ප්‍රසංග වේදි­කාව ජය­ ගත් හික්ක­ඩුවේ ෂයිනි | Page 2 | සිළුමිණ

ප්‍රසංග වේදි­කාව ජය­ ගත් හික්ක­ඩුවේ ෂයිනි

මෙරට කණ්ඩායම් සංගීත කේෂ්ත්‍රයට නව නාද රටාවන් එක්කරමින් ප්‍රසංග වේදිකාව ජයගත් ‘හික්කඩුවේ ෂයිනි‘ මෙවර BAND OF THE WEEK කතාබහට එක්කරගත්තෙමු. එහි නායක ජනක දීප්ති සිය කණ්ඩායමේ ආරම්භයේ සිට මේ වෙන තෙක් ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳව මෙලෙස කතාබහක නියැළිණි.

 

ඔබ කවුරුද?

මගේ නම ජනක දීප්ති. හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමේ නායකයා වගේම කළමනාකරු ලෙස කටයුතු කරනවා.

පාසල් ගියේ?

හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලයට

කණ්ඩායම් සංගීතයට යොමු වෙන්නේ කොහොමද ?

මුලින්ම සංගීතයට යොමු වුණේ පාසල් කාලයේදී. එහිදි විෂයක් විදිහටත් සංගීතය හැදෑරුවා. ඉන් පස්සේ උසස් පෙළ පංතියේ ඉද්දි තමයි ෂයිනි සංගීත කණ්ඩායම පටන් ගත්තේ. මගේ පංතියේ මිතුරන් හය දෙනෙක් ම කණ්ඩායමේ හිටියා. ඒ නිසා පහසුවෙන් පටන් ගන්න පුළුවන් වුණා.

සංගීත කණ්ඩායම පටන් ගනිද්දි පාසලෙන් විරෝධයක් ආවේ නැද්ද?

ඇත්තටම එහෙම විරෝධතාවක් ආවේ නැහැ. අපිට මේ සඳහා උදව් කළෙත් පාසලේ සංගීතය උගන්වපු සිසිර සර්. අපේ මුල්ම ප්‍රසංගය පැවැත්වුණෙත් පාසලේමයි.

ෂයිනි කියන නම යෙදුවේ ඇයි?

මගේ නමේ දීප්ති කියන වචනයෙන් හැඟවෙන්නේ ෂයින් කියන එක. එහෙම හිතලා නම දැම්මා.

ෂයිනි කාලයක් නතර වෙලා ඉදලා නේද නැවත පටන් ගන්තේ?

ෂයිනි පටන් ගෙන එක දිගට අවුරුදු පහළොවක් විතර කරගෙන ආවා. ඒ අතර මම හොටෙල් අංශයට යොමු වුණා. ඒ නිසා තමයි ටික කාලයකට සංගීත කණ්ඩායම නතර කරන්න වුණේ.

ඇයි නැවත පටන් ගන්න හිතුවේ?

මම පුංචි කාලේ ඉදලා සංගීතයට පුදුම ආසාවක් තිබුණේ. රිදම් ගිටාරය තමයි වාදනය කළේ. ගීත ගායනයටත් හැකියාවක් තිබුණා. ඒ නිසා මට යළිත් සංගීත කණ්ඩායම පටන් ගන්න හිතුණා. එහි ප්‍රතිපලයක් විදියට නැවත කණ්ඩායම පටන් අරගෙන අවුරුදු තුනක් විතර වෙනවා.

ෂයිනි හැඩ කරන අනෙක් සමාජිකයන් ගැන කිව්වොත්?

