කන්න නැතිව මැරුණු හම්බන්තොට කිරිකැටියා ගැන හෙළි වන ඇත්ත | සිළුමිණ

කන්න නැතිව මැරුණු හම්බන්තොට කිරිකැටියා ගැන හෙළි වන ඇත්ත

සටහන හා සේයා රූ - සුරියවැව විශේෂ නුවන් ජයසේකර

පසුගිය මැයි මස 14 වන දින තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 දරුවෙක් හදිසියේ මිය ගියේය. ඒ සම්බන්ධයෙන් වු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වුයේ දෙබරවැව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාරය. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි දරුවාගේ මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ දරුවා මන්දපෝෂණ තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවය.

මියගොස් තිබුණේ මාස 11ක් වු මලිත් මිහිරංග රාජපක්ෂ නැමති ළදරුවෙකි. ළදරුවාගේ මව තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ගයාත්‍රි ඉංදිකා ජයසිංහය. පියා 36 හැවිරිදි තුසිත චන්දන රාජපක්ෂය. මියගිය දරුවා හැර ඔවුන්ට දරුවෝ තිදෙනෙකි. දෙදෙනෙක් පාසල් වයසේය. වයස අවුරුදු 10 හා 07 ය. එක් දරුවෙක් පෙර පාසල් අධ්‍යාපනය හදාරමිනි. ඔහුගේ වයස අවුරුදු 05 කි. මිය ගොස් ඇත්තේ පවුලේ බාලම දරුවාය.

දරුවාගේ මරණය සිදු වී දැන් මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. හාමතේ මියගිය මේ දරුවාගේ මරණය ගැමියන්ටත්, නිලධාරීන්ටත් තවත් එක් සාමාන්‍ය මරණයක් පමණක් විය. කෙසේ නමුත් පසුගිය 15 වන දින මේ මරණය පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාට දැනගැනීමට ලැබිණි. ඒ දරුවාගේ මරණය සම්බන්ධයෙන් හා එම පවුල පිළිබඳ තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර යවන ලද ලිපියේ පිටපතක් දිස්ත්‍රික් ලේකම්වරයාට ලැබිමත් සමඟය.

පසුගිය 17 වන දින අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදි කිරිම සඳහා මුල්ගල් තැබිණි. එම උත්සවයට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ඇතුළු දේශපාලන අධිකාරියද සහභාගී විය. දිස්ත්‍රික් ලේකම්වරයා සිද්ධිය පළමු වරට හෙළි කළේ එහිදීය.

රටේම අවධානය යොමු වූ මේ දරු පවුල සොයා ගියෙමු. එය මහා වේදනාත්මක කතාවකි. දරුවන්ගේ පියා යම් මානසික ආබාධයකින් පෙළෙන බව දැනගන්නට ඇත. ඔහු සිය දරු පවුල වෙත ලැබෙන උපකාර ප්‍රතික්ෂේප කරන බව කියැවිණි. ඔහු පෞද්ගලික අංශයේ විවිධ දානපතියන්ගේ උපකාරද පිළිගෙන නැති බව සැල විය. නමුත් ප්‍රාදේශීය බල ප්‍රදේශයක් තුළ ජනතාවගේ ජනජිවිත පිළිබඳ වගකියන නිලධාරීහු රාශියකි. ග්‍රාමසේවා නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘධි නිලධාරී, සමාජ සේවා නිලධාරී ඇතුළු නිලධාරිහු රැසක් ජන ජීවිත යථාවත් කීරීම සඳහා ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වී සිටිති. දරුවා මිය යන්නේ එවැනි නිලධාරීන් ගොන්නක් මැදය. ඔහුගේ පියා මානසික අවුලකින් පීඩා විඳිමින් ඉන්නේ ඒ නිලධාරීන්ගේ ඇස් පනාපිටය. එසේ නම් මේ දරුවන් මෙන්ම එම පුද්ගලයාද අනාරක්ෂිතය. ඔවුන් මේ දරු පවුල සම්බන්ධව කෙළේ කුමක්ද?. අපි ඒගැන සිතමින් මේ දරුවන්ගේ මව සමග කතාවට කළෙමු.

අම්මා කියන කතාව

දරුවාගේ මව 42 හැවිරිදි ගයාත්‍රි ඉන්දිකා ජයසිංහය. ඇය කියන්නේ මෙසේය.

