පරි­ව­ර්ත­නය සඳහා තෝරා ගන්නේ මා රස විඳි පොත් පම­ණයි : මංජුල දිසා­නා­යක | සිළුමිණ

පරි­ව­ර්ත­නය සඳහා තෝරා ගන්නේ මා රස විඳි පොත් පම­ණයි : මංජුල දිසා­නා­යක

ජේම්ස් රෝලින්ස් යනුවෙන් හැඳින්වෙන ලොව ප්‍රකට ලේඛකයකු වන ජේම්ස් කැස්ජ්කොවුස්කි විසින් රචිත ‘ඇමසෝනියා’ කෘතිය එනමින් ම සිංහල බසින් පරිවර්තනය කර තිබෙන්නේ මංජුල දිසානායක විසිනි. ‘මළවුන්ගේ හෝරාව’, ‘මැදියම් රැයේ ඇවිදින පඹයා’ ‘කුණාටුව’ වැනි පරිවර්තන නවකතා කීපයක් පළ කළ මංජුල දිසානායක චන්ද්‍රිකා සහ රොකට් තාක්ෂණය, අසිරිමත් සොබාදහම, මහ සයුරේ වතගොත වැනි විවිධ විෂයයන් යටතේ ද පොත් රචනා කරන ලේඛකයෙකි. ලේක්හවුස් ආයතනයේ මිහිර පත්‍රයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන මංජුල දිසානායක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ජේම්ස් රෝලින්ගේ ‘ඇමසෝනියා’ කෘතිය සිංහල බසට පරිවර්තනය කිරීම සඳහා තෝරා ගැනීමට ඔබට විශේෂ හේතුවක් තිබුණ ද?

‘ඇමසෝනියා’ ඉංග්‍රීසි පොත මට අහම්බෙන් කියවන්න ලැබුණා. මෙහි ඇතුළත් වීර ප්‍රබන්ධ, ත්‍රාසජනක සහ අබිරහස් ලක්ෂණ මගේ සිත පැහැර ගත්තා මෙහි අඩංගු පරිකල්පනය සහ පර්යේෂණය යන දෙමුහුන් බව මම රසවින්දා.‍ ඒ නිසා මේ පොත සිංහල බසට පරිවර්තනය කළ යුතු යැයි මා සිතුවා. සාමාන්‍යයෙන් මා පරිවර්තනය සඳහා තෝරා ගන්නේ මා රස විඳි පොත් පමණයි. මා විශ්වාස කරන්නේ නීරස පොතක් පරිවර්තනය කර පාඨකයන්ට දිය යුතු නැති බවයි. ඉතිං මා ආස්වාදනය කළ දෙයක් පාඨකයන් සමඟ බෙදා ‍හදා ගැනීමේ අරමුණින් මේ පොත පරිවර්තනය කරන්න මා පෙලඹුණා.

ඔබ නොදන්නා, නුදුටු පරිසරයක සිට පරිකල්පනය සහ විද්‍යාත්මක කරුණු මත පිහිටා නිර්මාණය කර තිබෙන ‘ඇමසෝනියා’ කෘතිය පරිවර්තනය කිරීම ඔබට අභියෝගයක් වුණේ නැතිද?

සමහර විද්‍යාත්මක කාරණා ගැන මට වැඩිපුර තොරතුරු හොයා ගැනීමට සිද්ධ වුණා. ඒ වගේ ඇමේසන් වනාන්තරය ගැන, එහි වාසය කරන ගෝත්‍රිකයන් ගැන ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ගැන මා තොරතුරු අධ්‍යයනය කළා. ඇත්තටම මේ පොතේ අපට ආගන්තුක දේ රැසක් තිබුණා. උදාහරණයක් හැටියට දක්වනවා නම් හිස ගිල්වීමේ දඬුවම ගැන සඳහන් කරන්න පුළුවන්. එය අපට නුහුරු දෙයක්. ඒ නිසා ඒ වගේ දේවල් ගැන මා මහන්සි වෙලා තොරතුරු සෙව්වා. මට මේ පොත පරිවර්තනය කරන්න අවුරුද්දක් වැනි කාලයක් ගත වුණේ ඒ නිසායි.

ඇමෙසන් වනාන්තරයේ භයංකාරත්වය හා ගුප්ත බව කැටි වූ ‘ඇ‍මසෝනියා’ පොත ඉලක්ක කර තිබෙන්නේ කවර පාඨක පිරිසකට ද?

