උතුරේ ධීවරයන්ගේ ජීවිත ගිනි තියන දේශපාලන මැරයෝ | සිළුමිණ

උතුරේ ධීවරයන්ගේ ජීවිත ගිනි තියන දේශපාලන මැරයෝ

ප්‍රශ්න ඇති කරන්නෙ දේශපාලකයන්ගේ හෙංචයියො

පුත්තලමෙන් ආපු උන් මුහුදත් බෙදාගෙන

ඒ පැත්තට ගියොත් දැල් කපනවා. නැති නම් ගහලා පන්නනවා

හඳුනාගත්තත් කතා කරන්න බයයි. ඒ අය වැඩ කරන්නේ නීතිය අතට අරන්

යාපනයේ වඩමාරච්චි සිට ත්‍රිකුණාමලයේ පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේ කාලයක සිට සිදු වන අමනෝඥ ක්‍රියා මුළු ධීවර සංහතියටම පමණක් නොව මිනිස් ප්‍රජාවටම විශාල කැළලක් වී තිබේ.

ධීවර වාඩිවලට ගිනි තැබීම බෝට්ටු ගිනි තැබීම හා දැල් ආම්පන්න ගිනි තැබීම කාලයක සිට එක්තරා කණ්ඩායමකට සෙල්ලමක් වී තිබේ.

මහා යුද සමයේදීවත් උතුරේ ධීවරයන්ට මෙවැනි විපතකට මුහුණ පෑමට සිදු නොවීය. එහෙත් සාමය පැමිණීමත් සමග සිදු වන මේ නින්දිත ක්‍රියාව පිළිබඳ තවමත් ස්ථිරව යමක් හෙළිදරව් වී නැත.

යාපනයේ වඩමරච්චි සිට ත්‍රිකුණාමලයේ පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේ සිංහල දෙමළ හා මුස්ලිම් යන ජාතීන් තුනටම අයත් ධීවරයෝ ධීවර රැකියාවේ නිරතව සිටිති. ඔවුන්ගේන් කොටසක් සංක්‍රමණික ධීවරයන් වන අතර සෙසු අය පාරම්පරික ධීවරයෝය.

1935 වසරේ සිට මේ ධීවරයන් අතර විවිධ රණ්ඩු සරුවල් සිදු වූවත් ධීවර වාඩි ගිනිතැබීම කීයක් හෝ හරි හම්බ කරගෙන කන බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න විනාශ කිරීම කිසිම දිනක සිදු වී නැත.

පසුගිය වසරේදී මුලතිව් නායාරූ ප්‍රදේශයේ ධීවර වාඩි හතකට ගිනි තබන ලදී. ඒ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයෝ අත්අඩංගුවට ගනු ලැබූහ. දකුණේ සිට පැමිණි ධීවරයන් හා ඔවුන්ගේම පිරිසක් අතර මේ ආරවුල ඇති වූ නිසා අවසානයේදී ඒ ධීවරයන්ට මුලතිව් නායාරූ ප්‍රදේශයේ රැඳී සිටීමට පවා නොහැකි විය.

ඒ ධීවරයෝ යළිත් මුලතිව් පළාතේ ධීවර රස්සාවට පැමිණීමට ධීවර සමිතිවලින් අවසර ඉල්ලා සිටියත් ඒ ධීවර සමිතිවල පිරිස ඔවුන්ට ඒ සඳහා අවසර ලබා නොදෙයි. පොලීසියෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී පොලීසිය ඊට මැදිහත් වී සහනයක් සැලසීමට ගත් උත්සාහය වැළැකිණි. රටේ නීතියටත් පොලීසියේ නීතියටත් වඩා ධීවර සමිති වල නීති රීති දැඩි බව පෙනිණි. නායාරූ පළාතෙන් එළවන ලද ධීවරයන්ට ආපසු ඒ පළාතට පැමිණීමටවත් නොහැකි විය.

