පොප් රජු මිය ගොස් දස වස­රයි | සිළුමිණ

පොප් රජු මිය ගොස් දස වස­රයි

ඔහු ඔටුනු නොපළන් රජෙකි. පියාපත් නොමැති දේව දූතයෙකි. එසේ වන්නේ අහඹුවකින් ලැබුණු දෙයක් නිසා නොවේ. තම හැකියාව, දක්ෂතාව මෙන්ම කැපවීම ද කරුණාවන්ත බව හා ආදරණීය බව ද නිසයි. ‘King of pop’ පොප් සංගීතයේ රජු‍ ලෙස ඔහුට නිල නොලත් නාමයක් ලබා ගත හැකි වූයේ මේ ගුණාංග හා මුසු වූ දක්ෂතාව ලෙසයි.

මයිකල් ‍ජෝසප් ජැක්සන් ලෙසින් වූ ඔහුගේ නාමය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වන්නේ මයිකල් ජැක්සන් නමිනි. නව දෙනෙකුගෙන් යුත් පවුලේ අටවැනියා ලෙසින් 1958 අගෝස්තු 29 වැනිදා උපත ලැබූයේ ඇමරිකානු ජාතිකයකු ලෙසිනි.

වයස අවුරුදු පහේ දී තම සොහොයුරන් සමඟ ‘ද ජැක්සන් ෆයිව්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් සංගීත ලොවට පිවිසියේය. කුඩා මයිකල් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ ඔහු සතු හුරුබුහුටි පෙනුමට එක්වූ දක්ෂතාවන් නිසයි. එය අනාගත සුපිරි තරුවකගේ හැඩහුරුකම කියා පෑමට සමත් විය.

යෞවනයකු වන විට කණ්ඩායමේ ජනප්‍රියම ගායකයා වූ ඔහු දිනෙන් දින වැඩුණේ තමා තුළ ඇති දක්ෂතාවන් ද වර්ධනය කර ගනිමිනි. මේ අනුව ඔහු ගායකයකු, ගීත රචකයකු, රංගන ශිල්පියකු, නර්තන ශිල්පියකු ආදී බොහෝ භූමිකාවන්හි සජීවී චරිතයක් විය. පොප් සංගීතයේ පුරෝගාමී චරිතයක් වූ මයිකල් වෙනස් ම නර්තන ශෛලියක් කලා ලොවට දායාද කළේය.

තමාගේ සන්දර්ශන පවත්වන සෑම නගරයකම ළමා රෝහලක් සඳහා මුදල් පරිත්‍යාග කිරීමට තරම් ඔහු නිර්ලෝභී විය. තමාට ළමා විය නිසි ලෙස විඳින්නට හැකියාව නොලැබුණු නිසා කුඩා දරුවන් කෙරේ වැඩි ආදරයක් ළෙන්ගතුකමක් පෑම ඔහුගෙන් සිදු වුණේ නිරායාසයෙනි. දරුවන් කැමැති පරිද්දෙන් වෙන් වූ ස්ථාන ඇතිව නිම වූ ඔහුගේ සුප්‍රසිද්ධ නිවහන නෙවර්ලන්ඩ්හිදී ඔහු ද කුඩා දරුවන් සමඟ දඟ කිරීමට සෙල්ලම් කිරීමට කැමැත්තක් දැක්වීය.

මේ නිසාම ඔහුට‍ පසුකාලීනව ළමා අපචාර ‍චෝදනාවක් එල්ල වුවද FBI වසර 6ක පරීක්ෂණවලින් ද පසු ඔහු එම චෝදනාවෙන් නිදහස් කෙරිණි.

මයිකල් ජැක්සන් විලාසිතා ලෝකයේ ද තරුවකි. ඔහුගේ විලාසිතා ඔහුට ම අනන්‍ය වූ ඒවා විය. ඇතැම් විලාසිතා සඳහා විවිධ ‍හේතූන් ද බලපෑවේය. මයිකල් වේදිකාවේ දී එක් අතක සුදු අත්වැස්මක් පැළඳීම ඔහුටම අනන්‍ය විලාසිතාවක් විය. එහෙත් පිටිලිගෝ නමැති සමේ රෝගය මුලින්ම ඔහුගේ අතේ පැතිරීම නිසා එය වසන් කරගැනීමට එලෙසින් අත්වැස්මක් පැළැඳි බව බොහෝ දෙනා නොදනිති. පසුව එය මයිකල්ගේ සංකේතයක් වන තරමට ම ජනප්‍රිය විලාසිතාවක් විය.

ඔහු අඳින ඇඳුම්වල වම් අතේ ඉහළ රිබන් එකක් ලෙසින් පටියක් ඇති අයුරු ඔබත් දැක ඇති. වරෙක මයිකල් පවසා තිබුණේ ඔහු එසේ සිදු කරන්නේ ලෝකයේ දරුවන් සිහිකිරීමක් ලෙසින් බවයි.

කළු මිනිසකු ලෙස ඉපිද තම සම සුදු සමකට හරවා ගත්තා යැයි ලෝකයේ මෙන් ම අපේ රටේ ද බොහෝ ඇත්තන් මේ සුපිරි කලාකරුවා දෙස නෝක්කාඩු ඇසින් බැලීය. එහෙත් පිටිලිගෝ නමැති සමේ රෝගය ඔහුගේ මුහුණ ද ආක්‍රමණය කරමින් තිබුණු නිසා සුදු සමක් ලබා ගැනීමට ඔහුට සිදු විය.

