අසන්ත ශ්‍රී ලංකා කණ්ඩායම නැමුවාද? | සිළුමිණ

අසන්ත ශ්‍රී ලංකා කණ්ඩායම නැමුවාද?

මම දැක්කා දිමුත් පන්දු යවන්න කාව හරි හොයමින් ඉන්නවා. ඒ වෙලාවේ තමයි මම කිව්වේ පන්දුවාර දෙක දාලා දෙන්නම් කියලා. මම මාස අටකින්වත් පන්දු යවලා තිබ්බේ නෑ. ඒත් ප්‍රශ්නයක් නෑ. මම දාන්නම් කියලා තමයි කොදෙව් තරගයේ 48 සහ 50 වැනි පන්දුවාර දෙක යැව්වේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කළ මො‍හොතේ පැවැති මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන පෙළේ දඟ පන්දු යවන්නෙකුගේ අඩුව තිබෙන බව දිගින් දිගටම පෙන්වා දෙද්දී තේරීම් කමිටු සභාපතිවරයා වත්මන් අන්තර් ජාතික මට්ටමේ තරග පිළිබඳ මෙලෝ මළදානයක් නොදන්නා ගණනට දුන් උත්තරවලින් අවශ්‍ය නම් ලොරියක් වුවද පිරවිය හැකිව තිබුණි.

ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවතට විසි වී අවසන්ය. තවත් ඇත්තේ ඉන්දියාව සමඟ තරගය පමණි. මෙකී තරගය අපට තවත් තරගයක් වන විට ඉන්දියාවට වැදගත් වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ සිය ගොඩ වැඩි කර ගැනීමට ඉවහල් වන බැවිනි. මෙකී තරගාවලිය අතර තුරේදීම තිලකරත්න ඩිල්ෂාන් ලංකා කණ්ඩායමේ තරග රටාව විවේචනය කළේ පාසල් කණ්ඩායමක තරග මට්ටමට වඩා පහත් මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායම වැටී ඇති බව පවසමින්ය. කොදෙව් තරගයේදී පවා ඒ බව මනාව ඔප්පු වූ අතර ලංකා කණ්ඩායමේ තරග රටාව ලාංකේය පාසල් තරගවලටත් වඩා පහතට වැටී තිබුණු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

දකුණු අප්‍රිකානු තරගයට පෙර පවා පුහුණුකරු බොහෝ දෑ ප්‍රකාශ කළ ද. තරගය අවසන් වූයේ හතුරුසිංහගේ කතා සියල්ලම කුණු බක්කියට විසි වෙමින්ය. ලාංකේය පාසල් ක්‍රිකට් තරගවලදී පවා පුහුණුකරුවන්, කණ්ඩායම් භාරකරුවන් ඉතාමත් නිවැරැදිව කණ්ඩායමක් තෝරා බේරා ගෙන ඉතාමත් සැලසුම්සහගත ආකරයකින් පිටියට පිවිසෙන බව දැක ගත හැකියි.

එහෙත් ක්‍රිකට් ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට 2013 ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව පන්දුවාරයකුත් පන්දු හතරක් යැවීමෙන් වසර හයකට පසු එංගලන්තයේදී පන්දු යැවීමට සිදුවීම තුළින්ම පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව මෙකි තරගාවලියට තැබූ පියවරෙහි සැහැල්ලුව කොතරම් ද යන්නයි. මේ තත්ත්වය කොතරම් බැරෑරුම් ද යත් 2017 ඉන්දියාවට එරෙහිව විසාකාපට්නම්හිදී පන්දුවාර තුනක් යවා තිබූ මැතිව්ස් ද පන්දු යැවීමට යොදා ගැනීමට සිදුවීමෙන් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩ‍ාවේ කඩා වැටීමේ දිග සහ පළල මේ තුළින් සක්සුදක් සේ පැහැදිලිය.

කොදෙව් තරගයේදී යම් හෙයකින් මැතිව්ස් පන්දු යැවීම ප්‍රතික්ෂේප කළේ නම් දිමුත්ට අලුතින් විකල්ප සෙවීමට සිදු වනු ඇත. මන්ද යත් ඒ වන විටත් අසන්තගේ විශ්වාසය දිනා ගෙන සංචිතයට ඇතුළත්ව මෙකී තරගයකට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ ඒ වන විට කොදෙව්වන් වෙතින් දරුණු පහර කෑමට ලක්ව තිබූ බැවිනි. ඒ වන විටත් මාලිංග, කසුන්, ධනංජය සහ ඉසුරු පන්දුවාර 40 ක් නිම කර තිබූ අතර, වැන්ඩර්සේගෙන් හිස් වූ පන්දුවාර තුන අවසානයේ සම්පූර්ණ කළේ දිමුත් සහ මැතිව්ස්ය. මේ මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක් කළ ශ්‍රී ලංකා ප්‍රධාන දඟ පන්දු යවන්නන් ගෙන් වැන්ඩර්සේගේ තත්වයයි.

