ඉදිකිරීම් කර්මාන්තය අලුත් පාරකට හැරවූ පේරාදෙණි දියණිය | සිළුමිණ

ඉදිකිරීම් කර්මාන්තය අලුත් පාරකට හැරවූ පේරාදෙණි දියණිය

රටවල් ගණනාවක තරඟකරුවන් අබිබවයි

හොඳම ආයෝජනයට හිමි සම්මානය ද දිනා ගනියි

පහසුවෙන් පස් පිරික්සීමේ මෘදුකාංගයට අන්තර්ජාතික ඇගයීම්

සමස්ත ලෝකයේ ම අවධානය පසුගිය සති අන්තයේ මේ පුංචි දිවයින වෙත යොමු වුයේ මෙරට තරුණ විද්‍යාඥයන් දෙදෙනකු අතින් නිර්මාණය වූ රාවන් වන් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හේතුවෙනි. මිලියන විස්සක පමණ ජනතාවක් වෙසෙන ශ්‍රීලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවත් මේ පුංචි රටේ ඉපද ලෝකය මවිත කරන නිර්මාණ කරන්නෝ ඉඳහිට පහළ වෙති.

රාවන් වන් ගුවන් ගතකර එවන් කීර්තියක් තරිඳු දයාරත්න හා දුලානි චාමික විතනාගේ මෙරටට දිනා දෙත්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන චතුරංගි එදුස්සූරිය විද්‍යාර්ථිනිය ද ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ නව නිර්මාණයක් කරමින් අන්තර්ජාතික ජයග්‍රහණයක් ලක් දෙරණට ලබා දීමට සමත්ව තිබේ.

ඇමරිකාව, චීනය, එංගලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක තරඟකරුවන් දහසක් දෙනා අභිබවමින් ඇය මේ ජයග්‍රහණය හිමි කර ගැනීම විශේෂත්වයකි. වසර හැත්තෑ පහක් පැරණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයී නාමය යළිත් වරක් අන්තර්ජාතිකත්වය තුළ සටහන් කිරීමට ඇය සමත් වූයේ පස් සාම්පල පරික්ෂාවට අදාළ මෘදුකාංගයක් නිර්මාණය කර එහි ප්‍රතිපල ක්ෂණිකව අන්තර් ජාල සම්බන්ධතාවක් ඔස්සේ ජංගම දුරකතනයට ලබා ගැනීමට හැකි උපකරණයක් නිර්මාණය කරමිනි.

මහනුවර නගරයෙන් තරමක් එපිට වලල ප්‍රදේශයේ ජීවත් වන ඇගේ දෙමව්පියන් වෘත්තියෙන් පාසැල් ගුරුවරු ය. පියා නිහාල් එදුස්සූරිය දැන් ගුරු සේවයෙන් විශ්‍රම ගොසිනි. මව කල්‍යාණී බස්නායක තවමත් ගුරු සේවයේ නිරතව සිටින්නීය. කුඩා කල සිටම අධ්‍යාපනයට සරිලන වටපිටාවක හැදුණු වැඩුණු චතුරංගිට ඉංජිනේරු පීඨයට ඇතුළු ව අධ්‍යාපනය ලබන්නට සිත් පහළ වූයේ ඇගේ එකම සහෝදරිය නිසා ය. ඉංජිනේරු පීඨයට ඇතුළත් ව අධ්‍යාපනය ලද තම සහෝදරියගේ අඩිපාරේ යමින් චතුරංගි විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 2015 වසරේදී ය. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ඇගේ නිර්මාණය මෙයට ප්‍රථම විශ්වවිද්‍යාලය තුළ සංවිධානය කරන ලද නව නිපැයුම් තරඟයකදී ද ඇගයුමට ලක්ව තිබුණේ එහි තිබූ සුවිශේෂි බව නිසාම ය.

සංවර්ධනය කරා ගමන් ගන්නා ලෝකය තුළ ඉදිකිරීම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ. මේවාහි ශක්තිය පිළිබඳව මෙන්ම කල් පැවැත්ම කෙරෙහි උනන්දුවක් දක්වන ඉදිකිරීම් කරුවෝ එහිදී කාලයත්, ශ්‍රමයත්, ධනයත් ඉතිරි කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති.

මේ සඳහා වන නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම පිණිස අන්තර්ජාතික වශයෙන් තරඟ පවත්වා ජයග්‍රාහකයන් තෝරන්නට ඔවුන් උනන්දු වන්නේ එය ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වන නව ආයෝජනයක් බැවිනි.Construction of Industry Solutions(COINS) ආයතනය වාර්ෂිකව අන්තර්ජාතික මට්ටමේ තරඟයක් සංවිධානය කරනු ලබන්නේ ද මේ අරමුණ ඇතිවය.

