සුදු ජූලියේ කළු වර්ජන | සිළුමිණ

සුදු ජූලියේ කළු වර්ජන

වෘත්තීය සංගම් වර්ජන දියත් කරන්නේ පාලකයන්ට, බලධාරීන්ට රිදවන්නටය. එහෙත් මුලින්ම එවැනි දේවලින් රිදෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවටය. මෙලෙසින් රිදුම් කන ජනතාව තුළ හට ගන්නා කෝපය මත්තේ ඔවුන් ලවා පාලකයන්ට ගල් ගැස්සීම ලෝකයේ බොහෝ වෘත්තීය සමිතිවල පිළිවෙතයි. මේ අශිෂ්ට පිළිවෙතින් මිදී, කෙළින්ම ආණ්ඩු මට්ටු කිරීමට නවතාවෙන් යුතු සහ මනසින් දියුණු නූතන වෘත්තීය සමිති නායකයන් ඇතැම් රටවල පියවර ගැනීමේ ප්‍රවණතාවක් තිබුණද අපේ රටේ තවමත් ඇත්තේ ඉහත කී ආකාරයේ මහජනතාව අවුළුවා ගල් ගස්සන ගල් යුගයේ වෘත්තීය සමිතිය.

සුද්දාගේ පාලන කාලයෙන් අපට උරුම වූ දුම්රිය සේවය වත් හරි හැටි පවත්වාගෙන යෑමට නොහැකි දුම්රිය සේවයක සාමාජිකයන් බහුතරයක් සිටින (දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින නව්‍ය අදහසින් යුතු බුද්ධිමත් නිලධාරීන් අල්පය මේ ගැන කමත්වා!) ශ්‍රී ලංකා දුම්රිය සේවය පසුගිය සති දෙකේදී ඔවුන්ගේ පවතින ගල් යුග චින්තනය තම වෘත්තීය ක්‍රියාමාර්ග දෙකේදීම මැනවින් පෙන්නුම් කළහ.

මේ දුම්රිය වෘත්තීය සමිති සේවකයන්ට තමන් ලබන මාසික වේතනය සහ දීමනා ගැන යම් ප්‍රශ්න තිබෙන බව අප පිළිගත යුතුය. ඒ ප්‍රශ්න විසඳීමේ වගකීම රජයක් සතුව පවතින බවද අප පිළිගත යුතුය. ඔවුන්ට රජය පාර්ශ්වයෙන් දී ඇති පොරොන්දු ඉටු වී නැති බවද පැහැදිලිය. එසේ වුවද ඔවුන් මේ ලෙස ජනතාවගේ බෙල්ලට පිහියක් තබා භාරකාරයාගෙන් කප්පම් ඉල්ලීම මේ මොහොතේ කළ යුතු එකක්ද යන්න පිළිබඳ කල්පනා කළ යුතුය. ඔවුන් මේ ඉල්ලීම කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා සුබදායි මාවතකට වැටී තිබුණු තීරණාත්මක මොහොතකය. ඒ පිබිදීම සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට කරකැවූ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් මාස තුනක් වත් ගත වන්නට මත්තෙන් ඔවුහු මේ වෘත්තීය සටනට ක්ෂණිකව පිවිසියහ. තවමත් මේ පාස්කු ප්‍රහාරයේ වේදනාව දරා සිටින ජනතාවට අපහසුවෙන් හෝ තම රාජකාරි ස්ථානයට එන්නත්, සේවා අවසන කඩිනමින් තම කුටුම්බ කරා යන්නත් අවැසි, තීරණාත්මක සේවාවක් සපයන දුම්රිය සේවය හිටිහැටියේ අඩපණ කිරීම එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් වැනිය.

අනෙක, ඔවුන් මේ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ රජය ‘සුදු ජූලිය‘ නමින් හැඳින්වූ වැඩසටහනක් මඟින් රාජ්‍ය සේවාවට පමණක් නොව, රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ලබා සිටින ජනතාවටද එතෙක් මෙතෙක් හිමි නොවූ සුවිශේෂ ප්‍රතිලාභ රැසක් තම මාසික වේතනයට, විශ්‍රාම වැටුපට 2019 අය-වැයෙන් පොරොන්දු වූ සහන ඒ අයුරින් හෝ ඊටත් වඩා ලැබෙද්දීය. මේ වෙනුවෙන් රජය වැය කොට ඇති මුදල මිලියන 40000කි.

