කිසිදු කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක් නැති හයිලන්ඩ් දේශයේ දරුවන්ට | සිළුමිණ

කිසිදු කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක් නැති හයිලන්ඩ් දේශයේ දරුවන්ට

අපේ රටේ කිරි දෙනුන්ගෙන් දොවා ගන්නා නැවුම් එළකිරි, පෝෂණීය කිරි පිටි බවට පත්වන සැබෑ ක්‍රියාවලිය දැක ගන්නට පසුගිය දා අඹේවෙල හයිලන්ඩ් කර්මාන්තශාලාවේදී අප මාධ්‍ය කණ්ඩායමට හැකි වූයේ, එහි කළ සංචාරයකදීය.

හයිලන්ඩ් කිරි කතාවේ පළමු පියවර ඇරැඹෙන්නේ, කිරි එකතු කිරී‍ෙම් මධ්‍යස්ථාන වෙත, ගොවීන් රැගෙන එන කිරි, සියයට සියයක් පිරිසුදුදැයි පරීක්ෂා කර බැලිමෙන් අනතුරුව, ඒවා මිලදී ගන්නා ක්‍රියාවලියෙනි. ඒ අනුව, හයිලන්ඩ් සමාගම මිලදී ගන්නේ, වතුර කලවම් නොවූ පිරිසිදු එළකිරි පමණි. යම් හෙයකින් වතුර කලවම් වී තිබුණහොත් ඒවා මිලදී නොගන්නා අතර, හයිලන්ඩ් හා බැඳී සිටින රටට හිතැති කිරි ගොවීන්ද එවැනි දේ නොකිරීමට වග බලා ගනිති.

බොහෝ පෞද්ගලික සමාගම් අද, කිරි ගොවියා ළඟටම එජන්තවරයකු යවා ඔහු ලවා කිරි මිලදී ගන්නා අතර, හයිලන්ඩ් සමාගම ‍එසේ නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදින් විමසූ පැනයට, අඹේවෙල කර්මාන්තශාලාවේ කළමනාකරු ඩී.එම්.එම්. දිසානයක මහතාගේ පිළිතුර මෙසේ විය.

“එහෙම එකතු කරන කොට කිරිවලට වතුර කවලම් වෙලාද කියලා බලන්න පුළුවන්කමක් නැහැ. අපි මධ්‍යස්ථානයටම කිරි රැගෙන එන්න කියන්නේ මේ පරික්ෂාවෙන් පසුව පමණක් කිරි මිලදී ගන්නා නිසයි.

කිරි ලීටර් ලක්ෂයක් මිලදී ගත්තොත් ඇත්තටම ඒකෙන් 87,500 ක්ම අන්තර්ගතව තිබෙන්නේ, ජලය. කිරි පිටි හදන්න පුළුවන් ඉතිරි 12,500 න් පමණයි. හයිලන්ඩ් කිරිපිටි හදන්නේ වෙන කිසිවක්ම කළවම් නොවූ ජලය ඉවත්කර ඔය සුපිරිසුදු කිරි සාරයෙන්.

කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් පටන් ඇරැඹෙන, විෂ බීජ පිටින් ඇතුළු වීමට නොදී ආරක්ෂා කරන ‘තත්ත්ව පාලන ක්‍රියාවලිය’ සහ යම් හෙයකින් විෂ බීජයක් ඇතුළු වුවහොත් එය තව දුරටත් වර්ධනය වීම වළක්වා ‘තත්ත්ව ආරක්ෂණ ක්‍රියාවලිය’ දියර කිරි පිටිකිරි බවට පත්වන මෙහි, සියලු අංශයන්හිදී එකසේ ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

