සංචා­ර­ක­යන් ඇද­ගන්නා ජපා­නයේ වී කලා නිර්මාණ ටැන්බෝ | සිළුමිණ

සංචා­ර­ක­යන් ඇද­ගන්නා ජපා­නයේ වී කලා නිර්මාණ ටැන්බෝ

ජපානයේ කුඩා නගරයක් වන ඉනාකඩේට් (Inakadate) නගරය සාම්ප්‍රදායික ගොවි නගරයක්. මෙහි වෙසෙන්නන් වසර දෙදහසක් වැනි විශාල කාලයක් පුරා වී වගා කරමින් ජීවත් වී තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය හා කාර්මිකරණය ප්‍රධාන නගර වෙලා ගන්නා විට මෙම කුඩා නගරයේ තරුණ පරම්පරාවත් රැකියා සඳහා ප්‍රධාන නගර වෙත ඇදී යාම ඇරැඹී තිබෙනවා. මේ නිසා නගරයේ පැවැත්මට හානියක් වේ යැයි සිතූ නගර වැසියන් කුඹුරු කිරීමට අමතරව නගරයට ආදායමක් එක් කර ගත හැකි ක්‍රම පිළිබඳව සලකා බලා තිබෙනවා. මෙහිදීත් ඔවුන්ගේ ගැලවුම් කරු වී තිබෙන්නේ ඔවුන්ගේ ගොවිතැන් කර්මාන්තයයි. විවිධ වී වර්ග රටාවක් ලෙසින් සිටවා චිත්‍රයක් නිර්මාණය කර සංචාරක ආකර්ෂණය දිනා ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව මොවුන් වෙනස් වර්ණයන්ගෙන් යුත් වී වර්ග 2ක් භාවිතා කරමින් පළමු සිතුවම සාදා තිබෙන්නේ 1993 වර්ෂයේදී. එම සිතුවම ජපානයේ කඳුවැටියක් හා එහි නම ජපන් අකුරුවලින් නිර්මාණය කර තිබෙන්නක්.

එම සිතුවම එතරම් ආකරෂණීය නොවුණත් ඔවුන් දිගින් දිගටම සෑම වසරකම එක් තෝරාගත් වෙල්යායක මෙම වී සිතුවම් නිර්මාණය කර තිබෙනවා. සෑම වසරකම යම්කිසි තේමාවක් යටතේ මෙම නිර්මාණ සිදු කර තිබෙන අතර මෙම තේමාවන් බොහෝ දුරට ජපන් ජන සංස්කෘතිය හා බැඳුණු තේමාවන්.

එසේ වුවද අතරින් පතර මොනාලිසා හා ස්ටාර් වෝර්ස් වැනි තේමාවන් යටතේ නිර්මාණ සිදු කර තිබෙන්නේ හුදෙක් සංචාරක ආකර්ෂණය වැදගත් යැයි සැලකුණු නිසායි. නගර කවුන්සිලය සෑම වසරකම තේමාව තීරණය කරන අතර ඉන්පසුව ඒ ඇසුරෙන් සිතුවම සකස් කරන්නේ එහි තිබෙනා පාසලේ චිත්‍ර ගුරුවරයා වන අට්සුශි යමමොටෝ මහතා විසිනි. ඔහු නිර්මාණය කරන සිතුවම පරිගණකය ආධාරයෙන් වැඩි දියුණු කර සකසන්නේ නැරඹුම් අට්ටාලය වෙතට එය නිවැරැදි දිශානතියෙන් දිස්වීම සඳහායි. ඉන්පසුව කුඹුරෙහි විවිධ වී වර්ග වගා කළ යුතු ස්ථාන සලකුණු කර ඒ ඔස්සේ වගා කරමින් සිතුවම සම්පූර්ණ කරනවා.

වර්තමානය වන විට ස්ථාන දෙකක සිතුවම් දෙකක් නිර්මාණය කරන අතර ප්‍රධාන සිතුවම අක්කර 4කට ආසන්න භූමි ප්‍රදේශයක වගා කරනු ලබනවා. මේ සඳහා වර්ණ 7කට පමණ අයත් වන වී වර්ග 10ක් පමණ භාවිතා කරන අතර ඒවා සිටවීම සඳහා 1200ක් වැනි විශාල පිරිසක් සහභාගි වනවා. මේ නිසා ඔවුනට ඉතා සංකීර්ණ සිතුවම් නිර්මාණයකිරීමට හැකියාව ලැබී තිබෙන්නේ විශාල සංචාරක ආකර්ෂණයක් ලබා දෙමිනි. ‘ටැන්බො‘ (Tanbo) නමින් හඳුන්වන මෙම වී කලා නිර්මාණ නැරඹීමට වසරකට ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම කුඩා ප්‍රදේශයට පැමිණෙනවා. සෑම වසරකම ජූනි මස සිට ඔක්තෝබර් දක්වා මෙම නිර්මාණය නැරඹීමට හැකි අතර ජූලි හා අගෝස්තු මාසයන් හි මෙම සිතුවම් වඩාත් විචිත්‍රවත් ලෙසින් දිස් වනවා.

ස්වාභාවික සෞන්දර්යය නිසා සංචාරක ආකර්ෂණය ඉතා දැඩි ලෙසින් අපේ කුඩා රටට ලැබී තිබුණත් පසුගියදා එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා එය සම්පූර්ණයෙන්ම ඇණහිටි බව අප දන්නවා. නමුත් මෙම කුඩා ජපන් ගම්මානය මෙන් අපටත් නැවත සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත හැකි ක්‍රම අත්හදා බැලීමට හැකියාව තිබෙනවා.

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී මෙවැනි ව්‍යාපෘති මගින් එක් එක් ප්‍රදේශවලට ආවේණික සංස්කෘතික අංගයන් ලෝකයට විදහා දැක්වීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. 

 

Comments