මෙවරත් අසුබ පලය දකුණු අප්‍රිකාවට | සිළුමිණ

මෙවරත් අසුබ පලය දකුණු අප්‍රිකාවට

මෙවර ‍එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුල් වටය ඊයේ (06) නිමාවට පත් විය. ඒ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙනි. එම තරගයේ ප්‍රතිඵලය කුමන ආකාරයකින්වත් අවසන් පූර්ව තරගවලට බලපාන්නේ නැත.

ඒ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබූ ප්‍රථම රට ඔස්ට්‍රේලියාව නිසාවෙනි. එමෙන්ම මුල් වටයෙන්ම ඉවත් වීමට සිදු වූ කණ්ඩායම් අතරට දකුණු අප්‍රිකාවත් අයත් වූ බැවිනි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය ඇරැඹෙන විට දකුණු අප්‍රිකාව මෙවැනි පසු බැසීමකට ලක් වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු වුයේ නැත. මෙවර ලෝක කුසලානය හිමි කර ගන්නා රටවල් ලෙස අනාවැකි පළවුවන් අතරට දකුණු අප්‍රිකාවත් අයත්ව සිටියේය. ඊට සාධාරණ හේතුවක් තිබිණි. ඒ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ඔවුහු තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියහ.

මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ප්‍රවීණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත විය. එමෙන්ම ඔවුහු දස්කම් අතරත් රැඳී සිටියහ. එසේ වුවත් තරගාවලිය ඇරැඹීමත් සමඟම ඔවුන් බහුතරයකට දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ මුල් වටයෙන්ම ඉවත් වීමට සිදු වීමයි.

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී මුල් තරග 08 දී අත්කර ගත් ප්‍රතිඵල මෙසේය. තරග 08, ජයග්‍රහණ 02, පරාජ 05, ප්‍රතිඵලයක් නැති 01කි. ජුලි 02 වැනි දින වන විට ලකුණු සටහනේ ඔවුනට හිමි වූයේ 08 වැනි ස්ථානයයි. එහිදී ඔවුනට පිටුපසින් සිටියේ ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පමණකි.

එංගලන්තය හමුවේ ලකුණු 104ක පරාජයකි. බංග්ලාදේශය හමුවේ ලකුණු 21ක පරාජයකි. ඉන්දියාව හමුවේ කඩුලු 06ක පරාජයකි. බටහිර ඉන්දීය කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා විය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 09ක ජයකි. නවසීලන්තය හමුවේ කඩුලු 04 ක පරාජයකි.

පාකිස්තානය හමුවේ ලකුණු 49ක පරාජයකි.

ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 09 ක ජයකි.

මේ අනුව දකුණු අප්‍රිකාව මුල් වටයේ තරග දෙකම ජය ගත්තේ පහසුවෙනි. එමෙන්ම සමාන ආකාරයකිනි. එනමුත් මේ ප්‍රතිඵල ගැන ඔවුනට දැඩි සතුටු වීමක් විය නොහැකිය. ඒ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ශ්‍රේණිගත කිරීමේදී දකුණු අප්‍රිකාවට වඩා පහළ මට්ටමක සිටින හෙයිනි.

ඉහත පැවැත්වූ තරග අතරින් දකුණු අප්‍රිකාවට ජය ගැනීමට හැකියාව තිබූ තරග තුනක් තිබිණි. ඒ බංග්ලාදේශය, ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිවයි. එහෙත් තීරණාත්මක අවස්ථාවලදී අසාර්ථක වීමෙන් පරාජය උරුම විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු නායකත්වය දැරුවේ ෆැ‍ෆ් ඩු ප්ලෙසි (උපත 1984 ජුලි 13) විසිනි. ප්‍රධාන පුහුණුකරුවා වූයේ ඕටිස් ගිබ්සන්ය. හෙතෙම (උපත 1969 මාර්තු 16) හිටපු බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩකයෙකි.

ප්ලෙසි සාර්ථක නායකයෙකි. එහෙත් කණ්ඩායමේ බහුතරයක්ම දස්කම් අතර නොමැති වූ විට දක්ෂ නායකයෙක් වුවත් ඔහුට කළ හැකි දෙයක් නැත. මෙවර තරගාවලියේදී ප්ලෙසිට වූයේත් එයමයි.

දකුණු අප්‍රිකාවේ පසුබැසීමට හේතු කිහිපයක්ම බලපෑවේය. ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක්ව සිටීම එවැනි හේතුවකි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් (උපත 1983 ජුනි 27) තරගාවලිය අතරමැද දී ඉවත් වූයේය. ඒ උරහිස් ආබාධයක් නිසාය. දකුණතින් වේග පන්දු යැවූ ලුන්ගි එන්ගිඩි (උපත 1996 මාර්තු 29) තරගාවලිය ඇරැඹීමට පෙර ආබාධයකට ලක් වී සිටියේය. එය සුවවීමෙන් අනතුරුව තරග කළත් ඔහුට සාර්ථක වීමට හැකි වූයේ නැත.

නවක ක්‍රීඩකයෙක් වන අන්රිච් නෝර්ට්ජි (උපත 1993 නොවැම්බර් 16) තරගාවලිය ඇරැඹීමට පෙරම සංචිතයෙන් ඉවත් වීමට සිදු වූයේය. ඒ අතේ ආබාධයක් හේතුවෙනි. ඔහු වෙනුවට අත්දැකීම් සහිත ක්‍රිස් මොරිස් (උපත 1987 අප්‍රේල් 30) කණ්ඩායමට එක් වූවත් අපේක්ෂා කළ පරිදි දස්කම් දැක්වූයේ නැත.

