BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

ඊෂාට තවත් දුවෙක්

ඊෂා ඩියොල්, භාරත් ‍ටක්ටානි සමඟ යුගදිවි ගමන් ඇරඹුවායින් පසුව සිනමා රංගනයට එක් වුණේ නැහැ. භාරත් - ඊෂා යුවළ මුලින් ම මවුපිය පදවි ලැබුවේ රද්යා මෙලොව එළිය දැකීමෙන් පසුවයි. ඇයට දැන් වයස අවුරුදු එකහමාරයි. රද්යාට තවත් බාල සොයුරියක් ලැබිලා.‍ ඇගේ නම මිරායා. පසුගිය 10 දා ඇය උපන් නිසා ඊෂා දෙවැනි වතාවටත් මවුපදවිය ලැබුවා. භාරත් දෙවැනි වතාවට පිය පදවිය ලැබුවා. තමන් තවත් දියණියක බිහි කළ බව ඊෂා ලොවටම ප්‍රකාශ කළා. දියණියක ලැබූ පුවත දැනගත් ඇගේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් ඇයට සුබ පැතුවා. මුලින් ම ඊෂා සහ බිළිඳිය දැක බලා ගන්න රෝහලට පැමිණියේ ඇගේ මවුපියන් වන ප්‍රවීණ නිළි හේමා මාලිනී සහ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රයි. හේමා මාලිනි පසුගියදා පැවැති ඉන්දීය මහා මැතිවරණයෙන් යළි ජයගෙන ලෝක් සභාවට තේරී පත්වුණා. ඇය යළිත් වතාවක් අත්තම්මා කෙනෙකු බවටත් පත්වුණා.

“මම පොඩි කාලෙ ඉඳල මගේ නංගිත් එක්ක එක කාමරය බෙදාගෙන තමයි හිටියෙ. මගේ සැමියා එයාගෙ බාල සහෝදරයා එක්ක පොඩි කාලෙ ඉඳල තියෙන්නෙත් ඒ විදිහටමලු. ඉතින් රද්යා දුවටත් මිරායා නංගිත් එක්ක එක කාමරේ බෙදාගෙන තමයි ඉන්න පුරුදු වෙන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් එහෙමත් බෙදා හදාගෙන පාවිච්චි කරන්න පුරුදු වේවි කියල අපි හිතනවා.” ඊෂාගේ ඒ කතාව කාට කාටත් වැදගත් වේවි.


ශාහිඩ් මෙහෙකාර තරුණියක් ලුහු බැඳලා

ශාහිඩ් කපූර් මෙහෙකාර තරුණියක් පසුපස ලුහුබැඳ යන දර්ශනයක් දුටු බොලිවුඩ්පුරයේ බොහෝ දෙනකු විස්මයට පත්වෙලා. මේ ගැන හතර වටින්ම ශාහිඩ්ගෙන් ප්‍රශ්න අහන්නත් පටන් ගෙන තියෙනවා. ප්‍රශ්න ඇහුවට ශාහිඩ් නම් ඒවට උත්තර දුන්නෙ කිසිම කලබලයක් නැතුවයි. මොකද, එය චිත්‍රපටයක දර්ශනයක් නිසා.

ශාහිඩ්, එලෙස ලුහුබඳින්නේ ජනප්‍රිය නිළි කියාරා අද්වානිවයි. දර්ශනය ඇතුළත් වන්නේ ළඟදීම තිරගත වීමට නියමිත ‘කබීර් සිං’ චිත්‍රපටයේයි. ශාහිඩ් නිරූපණය කරන්නේ කබීර් සිං නම්වූ දඩබ්බර චරිතයයි. කියාරා තමයි මෙහෙකාර තරුණිය ලෙස රඟන්නේ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව විකාශය වූ රූපවාහිනී වැඩසටහනට ශාහිඩ් සහභාගි වුණා. එහිදී ඔහු වෙත නැඟුණු ප්‍රශ්නයක් වූයේ ‘සැබෑ ජීවිතයේදීත් එවැනි හැසිරීමක් ඔබ තුළින් දිස්වනවාද’ කියලයි. “මම මිරා රාජ්පුට්ව විවාහ කර ගත්තට පස්සෙ අපේ ගෙදරට මෙහෙකාරියන් වැඩට ආවා. ඔය කියන චිත්‍රපට දර්ශනයේ මම මෙහෙකාරියකගේ පස්සෙන් එළවන්නෙ එයා වීදුරුවක් කඩපු නිසා. මම නම් ඇත්ත ජීවිතයේදී කිසිම දවසක මෙහෙකාරියකට බැනලාවත් නැහැ. වරදක් කළොත් සමාව දෙනවා” ශාහිඩ්, ප්‍රශ්නයට එලෙස උත්තර දුන්නා.