අවුරුදු 15 – 16 න් ඉහළ සහ පාසල හැර ගිය තරුණ ප්‍රජාව තමයි මෙහි ඉලක්ක කරගත් පාඨක පිරිස. මොකද අවුරුදු 16 ට අඩු ළමයින්ට මේ කතාවේ ඇති විද්‍යාත්මක කාරණා ගැන අවබෝධයක් ලැබීම අසීරු වෙන්න පුළුවනි. වැඩිහිටි පරම්පරාව වීර ප්‍රබන්ධ, ත්‍රාසජනක කතා කියවීමට නැඹුරු වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසයි මේ පොත තරුණ පිරිස ඉලක්ක කරගෙන ලියූවක් බව මා පැවසුවේ.

එහෙත් වර්තමාන තරුණ පරම්පරාව පොත් කියවීමෙන් ඈත් වී ඇති බවට චෝදනාවක් නැ‍ඟෙනවා නේද?

ඔව්.ඒක ඇත්ත. අද තරුණ පරම්පරාව පොත් කියවන්නේ නැහැ. අද තරුණයන් පොතේ PDF එක පරිගණක තිරයේ කියවන්න පුරුදු වෙලා ඉන්නවා. සමහරු පොත් කියවන්නේ ස්මාට් ජංගම දුරකතනයෙන්. අපේ පරම්පරාව පොත කියවීමත් එක්ක පොතේ කඩදාසි ස්පර්ශ කිරීමෙන් කඩදාසි, තීන්ත සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් අපූරු ආස්වාදයක් අත් විඳිනවා. ඒත් නව පරපුර එහෙම නැහැ. ඒ නිසා නව පරපුරට ගැළපෙන විදිහට, ඔවුන්ගේ රුචිකත්වය අනුව පොත් රචනා කිරීම අද ලොකු අභියෝගයක්. කොහොමටත් මා පොත් ලියන්නේ සරල විදිහට සරල බස් වහර පාඨකයන්ට කියවන්න ලේසියි. තරුණ පරම්පරාව කියවීමට නැඹුරු කර ගැනීමට එය එක් හේතුවක් යැයි මා විශ්වාස කරනවා.

අද වන විට අද්භූත පරිකල්පන තේමා කර ගත් පොත් රචනා වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඊට හේතුව කුමක්ද?

අද්භූත කතාවලට පාඨක රුචිය වැඩි බව අද දවසේ පැහැදිලිවම පෙනෙන කාරණාවක්. මා දකින විදිහට ඊට කරුණු කීපයක් බලපානවා.‍ වර්තමානයේ රූපවාහිනිය සහ සිනමාව ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ, මායාකාරී, අද්භූත චිත්‍රපට ප්‍රදර්ශනය වනවා. ගැහැනු - පිරිමි භේදයක් නැතිව ඒ චිත්‍රපට නැරඹීමට අද තරුණ පරම්පරාව පුරුදු වෙලා. ඔවුන් නරඹන දේ පොතපතිනුත් කියවන්න ලැබෙනවා නම් ඒ අය හුඟක් කැමතියි. ඒ කාරණාව හැරුණාම අද සමාජයේ අතිධාවනකාරී ස්වභාවයක් මීට බලපාන කරුණක් හැටියට සඳහන් කරන්න පුළුවන්.

* ‘ඇමසෝනියා’ පිටු 600 කින් යුක්ත විශාල කෘතියක්. පොත් කියවීමෙන් ඈත්වන පරම්පරාව මේ සා විශාල කෘතියක් කියවයි කියා ඔබ සිතනවාද?

ඉංග්‍රීසි පොතේ පිටු ගණන 450 ට වැඩියි. එය අසංක්ෂිප්ත ලෙස පරිවර්තනය කිරීමේදී පිටු ගණන ඉහළ ගියා. ලොකු පොතක පිට කවරය වෙනුවෙන් විශාල වියදමක් දරන්න සිදු වෙන නිසා පොතේ මිල ඉහළ ගියා. පොත කොටස් වශයෙන් පළ කළොත් වියදම වැඩි වන නිසා තනි පොතක් වශයෙන් ම පළ කළා. පොත විශාල වුණත් ප්‍රබන්ධ කතාවක් නිසා එය කියවපු පාඨක පිරිසක් සිටින බව මට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වනවා. සමහරු ජේම්ස් රෝලින්ස්ගේ අනිත් පොත් ටිකක් පරිවර්තනය කරන්න කියලා මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා පොතේ විශාලත්වය කියවීමට බාධාවක් නොවේවි කියලා මම හිතනවා.

