අලුත් ජීවි­ත­ය­කට සුභ ආර­ම්භ­යක් | Page 2 | සිළුමිණ

අලුත් ජීවි­ත­ය­කට සුභ ආර­ම්භ­යක්

ඔබේ යුගදිවි අසාර්ථකද, ලැබෙන මුදල් ඔක්කොම වියදම් වෙනවාද, අඹුසැමු ඇසුර බිංදුවටම වැටිලාද, නිතර ම ලෙඩරෝග වැළදෙනවාද, පවුලේ දියුණුවක් නැද්ද. ෆෙංෂුයි පවසන්නේ, ඔබේ නිවෙසේ යම් යම් දේවල් එහාට මෙහාට කර වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතයේ ඉහත ප්‍රශ්න සියල්ල ම විසඳාගත හැකි බවයි.

ෆෙංෂුයි කියල කියන්නේ, මෙයට වසර 3000 කට පමණ පෙර චීනයේ බිහි වූ විස්මිත ශාස්ත්‍රයක්. අද දියුණුවට පත්වී තිබෙන බටහිර යුරෝපීය රටවල අතිශයින් ම ජනප්‍රිය වී ඇති මෙම ශාස්ත්‍රය එම රටවල ජ්‍යොතිෂ විද්‍යා සහ වාස්තු විද්‍යා කටයුතුවලදී බහුලව යොදා ගන්නවා.

ඉංග්‍රීසි භාෂාවෙන් මේ පිළිබඳව පොත් රාශියක් ලියැවී තියෙන අතර, බටහිර රටවල්වල මෙම ශාස්ත්‍රය මෙතරම් ජනප්‍රිය වී තිබෙන්නේ ඉතාම සරල ක්‍රියාවන් මඟින් විස්මිත ප්‍රතිඵල උදා කර ගැනීමට මෙම ශාස්ත්‍රයට තිබෙන හැකියාව නිසයි.

ෆෙංෂුයි යන පදයේ අර්ථය වෙන්නේ සුළඟ සහ ජලය යන්නයි. අපේ පරිසරය ද මෙම මූලධාතු දෙකෙන් ම නිර්මාණය වෙන නිසා අපේ ජීවිතය සහ දෛවයන් ඉන් හැඩ ගැස්වෙන බව ඔවුන්ගේ ප්‍රබලතම ඇදහීමයි.

ඔබේ යුගදිවි අසාර්ථකද, ලැබෙන මුදල් ඔක්කොම වියදම් වෙනවාද, අඹුසැමු ඇසුර බිංදුවටම වැටිලාද නිතර ම ලෙඩරෝග වැළදෙනවාද, පවුලේ දියුණුවක් නැද්ද. ෆෙංෂුයි පවසන්නේ, ඔබේ නිවෙසේ යම් යම් දේවල් එහාට මෙහාට කර වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතයේ ඉහත ප්‍රශ්න සියල්ල ම විසඳාගත හැකි බවයි.

 

දිසාවෙ බලේ

ඔබට ජීවිතය එපාවෙලා වගේ දැනෙනවාද, අලුත් ජීවන ශක්තියක් සහ නව ආදායම් මාර්ගයක්, අලුත් ජීවිතයක් පටන් ගැනීමට ඔබට අවශද?

සතුට සමගිය සහ ආර්ථික සුරක්ෂිත භාවයත් අත් කරගෙන නව ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම ෆෙංෂුයි රහස් පිළිබඳ අපි දැනුවත් වෙමු.

ඒ සඳහා ඔබට මුලින් ම මාලිමා යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. මොකද, ඔබේ නිවහනේ, ඔබේ ගෙවත්තේ ඔබේ කාමරවල අට දිශා පිළිබඳ ඔබ දැනුවත් විය යුතු නිසයි. මාලිමා යන්ත්‍රය අරගෙන ඔබ නිවසේ මැද සිටගන්න. ඊට පස්සේ ඔබට විවිධ දිශාවන් පිළිබඳ හොඳ අවබෝධයක් මුලින් ම ලබාගන්න පුළුවන්. මෙන්න මෙහෙම.

ජීවිතය පහසුවෙන් ගෙන යාමට සහ අඩු මහන්සි‍යකින් සුළු සුළු දේවල් කිරීම ෆෙංෂුයි ශාස්ත්‍රයේ ඇති විශේෂ ලක්ෂණයයි. මෙය මායාවක් බව ඔබට සිතිය හැකියි. නමුත් චීනය වැනි විශාල වශයෙන් දියුණු වූ රටක මිනිසුන් ෆෙංෂුයි ශාස්ත්‍රය කොපමණ බරපතළ දෙයක් ලෙස සලකනවාදැයි කියනවා නම්, ඔවුන් ෆෙංෂුයි ප්‍රවීණයෙකුගෙන් උපදෙස් නොලබා ගෙයක් මාරු කරන්නේවත් නැති බවයි කියැවෙන්නේ.

 

 

ලට්ට ලොට්ටවලින් අවාසනාව

මුලින් ම නිවෙසේ කුණු කන්දල් ඉවත් කරන්න. ඊට පස්සේ සෙමින් කාර්යය අරඹන්න. යම්කිසි දෙයක් වැරදුණොත් ඔබ කළ වෙනස්කම් නැවත පෙර තිබූ තත්ත්වයට ම පත් කරන්න.