“රෑ එකට විතර වගේ දරුවට එක සැරේම අමාරු වුණා. අපි දරුවා දෙබරවැව ඉස්පිරිතාලෙට අරන් යන්න හැදුවෙ. එතකොටත් දරුවා නැති වෙලා වගෙයි හිටියේ. ඊට පස්සේ දොස්තර මහත්වරුන් මරණ පරීක්ෂණයේදී කිව්වා දරුවා මන්දපෝෂණය නිසා මියගිහින් තියෙන්නේ කියලා.“

“මහත්තයා මාළු බිස්නස් තමයි කරන්නේ. නමුත් පහුගිය ටිකේම මහත්තයට බිස්නස් තිබුණෙත් නැති නිසා අමාරුකම් ගොඩක් අපිට තිබුණා. ඉතින් ඒ දවස් ටිකේ හරිහමන් කෑමක් අපිට තිබුණේ නෑ. තුන්වේලම කන්න නැතත් අපි එක වේලක් හරි කාලා තමයි ජිවත් වුණේ. මුලදී දරුවගේ බර හොඳට තිබුණා. පස්සේ දරුවගේ බරත් ගොඩක් අඩු වුණා. එහෙම ගිහින් දරුවා හොඳටම දුර්වල වුණා. පවුල් සෞඛ්‍ය මිස් නිතරම ඇවිත් සොයලා බැලුවා. ඒත් මගෙ දරුවා නැති වුණා.“

“කිරිපිටි වර්ගයක් නම් අපි බීපු කාලයක් මතක නෑ. සමෘද්ධියවත් අපිට තිබුණේ නෑ. ග්‍රාමසේවක මහත්තයා කිව්වා සමෘද්ධිය හදා දෙන්නම් කියලා. දැන් නම් අපිට මේ වෙනකොට විවිධ අයගෙන් ආධාර ලැබෙනවා. මේ දරු තුන්දෙනාට උගන්වගන්න තමයි මට ඕනේ. මගේ මේ දරුවෝ මේච්චර ලොකු වෙනකම් හරිම අමාරුවෙන් හදාගත්තේ. දහදුක් විඳලා දරුවෝ මෙච්චර ලොකු කරලා පරිවාසයට යවන්න නම් දෙන්න බෑ. මේ දරුවෝ නැතිව මට ඉන්නත් බැ. ඒ නිසා රජයේ මහත්වරුන් හැමෝගෙන්ම මං ඉල්ලන්නේ මගේ දරුවෝ පරිවාසයට දමන්න එපා කියලා“ ඇය පවසන්නේ බොඳවූ නෙතිනි.

දිස්ත්‍රික් ලේකම්

මේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් පළමු වරට කරුණු හෙළිදරවු කරනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිචන්ද්‍රය. මේ සිදු වීම සම්බන්ධයෙන් ඉදිරියට වන්නේ කුමක්ද යන්න පිළිබඳ අපි ඔහුගෙන් විමසුවෙමු.

“මේ මරණය සිදු වෙලා හරියටම මාසයකින් පස්සේ තමයි මට දැනගන්න ලැබෙන්නේ. ඒකත් මට එවන ලද ලිපියක පිටපතක් නිසා. මං ඒ අවස්ථාවේදීම අදාළ අංශ දැනුවත් කරලා සොයා බැලීමක් කළා. ඒ වගේම මේ සිදු වීම සම්බන්ධයෙන් සම්පුර්ණ නිරික්ෂණ වාර්තාවක් කැඳවීමටත් මා කටයුතු කරලා තියෙනවා. මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී ඇතුළු කිහිප දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පත් කරලා තියෙනවා. එම නිලධාරීන් පසුගිය 18 වන දින එම ප්‍රදේශයට ගොස් අදාළ තොරතුරු එක් රැස් කරලා තියෙනවා.