දිගින් දිගටම විවේචන එල්ල වන විටත් කණ්ඩායමට ඇතුළත් කළ වැන්ඩර්සේව තව දුරටත් බංකුවේ තබා ගෙන සිටීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොතිබුණු බව මේ තරගයට ඇතුළත් කිරීමෙන් පැහැදිලිය. සෙනසුරාදා (06) ඉන්දියාව සමඟ තරගයට වැන්ඩර්සේව ඇතුළත් නොකර සිටියද පුදුම විය යුතු නොවේ. මන්ද යත් අසන්තගේ ඒ ආශාව සන්සිඳී ඇති බැවිනි.

මොන කයිවාරු ගසමින් මේ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට නම් කළ ද, අසන්තලා මුල සිටම කාගේ හෝ වුවමනාවකට කඩේ ගිය බව නම් පැහැදිලිය.

 

-------------------------------

අවසන් පූර්ව වටයට තිදෙනෙක් සමත් සිවුවැන්නා කවුරුද?

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග අඟහරුවාදා (ජුලි 09) සහ බ්‍රහස්පතින්දා (ජුලි 11) පැවැත්වේ.

ප්‍රථම අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීය. දෙවන තරගය බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදීය.

ඒ අනුව ප්‍රථම අවසන් පූර්ව තරගයේදී ලීග් වටයේදී ප්‍රථම සහ සිව්වැනි ස්ථාන හිමිකර ගත් කණ්ඩායම් තරග කරයි. දෙවන අවසන් පූර්ව තරගයේදී ලීග් වටයේ දෙවන සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් කණ්ඩායම් තරග කිරීමට නියමිතය.

මේ වන විට (ජුලි 04) ස්ථීරවම අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් ත්‍රිත්වයක් සමත් වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ සත්කාරක එංගලන්තයයි. සිවුවැනි කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තයට හෝ පාකිස්තානයට හැකියාව පැවතුණි.

එය තහවුරු වූයේ සිකුරාදා (ජුලි 05) බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති තරගයෙනි. එම තරගයේදී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නම් පාකිස්තානය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත යුතුව තිබිණි. මෙම තරගය පාකිස්තානය සාමාන්‍ය ජයක් ලැබුවොත් ඔවුනට අවසන් පූර්ව වරම අහිමි වේ. ඒ නවසීලන්තයේ දළ ලකුණු වේගය පාකිස්තානයට වඩා ඉදිරියෙන් තිබෙන නිසාය.

මේ අතර ඊයේ (06) පැවැති තරග ද්විත්වයම ඔස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට වැදගත් වූයේය. ඒ එහි ප්‍රතිඵල මත ලීග් වටයේ මුල් ස්ථාන තීරණය වූ බැවිනි. ඔස්ට්‍රේලියාව තරග කළේ දකුණු අප්‍රිකාව සමඟින්ය. ඉන්දියාවේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකාවයි.

නවසීලන්තය පහසුවෙන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තයට හැකි වූයේය. කෙසේ වෙතත් ලීග් වටයේදී ඔවුනට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ඒ අනුව දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාව හෝ ඉන්දියාව සමඟ තරග කරනු ඇත.

මේ තරගය පැවැත්වෙන එජ්බැස්ටන් ක්‍රීඩාංගණය පසුගිය කාලයේදී එංගලන්තයට වාසනාව ළඟා කර දෙනු ලැබීය. ඔවුහු අවසන් වරට මෙහි තරග කළ ටෙස්ට්, එක්දින සහ 20 – 20 තරග 10ම ජය ගැනීමට සමත් වූහ. එමෙන්ම මෙවර ලෝක කුසලානයේදී ඉන්දීයාව හමුවේ එංගලන්තය තරගය ජය ගත්තේ ද මේ ක්‍රීඩාංගණයේදීමයි.

මෙවර ‍අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල් අතරින් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයක් පරාජයට පත් නොවූ එකම කණ්ඩායම වන්නේ ඔස්ට්‍රේලියාවයි.

එංගලන්තය මීට පෙර දෙවතාවක්ම එම තරග පරාජයට පත් වී ඇත. ඒ 1975 සහ 1983 වසරවලදීය. එහිදී සත්කාරක රට වූයේත් ඔවුන්මයි. එහිදී ඔවුන් පරාජය වූයේත් ඔස්ට්‍රේලියාවට සහ ඉන්දියාවටමයි.

ඉන්දියාව මීට පෙර අවසන් පූර්ව තරග ත්‍රිත්වයක් පරාජය වී තිබේ. ඒ 1987,1996 සහ 2015 වසරවලදීය.

අවසන් පූර්ව තරග වැඩිම ප්‍රමාණයක් පරාජයට පත් වූ රට වනුයේ නවසීලන්තයයි. ඒ තරග 06කි. ඒ 1975,79,92,99,2007,සහ 2011 වසරවලදීය. පාකිස්තානයට අවසන් පූර්ව තරග පරාජ සතරකි. ඒ 1979,83,87 සහ 2011 වසරවලදීය. 

අදහස්