එකතු වන දියර කිරි පළමු අවස්ථාවේ පටන් සෙන්ටිග්‍රේට් අංශක හතර ශීතලක ගබඩා කෙරෙයි. නියමිත රසායනාගාර පරික්ෂාවලින් අමතරව එම ශීතලයේම තබා බවුසර් මගින්, අඹේවෙලට රැගෙන එයි. අඹේවෙල කර්මාන්තශාලාවේ පිහිටි සයිලෙන් හෙවත් අති දැවැන්ත ටැංකි තුළ කිරි තැන්පත් කරනුයේ ඉන් අනතුරුවයි. කිරිවල ඇති මේදය ප්‍රමාණය 4% කි. මේද නොවන ඝන ද්‍රව්‍ය ලෙස සැලකෙන, ප්‍රෝටීන්, ලැක්ටෝස්, සීනි, විටමින් හා ඛනිජ ප්‍රමාණය, 8.5% කි. ජලය ප්‍රතිශතය, 87.5% කි. කිරි ලීටර ලක්ෂයක් ගත්විට ඉන් 87,500 ක්ම ජලය වන්නේ ඒ අනුවය.

ඉතින්, කිරි ලීටර ලක්ෂයක් මිලදී ගත් විට කිරි පිටි සාදා ගත හැක්කේ කිලෝ 12,500 ක් පමණි. මේ තත්ත්වය උඩ ලාභ ලබන කිරි කර්මාන්තයක් පවත්වාගෙන යෑම අති දුෂ්කර කටයුත්තකි.

අපේ රටෙන් යම් ප්‍රමාණයක් ගෙන ඉතිරි හරියට පිටරටින් ගෙන්වන කෘත්‍රීම කිරිපිටි කලවම් කිරීමට අද කිරි කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා පෙළඹී ඇත්තේ එහෙයිනි. නමුත් හයිලන්ඩ් නිපදවන්නේ සියයට සියයක් අපේ රටේ කිරි වලින්ම පමණකි. ලාභයෙන් ඔබ්බට ගිය ජාතික මෙහෙවරක් ඉටු කරන රාජ්‍ය ආයතනයක් ලෙස, එසේ නොකිරීමට ඔවුහු වගකීමෙන් බැඳී සිටිති.

ඒ නිසාම, පිටරටින් ගෙන්වන කිරිවල අඩංගු මේදය 28% වෙද්දී, හයිලන්ඩ්වල මේදය ඇත්තේ 26% කි. එසේ අඩුකර ඇති 2% ක මේදය වෙනුවට, ප්‍රෝටීන 2% ක් වැඩිපුර තිබීම, හයිලන්ඩ්වල ඇති තවත් විශේෂත්වයකි.

කිසිදු කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයක් මුසු නොකරන හයිලන්ඩ්, දේශයේ දරුවන්ට නොබියව දිය හැකි අපේම රටේ නිපැයුමකි. එහෙයින්, ඔබ පානය කරන හයිලන්ඩ් කිරි වීදුරුවක් ‍ගා‍නේ, කිරි ආනයනය වෙනුවෙන් පිට රටට ඇදී යන අති දැවැන්ත ධනස්කන්ධයක් රටේ ඉතිරි වනු ඇත. හයිලන්ඩ් වටා එක්ව සිටින, සැබෑ ජාතික හැඟීමකින් යුතු කිරි ගොවීන් 60,000 කගේ ජීවිත සශ්‍රීක වනු ඇත.

හයිලන්ඩ් යනු, තව තවත් සංවර්ධනය කොට රැකගත යුතු ජාතික සම්පතකි. දේශීය කිරි ගොවීන් හයිලන්ඩ් වෙත තව තවත් එක්වන තරමට, ඔවුන්ගේ කිරි හයිලන්ඩ් වෙත දෙන තරමට, දේශයේ ජනතාවට යහ ගුණයෙන් පිරි, කිරි කෝප්පයක් බීමේ අවස්ථාව උදා වනු ඇත.

සිය කිරි ගොවීන් රැක ගනු වස් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ඔස්සේ, කිරි ගොවියා මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ උපතේ සිට අධ්‍යාපනය හමාර වන තෙක් රැක ගන්නා උදව් උපකාර කරනා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ද අති විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ.