මේ තත්වය ඇති වීමට තිබු හේතුව මොකද්ද, ඒ පවුලේ ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය, පවුලේ අයගේ පෝෂණ තත්ත්වය, පවුලේ ආර්ථික තත්ත්වය, ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ, මවුපියන් ළමයින් පෝෂණය කිරීම පැහැරහැර තිබේද නැද්ද කියන කාරණා පිළිබඳ මෙහිදී විශේෂ අවධානයට ලක් කරනවා. මීට අමතරව එම ප්‍රදේශයේ සිටින වගකිවයුතු නිලධාරීන්ගෙනුත් වෙන වෙනම මා කරුණු විමසිමක් කරනවා. අන්තිමට ඒ සියලුම දේ පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසු මා මගේ වාර්තාව සකස් කරලා එය රජය වෙත බාර දීමටයි කටයුතු කරන්නේ. එම වාර්තාව ප්‍රසිද්ධ වාර්තාවක් ලෙසයි මා ඉදිරිපත් කරන්නේ.“

“විශේෂයෙන්ම මේ පවුල සඳහා ඇයි සමෘද්ධි සහනාධාරය නොලැබුණේ කියන කාරණය පිළිබඳ වගේම මේ දරුවන්ගේ පියාට යම් මානසික රෝගයක් තිබේද යන්න පිළිබඳ වෙනම වාර්තාවක් කැඳවීමට කටයුතු කරනවා. එසේ මානසික රෝගයක් තිබේ නම් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා.

“මා දැක්කා ඒ මව කියනවා ‘මට ත්‍රිපෝෂ ගන්න එන්න කියලා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කිව්වා. නමුත් මට යන්න බැරි වුණා‘ කියලා. ඒ අනුව සොයා බලනවා ඇයි ඒ මවට ත්‍රිපෝෂ ගන්න යන්න බැරි වුණේ කියලා. ඒ මවට යන්න බැරි වුණේ සාධාරණ හේතුවක් නිසා නම් ඇයි පවුල් සෞඛ්‍ය සේවිකාවට එම ගෙදරට ත්‍රිපෝෂ පැකට් දෙක ගෙනහින් දෙන්න බැරි වුණේ කියලත් විමසිමක් කරනවා. මොකද දැන් ඒ අයට රජයෙන් යතුරු පැදි පවා ලබාදීලා තියෙන්නේ. “

“මේ වන විට මා වෙත තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් එවන ලද ලිපියක මෙලෙස සඳහන් වෙනවා. ‘මරණ පරීක්ෂණ වාර්තාව අනුව එම දරුවා මිය යෑමට හේතුව මන්ද පෝෂණ තත්ත්වය බව සඳහන් කර ඇත. එම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර එම දරුවා දින කිහිපයක්ම නිරාහාරව සිට ඇති බවද අනාවරණය විය.‘ කියලා.

“මේ ලිපිය මා වෙත එවලා තියෙන්නේ තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයායි. මට ලැබුණු මේ ලිපිය අනුව තමයි මා ප්‍රකාශ කළේ මේ විදියට ළමයි මිය යන්න බැහැයි කියලා. මෙතැන කුමක් හෝ අවුලක් සිදු වෙලා තියනවා. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළ ගම්මට්ටමේ සිටින සියලුම නිලධාරීන් මේ තත්වයට වගකිව යුතුයි කියන එකයි මගේ මතය වන්නේ. යම් නිලධාරියෙකු මෙහිදී වගකීම් පැහැර හැර ඇත්නම් ඒ පිළිබඳ මා දැඩි ලෙස ක්‍රියා කරනවා.“ දිසාපතිවරයා පවසයි.

“ප්‍රදේශයේ අධීක්ෂණයට ගිය නිලධාරීන් ඔබතුමාට කියන්නෙ මොනවාද?.“ අපි විමසීමු.

“මියගිය දරුවාගේ පියා ආධාර ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා ඔවුන් වාර්තා කරනවා. එහෙමයි කියලා රජයේ නිලධාරීන්ට කර අරින්න බෑ. මොකද මානසික ආතතියක් තියෙන කෙනෙක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. පහළ නිලධාරීන්ගේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කිරිම. එසේ නොකිරීම වරදක්. මේ සිදුවීම වෙලා මාසයක් ගියාම තමයි මමත් මේ ගැන දැනගන්නේ. “

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර දරන්නේ වෛද්‍ය දීපිකා පටබැඳිගේය. ඇය පවසන්නේ දරුවාගේ මිය යෑම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාව අතින් කිසිදු වරදක් සිදු වී නැති බවත් දරුවාගේ මරණයට හේතුව එම මවුපියන් දරුවා කෙරෙහි දැක්වු අඩු සැලකිල්ල බවත්ය.