ඩ්‍රම්ස්-එරන්ද තමාල්, කී බෝඩ්- ශානක ජනිත්, ලීඩ් ගිටාර්- තිරංග සුදේෂ්, රිදම් ගිටාර්- තරංඟ බණ්ඩාර, බේස් ගිටාර්- ෂම්සුධීන් නිලාර්දීන් (රාජා), ඔක්ටර් ෆෑඩ්- සුසිල් ජයන්ත, ගායන ශිල්පීන් ලෙස මනේත් සංජය, රිෂී තරිඳු, අඛිල තරංඟ කටයුතු කරනවා. ඒ වගේම හිරුස්ටාර් වුණ මංගල ඩෙනිස් හිටියෙත් මගේ සංගීත කණ්ඩායමේ.

මොවුන් වෘත්තියක් විදිහටද වැඩ කරන්නේ?

මේ සියලු දෙනාම වෘත්තියක් විදිහටයි කණ්ඩායමේ වැඩ කරන්නේ. ඒ අයට අවශ්‍ය සෑම පහසුකමක්ම මම ලබා දී තිබෙනවා.

ඒ කියන්නෙ ඔබ වෘත්තියක් විදියට නෙවෙයිද සංගීත කණ්ඩායම කරගෙන යන්නේ?

මගේ ව්‍යාපාර තමයි හොටෙල්. මම මෙය කරන්නේ විනෝදාංශයක් විදියට මිසක් සල්ලි හම්බ කරන්න නෙවෙයි. ව්‍යාපාර කරලා හම්බ කරන සල්ලි වලිනුත් වැඩි කොටසක් සංගීත කණ්ඩායමටයි යොදවන්නේ.

ගෙදරින් විරෝධතා එල්ල වෙන්නැද්ද මෙය නතර කරලා ව්‍යාපාර විතරක් කරන්න කියලා...

අම්මගෙන් තමයි මුලින්ම ඒ විරෝධතා ආවේ. මොකඳ මම ව්‍යාපාර පැත්ත අවුල් කර ගනී කියලා. ඒත් කාලයක් යද්දි තේරුම් ගත්තා මම නිවැරැදිව සියලු දේ සමබරව කරගෙන යනවා කියලා. දැන්නම් එහෙම විරෝධතාවක් නැහැ. බිරියත් හොඳ සහයෝගය ලබා දෙනවා.

යම් මොහොතක ඔබේ කණ්ඩායමේ කවුරුන් හෝ කඩාගෙන ගියොත් මොකද වෙන්නේ?

මම නම් කිසි වෙලාවක එහෙම කවුරු හරි කඩාගෙන යයි කියලා හිතන්නේ නැහැ. මොකද මම ඒ අයට කිසිම කණ්ඩායමත් සලකන්නේ නැති විදියට සලකනවා. පහසුකම් ලබා දී තිබෙනවා. එහෙම යම් කෙනෙක් ගියොත් ඊටත් වඩා හොඳ ශිල්පියෙක් අරගන්නවා.

ඒ කියන්නේ ඔබ වෙනත් කණ්ඩායම් කඩලා ශිල්පින් ගන්නවා?

කිසිම වේලාවක එහෙම දේවල් කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඔහුගේ පෞද්ගලික හේතූන් මත ඉවත් වෙලා ඉදලා, පසුව මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්ත පල කළොත් ගන්නවා.

ෂයිනි අනුකරණය කරන වෙනත් කණ්ඩායමක් තිබෙනවද?

කිසිම කණ්ඩායමක් අනුකරණය කරන්නේ නැහැ. හැබැයි හැම කණ්ඩායමකම සිදු කරන දේ හොදින් නරඹලා අපිට ආවේනික දේ තමයි කරන්නේ

මේ දුර එන්න අතහිත දුන්නේ කවුරුද?

මගේ අම්මා, අයියා, සංගීත කණ්ඩායමේ ශිල්පීන් වගේම ඔවුන්ගේ පවුල්වල අය, මිතුරන්, ඒ වගේම නම් ගම් නොකියපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

නිතර කතාබහට ලක්වෙන අංක එකේ සංගීත කණ්ඩායම බවට පත්වෙන එක තමයි එකම බලාපොරොත්තුව 

 

Comments