අන්තර්ජාතික ප්‍රමිතියට අනුව කිරි පිටි නිපදවන උසස්ම සහ එකම රාජ්‍ය ආයතනය වන හයිලන්ඩ්, බඩල්ගම ඉදිවන අති නවීන කර්මාන්තශාලාව ඔස්සේ ලබන වසර මුල වන විට සිය නිෂ්පාදනය දෙගුණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.

හයිලන්ඩ් නිෂ්පාදන යටතේ වෙ‍ෙළඳපොළට එන පිටි කිරි, දියර කිරි, එළඟිතෙල්, බටර්, චීස්, යෝගට්,පාස්චරිත කිරි, මුදවපු කිරි, උකු කළ කිරි, අයිස්ක්‍රීම් ඇතුළු සෑම නිෂ්පාදනයකම කෘත්‍රීම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා ඒවා මාස ගණන් වෙළෙඳපොළේ තබා ගැනීමට නොහැකි අතර, යෝගට් එකක් හෝ එසේ මාස ගණන් තබා ගන්නවා නම්, ඒ කෘත්‍රීම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හොඳින් අඩංගු නිසා බවත් දිසානායක මහතා පවසයි.

තනිකර අපේ රටේ කිරි වලින් පමණක් නිපදවන නිසා හයිලන්ඩ් කිරිපිටි කිලෝවක් නිපදවන්නට රුපියල් 830 ක් නිෂ්පාදන වියදම වැය වද්දී, පිටරට කිරිපිටි තොග ගණනට ලංකාවට ගෙන එන්නේ කිලෝවක් රුපියල් 450-500 අතර මුදලකටයි. වසරකට එසේ ටොන් අනූ දහසක් පමණ ලංකාවට ගෙන එන, කෙසේ හදනවාදැයි කිසිවෙකුත් නොදන්නා, නුදුටු කිරිපිටි අපේ රටේ මිනිසුන් පානය කරන්නේ නොයෙකුත් ලෙඩ රෝගවලට අතවනමිනි.

ඉතින්, තව දුරටත් එසේ විය යුතුද... ‍අඹේවෙල, පොලොන්නරුව දිගන සහ කොළඹ නවීන කර්මාන්තශාලා හතරකින් සමන්විත හයිලන්ඩ් වෙත තව තවත් කිරි ගොවීන් ළං කර ගැනීමට හැකි නම්, ඒ නවීන කර්මාන්තශාලා නිෂ්පාදන ධාරිතාව තවතවත් වැඩි කිරීමට හැකි වනු ඇත.

කිරි දෙනුන් මිලදී ගන්නා සහ ප්‍රතිපත්ති සැකසුම් කරන සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක මාවතකත් සිය දියර කිරි සම්පත පෞද්ගලික සමාගම්වලට පවා සපයන පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තවත් මාවතක්, කිරි ගොවීන් හැට දහසක් සමඟ මිල්කෝ සමාගම හුදෙකලාව තවත් මාවතකත් යද්දී එවැනි ඉලක්කයකට යෑම සිහිනයකි. එහෙයින්, දැන්වත් මේ රාජ්‍ය ආයතන තුන එක මාවතකට පැමිණිය යුතු කාලය එළැඹ තිබෙන බව, වගකිව යුත්තන් වටහා ගත යුතුය.

එවිට, ජනතාවට සේවය ලබා දෙන වගේම, ලාභ ඉපැයිය හැකි රාජ්‍ය ආයතන බවට මේ, ආයතන තුනම පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මන්දයත්, දේශීය දේ වටහාගත් ජාතියක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර, ඔවුන්ට ඇති තරම් දේශීය කිරිපිටි මිලදී ගන්නට තරම් සැපයුමක් තිබිය යුතු නිසාය.

ඡායාරූප- සාලිය රූපසිංහ

Comments