ඒ සඳහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් උපාධි අපේක්ෂක (Undergraduate Competition) අංශයෙන් තරඟ වැදුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂිකා චතුරංගි එදුස්සූරියයි. එහිදී අදාළ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් ඇය එයට අමතරව තරඟයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතරින් හොඳ ම ආයෝජනයට (Best Investment prize) හිමි සම්මානය ද දිනා ගැනීමට ඇය සමත් වූවා ය. උපාධි අපේක්ෂක අංශයේ අයකු ඒ සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මුලින් ම මම පාසැල් ගියේ පාතදුම්බර මහ විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගය ලකුණු 154 ක් අරගෙන සමත් වෙලා තමයි; මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළු වුණේ. සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සමාර්ථ 09 ක් ගත්තා; උසස් පෙළ විභාගයේදී ඒ සමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබාගෙන කැම්පස් එකට තේරුණා; මම පරිගණක ඉංජිනේරු අංශයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන්නේ. පළමු වසර තුළ සියලු අංශ සම්බන්ධව මූලික අධ්‍යාපනයක් අපිට ලැබෙනවා; ඉන් පසුව එක් අංශයකින් විශේෂ අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. මම එහිදී තෝරා ගත්තේ පරිගණක ඉංජිනේරු අංශයයි. විශ්වවිද්‍යාලයට පැමිණි ගමන් මඟ එසේ විස්තර කළ චතුරංගි තම නිර්මාණය සම්බන්ධව මෙසේ විස්තර කළාය.

මේක ඇත්තටම ඉදිකිරීම් අංශයට ඉතා වැදගත් වන නිර්මාණයක්. මේ වනවිට ලෝකයේ සෑම රටක් ම ඒ රටවල මාර්ග පද්ධති වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් දැන් බොහෝ දුරට ඉදිවන්නේ අධිවේගි මාර්ගයි. පාරක් හදන කොට පස් සාම්පල් පරීක්ෂා කිරීම ඉතා වැදගත්.

හේතුව පස් සම්බන්ධ පරීක්ෂණ හරියට නොකෙරුණොත් සම්පූර්ණයෙන් ම ඉදි කිරීම අසාර්ථක වෙනවා. මගේ නිර්මාණය මගින් පස් සාම්පල් විද්‍යාගාරයට ගෙන නොගොස් එහි සංඝටක වල තත්ත්වය හා ස්වභාවය පිළිබඳ ව අදාළ ස්ථානයේදීම දත්ත විශ්ලේෂණයක් කළ හැකියි. ඒ සඳහා වන පරිගණක මෘදුකාංගයක් සහ උපකරණයක් නිර්මාණය කිරීම තමයි මම කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්ෂක ඉංජිනේරු ජනක ප්‍රියන්ත වික්‍රමසූරිය මහතා මහචාර්ය එස්.ඩී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් භූමි වල ඇති පස් විශ්ලේෂණය කිරීම සම්බන්ධ පර්යේෂණයක් සිදුකර තිබේ. මෙහිදී පසෙහි ප්‍රතිරෝධතාව ඇතුළු කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරමින් සිදු කළ පර්යේෂණය චතුරංගී තම මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා උපයෝගි කරගෙන ඇත. පසෙහි ඇති ප්‍රතිරෝධතාව හා තෙතමනය ඇතුළු වෙනත් කාරණා අතර අන්තර් සම්බන්ධතාවක් තිබෙනවා.

මම කළේ ඒ පර්යේෂණය මූලික කර ගනිමින් පසෙහි ප්‍රතිරෝධතාව මැන ගැනීම සඳහා වෙනම ඩිවයිස් එකක් නිර්මාණය කිරීමයි. අද ලෝකය පුරා ඉදිකිරීම් සිදු කෙරෙනවා. භූමිය මත කෙරෙන මේ ඉදිකිරීම් වලට පසේ තත්ත්වය ප්‍රබල ව බලපානවා.

මේ නිසා ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ කිරීමෙන් පසුව තමයි යම් ඉදි කිරීමක් කරන්නේ. ප්‍රධාන මර්ගයක් ඉදි කිරීමේදී පස් සාම්පල දහස් ගණනක් පරීක්ෂාවට ලක් කරනවා. අදාළ ස්ථානයේ ඇති පස් තලා මාර්ගය ඉදි කරනවාද නැත්නම් වෙනත් ස්ථානයකින් පස් ගෙනවිත් දමනවාද යන්න තීරණය කෙරෙන්නේ පස් සාම්පල පරික්ෂා කිරීමෙන් පසුවයි. විද්‍යාගාරයකට ගෙන ගොස් පස් සාම්පල පරීක්ෂා කිරීමට අති විශාල මුදලක් වැය වෙනවා.