ධීවර වාඩිවලට ගිනි තැබූ මේ සිද්ධිය පොලිස් පොතේ ලියවුණු අපරාධකරුවන් අසු වුණු නීතිය ක්‍රියාත්මක වුණු හා ඊටත් එහා බොහෝ දේ අනාවරණය වූ සිද්ධියක් නිසා එහි සුල මුල සියල්ලෝම දැනගත්හ.

යාපනයේ මරදන්කේණී මුහුදු වෙරළේ නවතා තිබූ ධීවර බෝට්ටුවකට ගිනි තබන ලද එක් අවස්ථාවකදී ඊට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට පත් විය. ඒ සිද්ධිය සිදු වී තිබුණේ පෞද්ගලික කෝන්තරයක් මතය. ගැටුමට හේතුව දෙමස්සිනෝ අතර වූ ගැටුමකි.

අප මේ සඳහන් කළ සිද්ධීන් දෙකට අමතරව මේ මුහුදු කලාපයේ සිදු වී ඇති ධීවර වාඩිවලට ගිනි තැබීම් බෝට්ටුවලට ගිනි තැබීම් හා දැල් වලට ගිනි තැබීම්වල කෙළවරක් නැත.

මේ සතියේදී පුල්මුඩේ ධීවර වාඩිවලට හා බෝට්ටු හතකට ගිනි තැබීය. මුලතිව් පළාතේද එවැනිම සිද්ධියක් ඊට දින දෙකකට පසුව වාර්තා විය. මේ සිද්ධීන් වලට සම්බන්ධවූවන් කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නයකි.

ඒ ගැන තොරතුරු දැනගැනීමට අප මුලතිව් එක්සත් ධීවර සමිතියේ උප සභාපති එස්.චන්ද්‍රකුමාර් ට කතා කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ උතුරු මුහුදු කලාපයම දැන් දේශපාලනීකරණය වී ඇති බවයි.

“මේ ඉන්න ධීවරයෝ ගොඩාක් වැරදි කරන නිසා තමයි අපි ධීවර සමිති පිහිටුවාගෙන හොඳ නීති රීති මාලාවක් දා ගත්තේ. පිටස්තරින් ධීවරයන් ඇවිත් මාළු අල්ලන්න පටන් ගත්තා. මේක නවත්තන්න ගිහින් තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ.“

“ඉස්සර පිටස්තර ධීවරයන් කියලා කිව්වේ මීගමුව හලාවත වෙන්නප්පුව දිහා ඉඳලා අවුරුද්දකට එක සැරයක් මෙහාට ආව ධීවර පවුල්. මේ අය සංක්‍රමණික ධීවරයන් වුණාට පාරම්පරිකව ධීවර රස්සාව කරන උදවියයි. මේ දැන් ඉන්න අයගේ සීයලා ආච්චිලා මුලතිව්වල ඉඳලා තියනවා. අපි දන්නේ නැති වුණාට අපේ තාත්තලා ඒ ගැන කියලා ඒ අය හඳුන්වලා දීලා තියනවා. මේ අයගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ අයටත් ධීවර සමිති තියනවා. හැඳුනුම් පත් තියනවා. සුබ සාධක සංගම්වල ඒ අය ඉන්නවා. ධීවරයන්ට ප්‍රශ්න ඇති වුණාම ඒ අයත් මැදිහත් වෙලා කතා කරනවා.”

“මුලතිව් ධීවරයන්ට තියෙන ලොකූම ප්‍රශ්නේ තමයි දේශපාලන හිතවත්කම් මත ඇවිත් කිසිම සමිතියක ලියාපදිංචි නොවී බලහත්කාරයෙන් මාළු අල්ලන පිරිස. මේ අය තහනම් දැල් පාවිච්චි කරනවා. ඩයිනමයිට් දානවා. ඔක්සිජන් බෝතල් දාගෙන කිමිදිලා මුහුදු කූඩැල්ලෝ අල්ලනවා. හැම නීති විරෝධී වැඩක්ම කරන්නේ ඒ අයයි. ඔවුන්ව ඉවත් කරන්න කියලා මුලතිව් ඉඳලා යාපනේටම ඉන්න ධීවරයෝ හැමදාම විරෝධතා පවත්වනවා. පෙත්සම් ඉදිරිපත් කරනවා. එදා ඉඳලා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ.”