පරිවර්තනය සඳහා ඔබ තෝරා ගන්නා පොත්වල ප්‍රකාශන අයිතිය ලබා ගන්නේ මොන ආකාරයට ද?

මා පොතක් පරිවර්තනය කරන්න තීරණය කරලා ප්‍රකාශකයන් මුණගැහිලා සාකච්ඡා කළාම ප්‍රකාශකයන් කැමති නම් ‍ඔවුන් ප්‍රකාශන අයිතිය විදේශීය ප්‍රකාශන සමාගමෙන් අරන් දෙනවා. ප්‍රකාශකයා දෙන පොත් නොවෙයි මා පරිවර්තනය කරන්නේ; මා කියවලා පරිවර්තනය කිරීමට සුදුසුයි කියලා හිතෙන පොත් විතරයි. ඒ නිසා අසවල් පොත පරිවර්තනය කිරීමට ප්‍රකාශන අයිතිය අරන් දෙන්න කියලා ප්‍රකාශකයාට කියා සිටින්නේ මමමයි.

* ඔබේ පරිවර්තන නවකතාවලට අමතරව පරිසරය, විද්‍යාව වැනි විවිධ විෂය යටතේ පොත් පළ කර තිබෙනවා. ඒ පොත් රචනා කිරීම සම්බන්ධයෙන් කතා කරනවා නම්...

මම ‘මිහිර’ ළමා පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරනවා. පුවත්පත් කලාවේ කටයුතු කිරීම නිසා මට විවිධ විෂයන් යටතේ ළමයින් උදෙසා ලිපි රචනා කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ නිසා තමයි මට ලෝකයේ මහා ගංගා, සත්ත්ව රාජධානිය, මහ සයුරේ වතගොත, චන්ද්‍රිකා හා රොකට් තාක්ෂණය, අපේ විශ්වය වැනි විවිධ ක්ෂේත්‍ර යටතේ පොත් ලිවීමට හැකිවුණේ මා ඒවාට අවශ්‍ය තොරතුරු සපයා ගත්තේ අන්තර්ජාලයෙන්. ඒ නිසා ඒ පොත් ස්වතන්ත්‍ර රචනා ලෙස නම් කරන්න බැහැ. පරිවර්තකගේ වෙනත් කෘති යනුවෙන් ‍මම මේ පොත් සඳහන් කර තිබෙන්නේ ඒ නිසයි.

* ඔබ ස්වතන්ත්‍ර නිර්මාණකරණයේ යෙදෙන්න අදහසක් නැතිද?

තවම නම් ස්වතන්ත්‍ර නිර්මාණ ගැන උනන්දුවක් නැහැ.‍ කොහොමටත් මාව පාඨකයන් අතර ජනප්‍රිය වී තිබෙන්නේ පරිවර්තන ලේඛකයකු වශයෙන්. ඒ නිසා ඒ අංශයෙන් දිගට ම යන්න තමයි මා සිතාගෙන ඉන්නේ. මාධ්‍ය ජීවිතයෙන් සමුගත් කාලයක අත්දැකීම් ඇසුරෙන් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න ඉඩ තිබෙන්න පුළුවන්. දැනට නම් අදහසක් නැහැ.

* ‍ඔබ වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්. මාධ්‍ය කලාව සහ ලේඛන කලාව සමබරව පවත්වාගෙන යන්නේ කොහොම ද?

මා පොත් ලිවීමේ කටයුතු කරන්නේ ගෙදර දී. වෘත්තියත් එක්ක පොත් ලිවීම පටලවා ගන්නේ නැහැ‍. ඒ නිසා ම මට පොතක් ලියන්න අවුරුද්දක් වැනි දීර්ඝ කාලයක් ගත වනවා. මම වෘත්තිය ලේඛකයකු නොවන නිසා මම හෙමින් හෙමින් තමයි පොත් ලියන්නේ. මගේ ප්‍රකාශකයන්ගෙනුත් මෙතෙක් මට බලපෑමක් වෙලා නැහැ අසවල් දවසට ඉස්සෙල්ලා පොත බාර දෙන්න කියලා.

* ඔබේ ලේඛන කලාවේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

මේ දිනවල රික් රියොර්ඩන්ගේ ‘මාක් ඔෆ් ඇතීනා’ පොතේ පරිවර්තන කටයුතු කරගෙන යනවා. එය සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි. ඊට අමතරව ජේම්ස් රෝලින්ස්ගේ ‘එක්ස්කැවේෂන්’ පොත පරිවර්තනය කරන්න බලාපොරොත්තු වනවා.

අදහස්