ඒ වගේම ලොකු කාලයක් ගත වෙනවා. මේ කටයුත්ත අදාළ ස්ථානය තුළදීම කර ගැනීම කෙරෙහි ඉදිකිරීම් කරුවන්ගේ අවධානය යොමුව තිබුණා. ඒත් ඒ සිහිනය තරමක් ඈත තිබුණේ. මම කළේ ඒ සිහිනය සැබෑවක් කිරීමයි. ඒකටයි සම්මානය ලැබුණේ. මම නිර්මාණය කළ මෘදුකාංගය මගින් පස් විශ්ලේෂණ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයකට වුණත් ගන්න පුළුවන්.

මේ නිර්මාණය එංගලන්තයේ පැවැත්වුණු තරඟයට ඉදිරිපත් කිරීමට මඟ පෑදුණු කතාවද අපූරු ය. ඉංජිනේරු පීඨයේ පවත්වන නව නිර්මාණ තරඟයකදී මේ නිර්මාණයට ප්‍රථම ස්ථානය හිමි වුණා. ඊට පස්සේ මාත් එක්ක අධ්‍යාපනය ලබන මධුෂාන් සහෝදරයා තමයි කිව්වේ ඉදිකිරීම් අංශයේ ප්‍රගමනයට හේතුවන නව නිර්මාණ අගයන අන්තර්ජාතික තරඟයක් තියෙනවා; ඒකට අයඳුම් කරන්න කරන්න; මේක ඒකට හොඳට ගැළපෙනවා කියලා. ඒ ඔස්සේ තමයි අන්තර්ජාලය ඔස්සේ මගේ නිර්මාණය ඉදිරිපත් කළේ.

සති දෙකක පමණ කාලයක් ගත වුණා මෙහි සැකැස්ම හදන්න. සොෆ්ට් වෙයාර් සහ හාර්ඩ් වෙයාර් වැඩ වලදී මගේ විශ්ව විද්‍යාල සහෝදරයන් වන මධුෂාන් සුභාෂ්, කසුන් විතානගේ, නාමිලා බණ්ඩාර, රසික මධුරංග විශාල ලෙස උදව් කළා.

ඒ වගේම පරිගණක දෙපාර්තුමේන්තුවේ හිටපු අංශ ප්‍රධානී ආචාර්ය ධම්මික ඇල්කඩුව හා වත්මන් ප්‍රධානී ආචාර්ය කමලනාත් සමරකෝන් යන ගුරුවරුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වල කැපවීම මේ ජයග්‍රහණය පසුපස තිබෙනවා. ඇය එසේ පවසන්නේ ඇගේ ජයග්‍රහණය පසුපස සිටින අයට තුති පුදමිනි.

විවෘත හා උපාධි අපේක්ෂක ලෙස අංශ දෙකක් යටතේ අදාළ තරඟය පැවැත්වෙයි. ලෝක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන විශිෂ්ටතම නිර්මාණය ඉදිරිපත් කරන්නාට මෙහිදී ජයග්‍රහණය හිමි වෙයි. කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කර ගනිමින් ඉහළ ගණයේ ඉදි කිරීමක් සිදු කිරීම පිණිස අදාළ නිමැයුම ප්‍රයෝජනවත් වේද යන කාරනය මෙහිදී සලකා බැලෙන්නේ ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයන් 12 දෙනෙකු විසින් විනාඩි හය බැගින් වූ කාල පරාස 06 ක් තුළ නිර්මාණකරුවා ප්‍රශ්න කරමිනි.

විනිශ්චය මණ්ඩලයේ 12 දෙනා දෙදෙනා බැගින් වෙන්ව අවස්ථා හයකදී නිර්මාණය පිළිබඳ විමසීම් කරනවා. මේක ඇත්තට ම විනිශ්චය මණ්ඩල හයක් කීවොත් නිවැරදියි. එක් අවස්ථාවකදී විනාඩි හයක කාලයක් ලබා දෙනවා. ඒ කාලය තුළ ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලටත් පිළිතුරු දෙමින් නිර්මාණය පිළිබඳව පැහැදිලි කළ යුතුයි. මුල් දෙදෙනා සම්මුඛ පරීක්ෂණයට ලක් කළ සැනින් ඊළඟ දෙදෙනා ළඟට යායුතුයි.

ඒක හරියට සංගීත පුටු තරඟයක් වගේ. එකිනෙකට වෙනස් පැතිකඩ ඔස්සේ ඔවුන් එක දිගට ප්‍රශ්න කරනවා. මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීමේදී පස් සාම්පල පරීක්ෂාව අද අත්‍යවශ්‍යය කාරණයක්.