“දේශපාලන හිතවත්කම්වලට දේශපාලන බලපෑම්වලට උතුරට ඇවිත් ඉන්න ධීවරයන් අතරේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැම ධීවරයෝම ඉන්නවා. පුත්තලම පළාතේ ඉඳලා ඇවිත් ඉන්න උදවිය තමයි ගොඩාක් ඉන්නේ. මේ එක එක අයට මුහුදේ කොටස් බෙදලා දීලා තියෙන්නේ. මුලතිව්වල අපේ තාත්තලා පවා ඉපදිලා පරම්පරාවට මේ රස්සාව අපි කළත් මුලතිව් මුහුදේ අපිට ලියලා දුන්න කොටසක් නැහැ. ඒත් පිටින් ආව අයට තියනවා. අපි ඒ පළාත් වලට ගියාම ගහනවා දැල් කපනවා.”

“පොලීසියට ධීවර නිලධාරීන්ට කිවව ගමන් ඇවිත් අල්ලගෙන යනවා. ඒත් කොහොම හරි ක්‍රමයකට ඔවුන් නිදහස් වෙනවා.අපි මුහුදට නයිලෝන් දැලක් දැම්ම ගමන් ඇවිත් අල්ලන් යනවා. දැලත් රාජසන්තකයි. රුපියල් විසි පන්දාහක් තිස් දාහක් දඩයක් ගෙවන්නත් ඕනේ.

මේ විදිහට මහ අරුම පුදුම දේවල් වෙන නිසා මේ ධීවර වාඩිවලට ගිනි තියන එක, බෝට්ටුවලට ගිනි තියන එක, දැල්වලට ගිනි තියන එක නිතරම සිද්ධ වෙනවා.

මේක මුලතිව්වලට වඩා සිද්ද වෙන්නේ වඩමරච්චිය පළාතෙයි. ඒ කොහෙ සිද්ධ වුණත් කෙනෙක් හම්බ කරන් කන ආම්පන්න ගිනි තියන එක ලොකූ පාපයක්. කවදාවත් ඒ අයට හරි යන්නේ නෑ.

ඒවා ගිනි තියලා ඒ අය බලාපොරොත්තු වෙන්නේ ඒ අය විතරයි මේ රස්සාව කරන්න ඕනේ කියලයි. ඒක වැරදියි. හැබැයි මේ වැඩේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩක් නම් නෙමෙයි. අපි එහෙම කියන්නේ කිසි කෙනෙක් කිසිම බයක් නැතුව එහෙම කරන්නේ නෑ. මේ විදිහට කරන්න එයාලට පිරිසක් ඉන්න ඕනේ... ඒ වගේම මොනවා හරි බලයක් තියෙන්නත් ඕනේ.''

මුලතිව් ධීවර සමීති නායකයා ඒ අන්දමට කියා සිටියත් ඔවුන් මේ සිදු වන සියල්ලම පිළිබඳ හොඳ වැටහීමකින් සිටින බව නම් ඉතාම පැහැදිලිය. මේ ගිණිනි තැබීම් සිදු කරන්නේ කවුද? ඒ පසුපස සිටින්නේ කවුද? යන කරුණු කාරණා ඔහු මෙන්ම සියලු දෙනාම දන්නා නමුත් බිය නිසා ඔවුන් කිසිවක් කියන්නේ නැත.

අපට ඇති ඊළඟ ප්‍රශ්නය වන්නේ ඔවුන් මේ බිය දක්වන්නේ ඒ පිරිස කොතරම් බලගතු පිරිසක්ද යන්න සිතා ගත නොහැකි නිසාය. මුළු උතුරු මුහුදම දේශපාලනීකරණය වී ඇතැයි යනුවෙන් මේ අය කතාව ආරම්භ කිරීම තුළ උතුරු මුහුදට අරක්ගත් දේශපාලනඥයන්ද විශාල ප්‍රමාණයක් සිටින බව ඉතාම පැහැදිලිය. ඔවුන්ගේ හෙංචයියලාට අවශ්‍ය අන්දමට මුහුද හා මාළු රෑන් පාලනය කිරීමට නොහැකි වූ විට එතැන ඇති වන්නේ මහා ආරවුලකි.