“ පවුල් සෞඛ්‍ය සේවිකාව නිරන්තරයෙන්ම මේ නිවසට ගොස් මේ දරුවන් පිළිබඳ සොයා බලා තියනවා. දරුවාගේ බර කිරා ත්‍රිපෝෂ ලබාදීමට නිර්දේශ කරලා තියෙනවා. නමුත් මවුපියන් සායන සඳහා පැමිණ තිබෙන්නෙත් එක් දිනයකදි පමණයි. එහෙම තියෙද්දීත් පවුල් සෞඛ්‍ය සේවිකාව නිතරම එම නිවසට ගොස් සොයා බැලීම් කරලා තියෙනවා. හම්බන්තොට කියන්නේ ලංකාවේ ළදරු පෝෂණ මට්ටම අතින් දෙවැනි තැන අරගෙන තියෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා මන්දපෝෂණයෙන් දරුවෙකු මැරෙන්න තරම් අගහිඟකම් තියෙන්න විදියක් නෑ. එහෙම වෙනවා නම් එය මවුපියන්ගේ නොසැලකිල්ල“

ප්‍රාදේශීය ලේකම් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ඩී. එල්. කේ. ප්‍රියශාන්තය.

“දරුවා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්න කියලා අපට දිසාපති තුමා දන්නවා තිබෙනවා. අපි ඒ පිළිබඳ කඩිනම් ක්‍රියා මාර්ග ගෙන තිබෙන්නේ. මේ වන විට අප ඒ දරුවාගේ පවුලේ අය වෙනුවෙන් නිවෙසක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ඔවුන්ට නළ ළිඳක් ඉදි කර දෙන්න හැකි වුණා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මේ අයට නිවෙස ඉදි කර දීම සඳහා ලක්ෂ පහක මුදලක් ලබා දුන්නෙ මේ සිද්ධිය වෙන්නත් පෙරයි.

මේ පවුලට පෝෂණ මල්ලක් හිමි බව පවසනවා. නමුත් ඔවුන් එයත් රැගෙන නැහැ. නිවෙසේ කාන්තාවගෙන් ඒ ගැන විමසූ විට කියන්නේ පාපැදිය කැඩී තිබුණ නිසා පෝෂණ මල්ල ගන්න යන්න බැරි වුණා කියලා. මේ මිය ගිය දරුවාට වයස මාස එකොළක් වුණත් ඔහුට මිය යන තුරුම ඉඳුල් කට ගා තිබී නැහැ. දරුවාට බඩේ ආමාරුවක් සෑදී තිබෙනවා. දරුවාගේ මව අප සමඟ පැවැසුවේ දරුවා මුලින් හොඳට හිටිය බවත් නියමිත බර තිබූ බවත්. ක්ෂණිකව තමයි දරුවාගේ බර අඩුවෙන්නට පටන් ගත් බවයි.

කොහොම වුණත් මම දකින්නේ මෙය මවුපියන්ගේ නොසැලිකිලිමත්කම නිසා සිදූ වූ මරණයක්. මේ තිස්සමහාරාමේ හතර අතේම තියෙන්නේ කුඹුරු. කන්න නැතිව කෙනෙක් මිය යන කතාව පිළිගන්න බැහැ. ඒ පවුලේ අනෙක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳත් පවුලේ සුබසාධනය වෙනුවෙනුත් අපි කටයුතු කරනවා.“ ඒ ඔහුගේ කතාවය.

කෙසේ නමුත් මේ වන විට මන්දපෝෂණ තත්වයක් හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දරුවෙකු මියගොස් ඇත. කොතැනක හෝ දෝෂයක් වී තිබේ. සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් ඇත. රට සිටින්නේ ඒ පිළිබඳ විශ්වාසයෙනි. මේ මොහොත වන විට සිද්ධිය ඉතා පටු අරමුණු වෙනුවෙන් මෙහෙවන පිරිසක් දකිමු. එවන් බලු පොර දැන් අපට තිත්තය. අවංකවම අවශ්‍ය වන්නේ මොනම ආකාරයකින් හෝ මෙවැනි අපරාධ සිදු නොවීමට රටක් ලෙස කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් කැපවීමය.

Comments