කබීර් සිං, මත්පැනට සහ දුම්පානයට ඇබ්බැහි වූ චරිතයක්. ඒ නිසා, මේ චරිතය වෙනුවෙන් ම දිනකට සිගරට් 20 ක් පමණ පාවිච්චි කරන්නට තමන්ට සිදුවූයේ යැයි ශාහිඩ් කියා සිටියා.

“මම දුම්බොන කෙනෙක් නෙමෙයි. චරිතය වෙනුවෙන් එහෙම කළා. ඉතින් රඟපාල ඉවර වුණ ගමන් පැය දෙකක් විතර නාලා තමයි මම ගෙදර ආවේ” ශාහිඩ් තවදුරටත් කියා සිටියා.


ජාතිය - ඉංග්‍රීසි කතාව - හීබෲ

‘ඇලඩින්’, මේ දිනවල ලොව පුරා තිරගත වන්නේ රසික රසිකාවියන්ගේ ප්‍රසාදය දිනා ගනිමින්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවකු වන ගයි රිචී. ගායන ලොවේ කිරුළු පැළඳි සුපිරි තාරකාවිය, මැඩෝනා සමඟ වසර 8 ක යුගදිවියක් ගත කළේත් මේ ගයි රිචීම තමයි.

පසුගියදා ඔහු ඊශ්‍රායල පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. එහි මාතෘකාව වුණේ ‘ඇලඩින්’ චිත්‍රපටයයි‍. කතාබහ ඇරැඹීමට කලින් පුවත්පත නියෝජනය කළ මාධ්‍යවේදියාගෙන් ‍ගයි රිචී ඉල්ලා සිටියේ ඊශ්‍රායලයේ මවු භාෂාව වන හීබෲ භාෂාවෙන් කතා කරන්නේ නම් තමන් සතුටු වන බවයි. ‘ගයි, උපන්නේ එංගලන්තයේ. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක්. ඒත් හීබෲ කතා කරන්න එයාට පුළුවන් වේවිද?’ මාධ්‍යවේදියා සැක පහළ කළා.

කෙසේ වෙතත්, ගයි රිචී සම්මුඛ සාකච්ඡාවේදී චතුර ලෙස හී‍බෲ බස කතා කළේ මාධ්‍යවේදියාව විස්මයට පත් කරමින්. සාකච්ඡාව අවසන් වූ පසුව ගයි රිචී පැවසුවේ තමන් හීබෲ බසට කාලයක් තිස්සේ ඇලුම් කළ බවයි. ඒ නිසාම පසුගිය වසර 15 ක කාලයක් තුළ හීබෲ බස හොඳින් ඉගෙන ගත් බවත් ඔහු කියා සිටියා. ගයි, දැන් විවාහ කරගෙන සිටින්නේ ජනප්‍රිය නිළි ජැකී ඒන්ස්ලි වයි. ඇයත් හීබෲ භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවලු.


ශකිරා උසාවියේ

මියුරු ගායනයත් දුටුවන් සිත් ඇඳගන්නා රූ සපුවත් නිසා ශකිරා අද ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. මෑතකදී ඇයට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා. ඇය ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනාවක් නැගිලා‍. ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ ඩොලර් මිලියන 16 ක බදු මුදලක් ඇය විසින් ගෙවා දැමීම පැහැර හැර ඇති බවයි. මේ පිළිබඳව සිදු කෙරෙන නඩු විභාගයට මුහුණ දීමට පසුගියදා ඇය ස්පාඤ්ඤයේ බාසිලෝනා හි අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියා.

බාසිලෝනා අධිකරණයට උදෑසන 10 ට පමණ පැමිණි ශකිරා, තම වාහනයෙන් බැස ඉක්මන් ගමනින් අධිකරණ ශාලාවට පියමැන්නේ පැපරාසි කැමරා කරුවන්ගෙන් බේරීමටයි. නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවූ නීතිඥවරුන්ගේ චෝදනාව වූයේ ශකිරා ස්පාඤ්ඤයේ කැටලෝනියා නගරයේ පදිංචිව සිටියද ඇය කැරිබියන් දූපත් හි බහමාස් නගරයේ ද ජීවත් වූ බවයි. 2012 සිට 2014 දක්වා කැටලෝනියා හි ස්ථිර පදිංචිකාරියක වූ නිසා ඇය එම කාලය වෙනුවෙන් බදු මුදල් ගෙවිය යුතු වුව ද එම ගෙවීම පැහැර හැර ඇතැයි ද ඔවුන් තවදුරටත් තර්ක කරනවා.

ශකිරාගේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ ගෙවිය යුතු බදු මුදල් කොපමණ දැයි දැන ගත් වහාම ඇය එම මුදල් මේ වනවිට ගෙවා ඇති බවයි. ශකිරා දැන් බාසිලෝනා හි පදිංචිව සිටින්නේ තම සහකරු ජෙරාඩ් පික් සහ පුතුන් දෙදෙනා සමඟයි‍.

අදහස්