ඒ ව‍ෙග් ම ඔබේ ජීවිතය ඉතාම හොඳින්, සතුටින් සහ සරුසාරව තිබෙනවා නම්, නිවසේ කිසිම දෙයක් ෆෙංෂුයි ශාස්ත්‍රයට අනුව වෙනස් නොකරන්න.

ඔබට ප්‍රශ්න ඇති ප්‍රදේශවලට පමණක් සිත යොමු කරන්න. ඔබේ නිවසට කළ යුතු පළමුවැනි ෆෙංෂුයි ප්‍රතිකර්මය වන්නේ නිවසේ ඇති කුණු කන්දල් සියල්ල නිවෙසින් ඉවත් කිරීමයි. ඔබේ නිවසේ හෝ කාමරයේ කුණු කන්දල් ලට්ට ලොට්ට පිරී ඇත්නම් ඔබේ ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න මතු වෙනවා.

කුණු කන්දල්වලට නිවසේ කිසිම ඉඩක් නොදෙන ලෙස ෆෙංෂුයි උපදේශකයන් තදින් ම පවසා සිටිනවා. ඒ නිසා නිවසේ එකතු වෙන කැලි කසළ වහාම නිවෙසින් පිටතට දමන්න.

කුණු භාජනය හෝ කුණු බෑග් නිවෙසින් පිටත තියන්න.

පරණ ඇඳුම්, පරණ පත්තර, කැඩුණු බිඳුණු නිසා නැවත සාදා ගන්නා අරමුණෙන් යුතුව ගොඩ ගසාගෙන තියෙන වැඩක් ගන්නට බැරි විදුලි උපකරණ, පරණ බෝතල් ටින් හැකි ඉක්මනින් ම නිවෙසින් අයින් කරන්න.

ඇඳවල් යට ගොඩ ගසා ඇති පෙට්ටි, ප්ලාස්ටික් භාජන, පත්තර ගොඩවල්, ඉරිච්ච ඇඳුම් සහ පරණ සපත්තු එකතු වූ පෙට්ටි ආදිය ඔබට ගෙනෙන්නේ ම මහත් ම අවාසනාවක්. මේවා ඉවත් කිරීම යනු ඔබේ අතීතයෙන් මිදීමක්. ඒ වගේම අලුත් ජීවිතයක ආරම්භයක් බවද මතක තබා ගන්න.

එක් පත්‍ර කලාවේදියෙකුට, ඔහුගේ රැකියාව අහිමි වුණා. මම ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ ලියන මේසය සහ කාමරය අස්පස් කර ලාච්චු පවා සුද්ද බුද්ද කර , නව පෙනුමකට අවතීර්ණ වන ලෙසයි. ටික දිනකදී ඔහුට අලුත් රැකියාවක් ලැබීම මේ වෙනස් ප්‍රතිඵලයක් වුණා.

ඔබේ නිවෙස, කාමරය අපිරිසුදු නම්, කැලි කසල පිරුණු තැනක් නම් ඔබට කවදාවත් මුදල් ඉතිරි කරන්න ලැබෙන්නේ නැහැ.

අන්තිමට ඔබ රෝගියෙක් වෙන්නත් ඉඩයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වත් ඔබට වරදින්නේ නැහැ.

කැලි කසලින් ලට්ට ලොට්ටවලින් තොර කාමරය සහ නිවෙස ඔබේ ජීවිතයට පුදුමාකාර සතුටුදායක ප්‍රතිඵල ගෙනෙන බව අත්විඳින්න.

 

නිදන කාමරයට කණ්ණාඩි එපා

ගුප්ත ශක්තිය පරාවර්තනය කරන නිසා කන්ණාඩි පාවිච්චි කිරීම ඉතා ම ප්‍රවේසමෙන් කළ යුතු දෙයක්. ඔබ විවාහක කෙනෙක් නම් ඔබේ කාමරයට කන්ණාඩි නැති වෙන තරමට හොඳයි.

කන්ණාඩියක් තබන්න වෙනත් තැනක් නැත්නම් ඒ කන්ණාඩිය රෙද්දකින් වසා තබන්න. නැත්නම් අල්මාරියක් ‍හෝ කබඩ් එකක් ඇතුළේ එම කන්ණාඩිය තබන්න. අවශ්‍ය වෙලාවට පමණක් අරගන්න.

 

පැලෑටිවලිනුත් වාසනාව

පැලෑටියක් ජීවමානයි. ඒ නිසා නිවෙසේ මුළුවල පල්වෙන ශක්තිය වෙනස් කරවීමට ඉවහල් වෙනවා. නිවසේ හෝ ඔබ රැකියාව කරන ස්ථානයේ (ඔෆිස් එකේ) පැලෑටියක් වැවූ බඳුනක් තැබීමෙන් ඔබේ රැකියාවත් ජීවිතයත් නැවුම් වෙනවා.

ඔබේ වැඩකටයුතු එකම තැන පල්වෙන ස්වභාවයක් ගන්නවා නම් රවුම් කොළ තිබෙන පැලෑටියක් පෝච්චියක වවා එය ඔබේ ලියන කාමරයේ තබා වෙනස අත්විඳින්න.

උපදෙස්

ප්‍රවීණ ෆෙංෂුයි උපදේශක

ආසිරි වනිගරත්න

Comments