මේ නිසා මගේ නිර්මාණයෙහි කාලෝචිත බවත් මෙහිදී සැලකීමට භාජනය වුණා චතුරංගිගේ කතාවෙන් මතු වන්නේ, ඇගේ ජයග්‍රහණය සුළුපටු එකක් නොවන බවට සාක්ෂි ය.

මේ තරඟය සඳහා ලෝකයේ විවිධ රටවලින් අයඳුම්කරුවන් දහසකට වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරති. එහි අවසන් වටයට තෝරා ගනු ලබන නිර්මණ හයේ නිර්මාපකයන් එංගලන්තයට කැඳවා සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීම සාමාන්‍යය සම්ප්‍රදායයි.

එහිදී නිර්මාණකරුට ගුවන් ටිකට්පත් හා නේවාසික පහසුකම් සියල්ල සපයනු ලබන සංවිධායකයන් විසිනි. මගේ නිර්මාණය අවසන් නිර්මාණ හය අතරට තේරී තිබෙන බව මට ඊ-මේල් ඔස්සේ දැනුම් දී තිබුණා. ඇමරිකාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය නියෝජනය කළ අයගේ නිර්මාණ තමයි අවසන් හය අතර තිබුණේ.

ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කිරීම වෙනුවෙන් ලොකු උත්සවයක් සංවිධානය කර තිබුණා. අවසානය වෙනතුරු කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා නිර්මාණ ඉදිරිපත් කළ කවුරුවත් ම දැන ගෙන හිටියේ නැහැ. උපාධි අපේක්ෂක (Undergraduate Competition) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ඇති බවට මගේ නම නිවේදනය කරන විට මට අදහා ගන්න බැරි වුණා. තාමත් මට මේක හීනයක් වගේ. මෙයට අමතරව හොඳම ආයෝජනයට (Best Investment prize) හිමි සම්මානයද මට ලැබුණා. මේ සම්මානය මෙපමණ කාලයක් ලැබී තිබුණේ විවෘත අංශයෙන් ඉදිරිපත්වූ අයකුටයි.

ප්‍රථම වතාවට තමයි උපාධි අපේක්ෂයකුට මේ සම්මානය ලැබුණේ. මගේ නිර්මාණයෙහි ඇති විශිෂ්ට බව මෙන්ම කාලෝචිත බවත් මෙහිදී සැලකිල්ලට ගත් බව සංවිධායකයන් ප්‍රකාශ කළා.

මේක අනාගතයේ ලෝක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල වෙනසකට හේතු විය හැකි නිර්මාණයක් බව ද ඔවුන් පැවසුවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් මට පවුම් 3000 ක ත්‍යාගයක්ද හිමි වුණා..චතුරංගී පවසන්නීය.

අදාළ නිර්මාණය කිරීම සඳහා චතුරංගිට ප්‍රස්තුතය වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලැබ දැනට අර්ධ කාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ජනක ප්‍රියන්ත වික්‍රමසූරියගේ පර්යේෂණයකි. ඔහු තම පශ්චාත් උපාධිය වෙනුවෙන් අදාළ පර්යේෂණය සිදු කර තිබිණි.

එමඟින් ජනක උත්සාහ කර තිබුණේ පාංශු පරීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් සැලකීමට ලක් කරන පසේ තෙතමනය, ස්විකාර්යභාවය, පාංශු අංශු වල ස්වභාවය, ඝනත්වය, සංතෘප්ත බව, ඇලෙන සුළු භාවය, ඝර්ෂණය යන තත්ත්වයන් සොයා ගැනීම සඳහා ඒ සංඝටක අතර පවත්නා සහසම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම ය.

අදාළ සහසම්බන්ධතාව ඔස්සේ පසේ ඇති තත්ත්වය පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා ගැනීමට මෘදුකාංගයක් හා උපකරණයක් සැකසීම සිදු කරනු ලැබ ඇත්තේ චතුරංගී විසිනි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඉංනේරු ජනක ප්‍රියන්ත පැවසුවේ මේ නිර්මාණයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සුබවාදී වෙනසක් අනාගතයේ ඇතිවිය හැකි බවයි.

වාර්මාර්ග දෙපාර්තුමේන්තුවේ සේවය කරනු ලබන තමන්ට ඉංජිනේරුමය ද්‍රව්‍ය සමීක්ෂණ පර්යේෂණාගාරය මේ පස් සාම්පල පර්යේෂණ සඳහා ලබා දීම කෘතවේදීව සිහිපත් කරන බවද ඔහු පැවසුවේය.

Comments