ධීවරයන්ගේ සියලු සකල සබ්බ මනාවම ගින්නට හසු වීම වැඩියෙන් සිදු වන්නේ වඩමරච්චි පළාතෙන් නිසා ඒ කලාපයේ ධීවර සමිති සභාපති එම්.සුරේෂ්ටද අපට කතා කිරීමට සිදු විය. ඔහුත් මුලින්ම මේ කතාව කියන්නට අදිමදි කළේය. කලින් ඒ තනතුරේ සිටි පුද්ගලයාගේ ඇපවීම මත ඔහු කතාව ආරම්භ කළේ ඉන්දීය ධීවරයන්ගෙනි.

“අපිට ඉස්සර ගොඩාක් කරදර තිබුණේ ඉන්දියාවේ ධීවරයන්ගෙනුයි. ඒ අය අපිට හිරිහැර කළා. අපිට ගැහුවා.. අපේ දැල් කැපුවා. බෝට්ටු හැප්පුවා. ඒකෙන් අපිට ගොඩාක් පාඩු සිද්ධ වුණා.

ඒත් ඒ අය මේ අපේ රටේ ගොඩ බිමේ ඉන්න අය වගේ ගොඩාක් නපුරු වුණේ නෑ. මේ ඉන්න අය ධීවර පැල්පත්වලට ගිනි තියනවා. බෝට්ටුවලට ගිනි තියනවා. දැල් ගිනි තියනවා.

බෝට්ටුවක් එන්ජිමත් එක්ක ගින්නට අහු වුණාම ලක්ෂ හයක විතර පාඩුවක් සිද්ධ වෙනවා. හොඳ ලොකු දැල් සෙට් එකක් විනාශ වුණාම රුපියල් ලක්ෂ දෙකක් විතර පාඩුයි. පැල්පත් ගිනි තිබ්බම අඳින්න තියන ඇදුම් පවා ගිනි ගන්නවා. මේ ගැන කවුරුවත් හිතන්නේ නෑ.

මේ කිසිම කෙනෙක් බෝට්ටු දැල් අරන් තියෙන්නේ අතින් සල්ලි දීලා නෙමෙයි. බැංකුවලින් ධීවර ආයතනවලින් ණය අරන් තියෙන්නේ. මාළු අල්ලලා තමයි ඒ වාරික ගෙවන්නේ. ඉතිං මාළු අල්ලන්න තියන උපකරණ ගිනි තියලා විනාශ කළාම ඔක්කොම ඉවරයි.

අපි කියන්නේ මේ අය අල්ලගන්න පුළුවනි. ඒ අය අල්ලන්න කිසිම කෙනෙක්ට උවමනාවක් උනන්දුවක් නැති එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකට හේතුව ඒ අය ආරක්ෂා කරන්න පිරිසක් ඉන්නවා. ඒ ආරක්ෂාව මැද ඒ අය මේ වැඩේ කරගෙන යනවා. හැමදාම අසරණ වෙන්නේ අමාරුවේ වැටෙන්නේ අසරණ ධීවර ජනතාව විතරයි.

සියලු ධීවරයන් අතරින් උතුරේ සිටින්නේ ඉතා අසරණ හැම පැත්තෙන්ම බැට කන ධීවරයෝ පිරිසකි. වසර තිහක යුද්ධයකට මැදි වී සිටියදී ඔවුන්ගේ සියලු ධීවර ආම්පන්න පමණක් නොව උන්හිටි තැනද අහිමි වී ගියේය. යළිත් යාන්තමට හිස ඔසවා ඉතා අමාරුවෙන් ධීවර රස්සාව කරගෙන යන විට ඔවුන් සතු පැල්පතට බෝට්ටුවට දැලට කවරෙකු හෝ ගිනි තබන්නේ නම් ඒ අය මනුස්සයෝ නොවෙති. මේ අමනුස්සයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන්ම විය යුත්තකි.

Comments