ශ්‍රී ලංකාව වසර 20කට පසු මූලික වටයෙන් ම ඉවතට | සිළුමිණ

ශ්‍රී ලංකාව වසර 20කට පසු මූලික වටයෙන් ම ඉවතට

අසන්ත ද මෙල් මොන පම්පෝරි ගසා ගෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගත්ත ද මූලික වටයේ සම්පූර්ණ තරග අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එළියට විසි වී අවසන් ය. එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති තරගය එංගලන්තය ජය ගැනීමත් සමඟම ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිඳ වැටුණි. මේ අනුව 1999 ට පසු ලීග් තරගාවලියෙන් ම (පළමු වටයෙන් ම) ශ්‍රී ලංකාව එළියට විසි වුණු පළමු වතාව මෙය විය. මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ, පරිපාලකයන්ගේ තේරීම් කමිටුවේ කෙරුවාවේ තරමය. එක අතකින් මේ කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල නව වන ස්ථානයේ සිට මේ තරම් හෝ දස්කම් දැක්වීම, ප්‍රමාණවත් යැයි සතුටු විය හැකි පසුබිමක් ද තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තරම් පහළට වැටීම පිළිබඳ වගකීම බාර ගැනීමට ඉදිරිපත් වන්නේ කවුරුද යන්න නම් ගැටලුවකි.

අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ලෙස මෙවර තරගාවලියට ඉදිරිපත් කළ කණ්ඩායම පිළිබඳ මොන තරම් තර්ක විතර්ක ඉදිරිපත් කළ ද තරග පිටියේ ක්‍රීඩා කළ යුතුව තිබුණේ දක්ෂයන් සමඟ මිස අදක්ෂයන් සමඟ නොවන බව අමතක කළ යුතු නොවේ. මෙවර තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම සම්පූර්ණයෙන් ම නම් ගොඩක් පමණක් යැයි ප්‍රකාශ කළේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාමය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යනුවෙන් හැඳින්වූවාට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්පූර්ණයෙන් ම නම් ගොඩක් යයි ප්‍රකාශ කළ ද එය පුදුම විය යුතු නොවේ. මන්ද යත් ශ්‍රී ලංකා ක්‍රිකට් විතරක් පසුගිය කාලයේ කුණු වී තිබූ බැවිනි. මේ හමන්නේ එකී කුණු ගොඩේ දුර්ගන්ධය ය.

ඇෆ්ගනිස්තානය, බ. ඉ‍. කොදෙව්, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව මේ වනවිට මූලික වටයෙන් ඉවත් වී අවසන් ය. මෙවර තරගාවලියේ ඉන්දීය තරගය පමණක් ඉතිරි වී තිබියදී ශ්‍ර‍ී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග අටෙන් ඇෆ්ගනිස්තානය, එංගලන්තය සහ බ.ඉ. කොදෙව් පරාජය කිරීමට ‍සමත් වූ අතර වාසනාවකට හෝ අවාසනාවකට පාකිස්තානය සහ බංග්ලාදේශය තරග දෙක වැස්සට සේදී ගියේ ය. ඉතිරි තරග පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතු සාධක සෙවීමට පාලකයන් කොතරම් උනන්දු වී ඇද්ද යන්න විමසා බැලිය යුතු ය. සංගා, මහේල, මුරලි, ඩිල්ෂාන් මෙන් ම සනත් ජයසූරිය, චමින්ද වාස් වෙනුවෙන් යොදා ගත හැකි ක්‍රීඩකයන් බිහි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කොතරම් ‍උනන්දු වූවා දැයි ඇත්තේ ගැටලුවකි. නවක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත් කළ බොහෝ දෙනෙකුට සිදුවූයේ දාම් ලෑල්ලේ ඉත්තන් මෙන් නිතර නිතර එහාට මෙහාට විසි වන්නට හා කැපී යන්නට ය. නවක ක්‍රීඩකයන් වශයෙන් කණ්ඩායමට එක්වූ අය අතරින් කුසල් මෙන්ඩිස් වෙනුවෙන් දැක්වූ උනන්දුව නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙත හෝ දැක්වූයේ නම් අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් හතර පස් දෙනෙකුවත් කණ්ඩාය‍මේ ඉතිරි වනු ඇත. ක්‍රීඩකයන්ට ස්ථාවර වීමට නම් කාලයක් ලබාදිය යුතුව තිබේ. එසේ නොවන තාක් කල් ක්‍රීඩකයන් පසුවන්නේ ද දෙගිඩියාවෙන් ය. කණ්ඩායම් හැඟීම යටව ගොස් තම නම ඉදිරියෙන් ලකුණු සංඛ්‍යාවක් එක් කර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දේවල් බවට පත්වනු ඇත. මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ තරග දෙස අවධානය යොමු කිරීමේදී එය පැහැදිලි විය. 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිට මෙවර තරගාවලිය දක්වා වැඩිම ක්‍රීඩක මාරු කිරීම් සහ යොදා ගන්නා කණ්ඩායමක් වේ නම් ඒ ශ්‍රී ලංකාව විය යුතු ය. මෙහිදී බොහෝ දෙනකුට හිමි වූයේ තරගයක් හෝ දෙකක් පමණි. මේ පිළිබඳ සංගා ද වරක් දැඩිව අදහස් දක්වා තිබුණි.

හිස ඇම්මට කොට්ට මාරු කරන්නා සේ පාලකයන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ රුචි අරුචිකම්වලට එහාට ‍- මෙහාට කරන්නාවූ තේරීම් කමිටු ද ස්ථාවර කණ්ඩායමක් ගොඩනඟා ගැනීමට ප්‍රබල බාධකයක් වී තිබේ. මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තවත් තරගාවලි දෙකක් හෝ තුනක් ක්‍රීඩා කර ස්ථාවර වී තිබුණේ නම් මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවීමට ඉඩකඩ තිබුණි.

අද අපේ රටේ ස්ථාවර ප්‍රබල ක්‍රිකට් තරගාවලියක් නොමැති අතර එහෙන් මෙහෙන් පවත්වන තරගාවලි මගින් දක්ෂතා උරගා බැලීම වැඩකට නැති දෙයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ඒ ගැන නිතරම අදහස් දක්වා තිබේ.

මෙවර තරගාවලිය දෙස අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට දිමුත්, කුසල් ජනිත්, මාලිංග ‍මතම යැපුණු බව පැහැදිලි ය. අවසානයේ කණ්ඩායමට ඇතුළත් වූ අවිශ්ක තමන්ට හැකි දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබාදුන්නේ ය. අවිශ්කට මීට වඩා අවස්ථාවක් ලබාදීමට කටයුතු නොකිරීම රටේ අවාසනාවකි.

Comments