කොතරම් ජීවිතයෙන් පීඩා වින්දත් ඔහු තම මානවහිතවාදී ගුණය, පරිසර හිතකාමීත්වය, සත්ත්වලෝලීත්වය යනාදී ගුණාංග අත නොහැරියේය. ලෝකය වඩාත් හොඳ තැනක් කිරීමට ඔහුට අවැසි වූයේ මේ නිසයි.

ඔහුට හුරතලයට ඇති කරන චින්පන්සියකු ඇතුළු සතුන් කිහිපදෙනකු ම සිටියේ සතුන්ට දක්වන ආදරය නිසාමය. ගහකොළ, පොකුණු ආදියෙන් පිරුණු නෙවර්ලන්තයේ තිබෙන අතුපතර විහිදී ගිය එක් ගසක් ඔහුට සුවිශේෂී විය. එම ගසේ ඉහළ අතුපතර වාඩි වී අවට සිරි විඳීම ඔහුගේ විනෝදාංශයකි. හීල් ද වර්ල්ඩ්, බ්ලැක් ඕ වයිට් වැනි ඔහුගේ ජනප්‍රිය ගීත බොහොමයක් ඔහු අතින් ලියැවී ඇත්තේ මෙම ගසේදී වීම ඇතැම් විට ඔබට අලුත් පුවතක් විය හැකිය. ඔහු කොතරම් පරිසර හිතකාමියෙක් ද යන්නට එයට වඩා අටුවා ටීකා අවැසි නැත.

ඔහුගේ ආදරය හිමි වූයේ රොක් සංගීතයේ ගිනි සිළුව ලෙස සැලකෙන එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය වූ ලීසා මාරි ප්‍රෙස්ලි හටය. එහෙත් ඔවුනගේ විවාහයට වැඩි ආයුෂ නොතිබිණි. පසුව ඩෙබී රෝවර් නමැති තරුණිය සමඟ විවාහවූ ඔහු දරුවන් ලැබීමෙන් පසු ඇයගෙන් වෙන් විය. දරුවන් ඇති දැඩි වූයේ මයිකල් සමඟිනි.

ලොවටම ආදරය කළ, යුද්ධ ප්‍රතික්ෂේප කළ මේ දක්ෂ කලාකරුවා, මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසා කවුරුත් නොසිතූ මොහොතක ඔහුගේ නෙවර්ලන්ඩ්හි පිහිටි නිවසේදී අවසන් සුසුම් ‍වාතලයට මුසු කළේය. එය ලොව පුරා සිටින ඔහුගේ මිලියන ගණනක් වූ රසික හදවත් ශෝකයෙන් පිරවීමට සමත් විය.

‘මගේ තාත්තා ලෝකයේ හොඳ ම තාත්තා. මම ඔහුට ආදරෙයි’ ඔහුගේ පුතුන් දෙදෙනාගේ හා දියණියගේ හැඬුම්බර වදන් සැමගේ නෙත් කඳුළින් තෙත් කරවීය. මයිකල්ගේ කුඩා පුතු තම පියාගේ මළගමට සහභාගී වූයේ පියාගේ රුව රැගත් බෝනික්කකු තුරුලේ තබා ගනිමිනි. ඔහු දරුවන්ට කොතරම් ආදරණීය පියකු වූ බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ.

ඔහු මෙලොව හැර ගොස් මේ මස 25 වැනි දිනට වසර 10 කි. වසර දහයක් ගතවීත් ඔහුගේ රසික සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම ඔහුගේ අපූර්වත්වයයි.

ගිනස් වාර්තා තබා ඇති, වැඩිම සම්මාන ප්‍රමාණයක් ලබා ගත් මේ අපූරු කලාකරුවා තනි පුද්ගලයෙක් විසින් සිදු කරන ලද වැඩිම පරිත්‍යාග සඳහා ලෝක වාර්තාවට හිමිකම් කීම ඔහුගේ කාරුණික බව ප්‍රකට කරන්නකි.

අසරණ දරුවන් වෙනුවෙන් ඔහුගේ හදවතේ ඉඩකඩ වෙන්විය. ඔහු තම මවට දැඩි සේ ආදරය කළේය. මයිකල් දරුවන්ට ආදරය කළේ ඔහුගේ ළමා අවධියේ සිට බව ඔහුගේ පියා වරෙක පුවත්පතකට පවසා තිබුණි. ‘කුඩා අවධියේ ගීත ගායනයෙන් මුදල් ලැබුණු පසු මයිකල් චොක්ලට්, අයිස්ක්‍රීම් අරන් අහල පහල ළමයින්ට බෙදා දෙනවා’

හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ යන්නට මෙය කදිම නිදසුනකි.

අදටත් මයිකල් ජැක්සන් ලොව පුරා ජනතාවගේ ආදරය දිනා ගන්නේ ඔහු තුළ තිබූ දක්ෂතා නිසා පමණක් නොවේ.

ඔහු සතු වූ උතුම් මනුසත් බවටයි. ඔහු කලාකරුවන්ට පමණක් නොව, සෑම පුද්ගලයකුට ම ආදර්ශයක් වන්නේ එබැවිනි. 

Comments