රට මුහුණ දී සිටින අභියෝගාත්මක කාල පරාසයක රජයට තවත් සහන කාලයක් ලබා දීමට තරම් හික්මීමක් මේ වෘත්තීය සංගම් නායකයන්ට තිබුණා නම්, එය රටකට කොතරම් ආශීර්වාදයක්ද? මේ නිර්ලජ්ජී වෘත්තීය සටන් වෙනුවට කම්පනයට පත් ජනතාවට කාර්යක්ෂම සේවාවක් සලසන වැඩපිළිවෙළක් තිබුණා නම් මතුවට එන ඔවුන්ගේ වෘත්තීය සටන්වලට ජනතාවගෙන් කෙබඳු සහායක් ලැබෙනු ඇද්ද? ඒ වෙනුවට අද දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් විසි හතර පෑ මුළුල්ලේ ජනතාවගේ ද්වේෂයට නිග්‍රහයට ලක් වන පිරිසක් බවට පත්ව ඇත්තේ වර්ජනය නොකරන දවස්වලට වත් තම සේවාව කාර්යක්ෂමව සැලසීමට බොහෝ සේවකයන් අසමත් වන නිසාය.

මෙහිදී පසක් කළ යුතු තවත් කරුණක් ඇත. ඒ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හදිසි නීති තත්ත්වයක් තුළ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොට තිබියදී සිදු වීමය. එහිදී රටේ නීතිය හමුවේ ඔවුන්ගේ අවනත භාවය පිළිබඳ ඇත්තේ ගැටලුවකි. එයින් මේ වෘත්තීය සංගම් ජනතාව වෙත හෝ තම සහෝදර සාමාජිකයන් වෙත හෝ දෙන පරමාදර්ශයද ගැටලුවකි. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රමුඛ දුම්රියේ ඉහළ බලධාරීන් හදිසි නීති තත්ත්ව මත වැඩ වර්ජන කළ වෘත්තීය සමිතිවලට එරෙහිව පොලීසියේ පැමිණිලි කළ බවක් අපට පසුගියදා වාර්තා විය. එසේ වුවද අත්‍යවශ්‍ය සේවා පැහැරහැරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ රජය හෝ මේ වෘත්තිය සමිති සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ ජනතාව ඉන්නේ විමසිල්ලෙනි. බීමත්ව රාජකාරි කළ වෘත්තීය සමිති නියෝජිතයකු සම්බන්ධයෙන් පැනනැඟුණු අර්බුදයක් මත දෙවැනි වර්ජනය ක්‍රියාත්මක වූ අතර, එය ඔවුන් ක්‍රියාත්මක කළේ රජය කෙසේ වෙතත් මඟී ජනතාව පිළිබඳ අබ මල් රේණුවක් හෝ කල්පනා නොකරමිනි. සාමාන්‍යයෙන් වෛද්‍ය, හෙද වැනි සෞඛ්‍ය වර්ජනවලදී ඔවුන් ජීවිත කෙරෙහි තීරණාත්මක අත්‍යවශ්‍ය සේවාවල නියැළීමට කිසි සේත් අතපසු නොකරති. එහෙත් මහජනතාව මහපාරට ඇදදමා මේ දුම්රිය සේවකයන් වර්ජනයක් කරන්නේ අතිශය ම්ලේච්ඡ ගෝත්‍රික ස්වරූපයෙනි. එය ශ්‍රී ලංකාව වැනි රටක ශිෂ්ට සම්පන්න ජාතියකින් කිසිදු ලෙසකින් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

වර්තමානයේ ගමනාගමනය අතිශය තීරණාත්මක වී ඇති සමයක ප්‍රවාහන වර්ජනයක් යනු සමාජයේ බොහෝ පැති කරා ක්ෂණිකව විහිද යන බරපතළ ගණයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බව මේ දුම්රිය සේවකයන් තුළ අවබෝධයක් නැති සේය. අධ්‍යාපනය, සෞඛ්‍යය සේවා වැනි කටයුතුවලට සේම පරිසර දූෂණය, අධික ඉන්ධන නාස්තිය, රථවාහන තදබල හේතුවෙන් කාලය විනාශ වීම වැනි බොහෝ සංකීර්ණ සමාජීය සංකුලතා මේ තුළ නිර්මාණය වෙයි.

එබැවින් යම් වෘත්තීය සමිතියක් තම වෘත්තීය අභිවෘද්ධිය පිළිබඳව සංවේදි වන තීරණයක් ගනිද්දී බොහෝ දේ ගැන කල්පනා කළ යුතුය. ඒ තුළ කාටත් එකඟ විය හැති සාධාරණ වූ ප්‍රවේශයකින් තම වෘත්තීය සටන දිනාගත යුතුය. එසේ නැතිව මේ අයුරින් ජනතාව අතරමං කරන්නට ගිය හොත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් රුකුණත් ඔවුන්ගේ වෘත්තීය ගෞරවය සහ ආත්ම ගෞරවය සමාජ තලය හමුවේ කිසිදා එක් නොකළ හැකි අයුරින් විනාශ වී යනු ඇත.

අදහස්