනතේ ය. ඒ අනුව මෙම ICCPR පනතේ 4 වැනි වගන්තියට අනුව යම් චුදිතයකුට තමන් ඉදිරියේ නඩු ඇසීමේ අයිතිය තිබේ. චූදිතයාට නඩුකාරවරයා මාර්ගයෙන් නීති සහාය ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

තමාට නීති සහාය ලබාගැනීමේ හැකියාවක් නැති නම් එය අධිකරණයකට දැනුම් දී අදාළ සහාය ලබාගත හැකි වෙයි. යම් නඩුවකට නීති සහාය ලබාගත යුතු යැයි විනිසුරු තීරණය කරයි නම් චූදිතයාට එයට ගෙවිමට මුදලක් නැති නම් රජයේ ගෙවීමේ පදනම මත නීතිඥ සහාය ලබාගැනීමේ අවස්ථාව හිමි වෙයි.

එසේම චූදිතයාට විරුද්ධව සාක්කි කැඳවීමේදී හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය, එසේම අවශ්‍ය නම් විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් ගෙන්වීමේ හැකියාව, චූදිතයාට භාෂාව අපහසු නම් භාෂා සහාය ලබා ගැනීමට, චූදිතයාට බලහත්කාරයෙන් වරද පිළිගන්නයැයි ඉල්ලා නොසීටීම, ඕනෑම අපරාධ නඩුවකදී යම් කෙනෙක් වැරදිකරු වුවහොත් ඉහළ උසාවියකට අභියාචනා කිරීමේ අයිතිය මෙන්ම අපරාධ වරදක් සම්බන්ධයෙන් එක් වරදකට එක් අයෙකුට දෙවරක් නඩු නොදා සිටීම වැනි චූදිතයන්ට හිමි අන්තර්ජාතික වරප්‍රසාදද ICCPR පනතේ ඇතුළත් කර ඇත. උදාහරණයක් වශයෙන් සහරාන්ලාගේ කල්ලියේ යමෙකු මේ පනතින් අත්අඩංගුවට පත් කළහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ඒ වරදටම ඔහුට නඩු පැවැරිය නොහැකිය.

ICCPR පනතේ 5 වැනි වගන්තියට අනුව ළමයකුට හිමි වරප්‍රසාදයන් ගැනද අර්ථකථනය කර ඇත. ළමයාට තම උපත ලියාපදිංචි කිරීමට මෙන්ම ජාතියක් ලැබීමේ අයිතියද හිමිය. යම් ළමයෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරේ නම් ඒ සඳහා රජයේ නීති සහාය ලැබීමේ හිමිකම මෙන්ම සෑම දරුවෙකු සම්බන්ධයෙන් සෑම නඩු කටයුත්තකදීම දරුවාගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම යන කරුණු මෙහි ඇතුළත් කර ඇත. උපත් හා මරණ ලියාපදිංචි පනතේ මෙන්ම ළමා හා යෞවන ආඥා පනත්හි මෙම වගන්ති තිබුණද දරුවන්ට නීතිය ඉදිරියේ හිමි වන අන්තර්ජාතික වරප්‍රසාද සෘජුවම ඇතුළත් කර ඇත්තේ මෙහිය.

ICCPR පනතේ 6 වැනි වගන්තිය වෙන් කර ඇත්තේ පුරවැසියන් සම්බන්ධයෙනි.

මෙම පනතේ 2,4,5, හා 6 යන වගන්තින්හි ඇති අයිතිවාසිකම් කඩ වුවහොත් ඔහුට මහාධිකරණයකට පෙත්සමක් යොමු කිරීමෙන් එම අයිතින් ලබාගැනිමේ හැකියාවද ඇත. එසේම මේ පනතට අනුව මහාධිකරණයක පිහිට පැතීමට නම් යමෙකු ඒ කටයුත්ත මාස තුනක් තුළ සිදු කළ යුතුය.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම

ICCPR පනත ගැන කතා කරන්නන් තර්ක කරන්නේ භාෂණයේ නිදහස හේතුවෙන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ. කෙසේ වෙතත් ඕනෑම අයෙකු මේ අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හෝ ආගමට හෝ ජාතියට හානියක් හෝ අගෞරවයක් සිදු නොවන ආකාරයෙනි.

සාධාරණ තාර්කික පදනමක් මත පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පශ්චාද් අන්තවාදී ප්‍රකාශවලට ඉදිරියේදි මේ පනතින් දඬුවම් කළොත් එය පුදුමයකට කරුණක් නොවෙයි.

කෙසේ වෙතත් ඉතා වැදගත්කමින් යුතු මේ පනත යටතේ ඇති වගන්තියක් උලුප්පමින් යමෙකුට නඩු පැවැරීම ඉතා උවමනාවෙන්ම කළ යුතු කටයුත්තක් වන්නේ මෙහි ඇති සංකීර්ණත්වය නිසාය. එම සංකීර්ණත්වය නිසා මේ පනත අධිකරණයකට ද යම් යම් සීමා පැනවිය හැකි පනතක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. රටේ නීති පද්ධතිය ඇත්තේ රටේ යහපත වෙනුවෙන් ය. ICCPR පනතද අපේ රටට , කාලයට ආදාළ වන ආකාරය විචාරශීලී විමසීමකදී අවබෝධ කරගත හැකිය.

(නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හා බී.බී.සී වෙබ් අඩවියෙන් ලබා ගත් තොරතුරු ඇසුරෙනි.)

Comments