මේ අතර දකුණු අප්‍රිකාවේ පරාජයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක්ම දස්කම් අතර නොසිටීමයි. පිතිකරුවන් ලෙසට හෂීම් අම්ලා (උපත 1983 මාර්තු 31), කුයින්ටන් ඩි කොක් (උපත 1992 දෙසැම්බර් 17), එයිඩන් මාර්ක්රම් (උපත 1994 ඔක්තෝබර් 04), ජේ.පී.ඩුමිනි (උපත 1984 අප්‍රේල් 14), ඩේවිඩ් මිලර් (උපත 1989 ජුනි 10) අසාර්ථකය. එමෙන්ම ඔවුනගේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කාගිසෝ රබාඩාත් (උපත 1995 මැයි 25) සුපුරුදු දස්කම් දැක්වුයේ නැත.

නායක ප්ලෙසි සහ දකුණතින් පා දඟ පන්දු යවන ඉම්රාන් තාහිර් ( උපත 1979 මාර්තු 27) දස්කම් දැක්වුවත් එය ප්‍රමාණවත් නොවේ.

මේ අතර තරගාවලිය අතරතුරදී වාර්තා වූයේ හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩී. විලියර්ස් (උපත 1984 පෙබරවාරි 17) මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සූදානම් බවට මීට පෙර එ‍රටේ ක්‍රිකට් බලධාරීන්ට පැවසු බවයි.

එය සිදු වී තිබෙන්නේ අවසන් කණ්ඩායම නම් කිරීමට ඉතා ආසන්නයේදීය. එහෙත් ඊට ක්‍රිකට් බලධාරීන් මෙන්ම නායක ඩු ප්ලෙසිත් එකඟ වී නැත. ඒ සඳහා ඔවුන් දැක් වූ කරුණු ද සාධාරණය.

විලියර්ස්ගේ සුපිරි බව පිළිබඳ කිසිඳු විවාදයක් නැත. එසේ වුවත් මෙවර ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකානු අසාර්ථක බවට ඔහුත් එක්තරා ආකාරයකින් වගකිව යුතුයි. ඒ බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් 2018 වසරේදී හෙතෙම අන්තර්ජාතිකව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් බැවිනි. එනමුත් අයි. පී.එල්.වැනි තරගාවලියන්ට ක්‍රීඩා කළේය.

ඔහුගේ හදිසි ඉවත් වීම නිසාම වෙනත් ක්‍රීඩකයන් සමඟ ලෝක කුසලානයට සූදානම් වීමට දකුණු අප්‍රිකාවට සිදු විය. එය සාර්ථක විය. ඔවුහු එක්දින තරග ජය ගත්හ. එවැනි වාතාවරණයක් තුළ අවසන් මොහොතේදී ඒ.බී.ජාතික කණ්ඩායමට යළිත් එක් වීමට උත්සාහ කිරීම අසාධාරණය. නායක ඩු ප්ලෙසි සහ ක්‍රිකට් බලධාරීන් ඒ.බී. විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේත් ඉහත හේතුව දක්වමින්ය. එසේ වුවත් එක් දෙයක් පැහැදිලිය. එනම් ඒ.බී. මෙවර තරගාවලියට ක්‍රීඩා කළේ නම් අනිවාර්යෙන්ම දකුණු අප්‍රිකාවේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වනු ඇත.

ගත වූ කාලයේදී එරට ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කිරීමට තීරණය කිරීමෙන් ඔවුන්ගේ හැකියාව එරටට අහිමි වූයේය.

මෙම ක්‍රීඩකයෝ එහිදී ‘කොල්පැක් ගිවිසුමට’ අත්සන් කළහ. එසේ කළ විට ඔවුනට අන්තර්ජාතිකව තරග කිරීමට නොහැකිය.

එසේ කිරීමෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ ක්‍රීඩකයන් අතර හාර්ඩස් විල්යන්, සයිමන් හාමර්, ස්ටියාන් වැන් ෂිල්, ඩේවිඩ් විසා, කයිල් ඇබොට්, රයිලි රොසුයු, මර්ෂන්ට් ඩි ලැන්ගා, හෙයිනෝ කුහ්න්, වේන් පාර්නෙල් සහ ඩ්වේන් ඔලිවියර් වෙති.

මෙවැනි තීරණයකට මෙම ක්‍රීඩකයන් යොමු වන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පිරිනමන කොන්ත්‍රාත් ගිවිසුමකින් ලැබෙන මුදලකට වඩා වැඩි මුදලක් එංගලන්ත ප්‍රාන්ත විසින් පිරිනැමීමයි.

මේ නිසාම දක්ෂ එමෙන්ම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් තවදුරටත් එංගලන්ත ප්‍රාන්ත තරගවලට ඉහත ආකාරයට එක්වීම වැළැක්වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් වහාම ක්‍රියා කළ යුතුව ඇත. වත්මන් දකුණු අප්‍රිකානු නායක ඩූ ප්ලෙසිත් කලක් ‘කොල්පැක් ගිවිසුම’ අනුව එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළේය.

එක්දින ජගත් ක්‍රිකට් ලෝක කුසලානය කවදත් දකුණු අප්‍රිකාවට සුබපල ලබා දුන්නේ නැත. එම අමිහිරි අත්දැකීම 1992 වසරේ සිටම ඔවුහු ලැබූහ. මෙවර තරගාවලියට පෙර ඔවුන් මුල් වටයෙන්ම ඉවත් වූයේ 2003 තරගාවලියේදී පමණකි. එවර තරගාවලිය පැවැත්වූයේත් දකුණු අප්‍රිකාවේ ප්‍රධාන සත්කාරකත්වය යටතේමයි.

 

Comments