අපේ ජය අපට විශ්වාසයි | සිළුමිණ

අපේ ජය අපට විශ්වාසයි

ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සහ පොදු ජන පෙරමුණු කමිටුවක් පත් කර තිබෙනවා...

මොන කමිටු පත් කළත් මේ රටේ ජනතාව ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අප රටේ ජනාධිපති විය යුතුයි කියන තැන. ජනතා නියෝජිතයන් ලෙස අපත් ඉන්නේ එතැන.

ඔබ එය වගකීමෙන්ද කියන්නේ?

ඔව්. අනිවාර්යයෙන්ම ජනතාවගේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම එයයි. මෙය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගෝස්තු මාසයේ දැනුම් දෙයි. ඒ අනුව මේ රටේ ඉල්ලීම එතුමා විසින් එදිනට ඉටු කරාවි.

ජනාධිපතිවරයා තමා ශ්‍රීලනිපයේ ගෞරවය රැකෙන ආකාරයේ තීන්දුවක් ගන්නා බව පැවැසුවා. එය පොදු ජන පෙරමුණට අවාසිදායක වන්න පුළුවන් නේද?

නැහැ. එහෙම අපට අවාසිදායක වන්නේ නැහැ. අපේ අපේක්ෂකයාගේ වෙනසක් වන්නේත් නැහැ. අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන බව අප දන්නවා.

ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීන් පවසනවා ඊළඟ ජනාධිපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම වන බව හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

ශ්‍රීලනිපයේ මතය ඒක වෙන්න පුළුවන්. එහෙත් අපට එය අදාළ වන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය අනුව මේ රටට අවශ්‍ය වන්නේ රටට ගැළපෙන නායකත්වයක්. දිනන්න පුළුවන් අපේක්ෂකයකු තමයි අප ඉදිරිපත් කරන්න ඕනෑ.

විශේෂයෙන් අද මේ ආණ්ඩුව ගැන - ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව පිළිබඳවම - ජනතාව කලකිරීමෙනුයි ඉන්නේ. ඒ නිසා දිනන්න පුළුවන් නායකත්වයක් ඉදිරිපත් කළ යුතුයි.

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට කලින් පවත්වන්න යෝජනා තිබෙනවා නේද?

අප පසුගිය වසර දෙකක කාලයක් පුරා ඉල්ලීම් කළා පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. අපට අදාළ නැහැ පවත්වන්නේ පළාත් සභා මැතිවරණයද ජනාධිපතිවරණයද කියන-එක. කොයික තිබුණත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප දුටුවා මේ රටේ ජනතා ප්‍රසාදය තිබෙන්නේ කොතැනද කියලා. කෙසේ වෙතත් ජනාධිපතිවරණය කල් දැමීමට පළාත් සභා මැතිවරණයක් පවත්වන්න උත්සාහ කරනවා නම්, අප එයට සහයෝගය දෙන්නේ නැහැ.

අනෙක් අතට, පළාත් සභා මැතිවරණයක් එක පාරට පවත්වන්න බැහැ; කොයි ක්‍රමයටද මෙය පවත්වන්නේ කියලා තීරණය කරලා ඉන්න ඕනෑ. මේ මාස හතරක් වැනි කෙටි කාලයකදී පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා අප හිතන්නේ නැහැ. කොයි මැතිවරණයකට වුණත් අප සූදානම්. අපේ ජයග්‍රහණය අපට විශ්වාසයි.

ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ජා වාර කිහිපයක් පවත්වා තිබෙනවා සන්ධානගත වීමක් සම්බන්ධයෙන්. එහෙත් මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟත්වයක් නැති බව දෙපාර්ශ්වයේම මන්ත්‍රීන්ගේ ප්‍රකාශවලින් ඉතා පැහැදිලියි. මේ තත්ත්වය අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

තාම සාකච්ඡා වාර පැවැත්වෙනවා. කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ට තීරණය කරන්න වනවා: රජය ගෙන යන ජනතා විරෝධි වැඩ පිළිවෙළ අනුමත කරනවාද? නැති නම් අපත් සමඟ එකතු වෙලා ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ගෙන යනවාද කියන කාරණාව සම්බන්ධයෙන්.

මේ වන විට යහපාලන පිළිකාවක් කියා ඇතැම් අය චෝදනා කරනවා මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට. ඇයි මේ වසර කිහිපයකට පසු මේ විරෝධතා මතු වන්නේ. ඔබත් මේ ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන්නා නේද?

සහයෝගය දුන්නත් අපි 19ට විරුද්ධව කතා කළා. ඒ අවස්ථාවේ ඒ අය අපට පොරොන්දුවක් දුන්නා 19න් පසුව 20 ගේන බවට.

ඒ ලෙස ඒ අවස්ථාවේ අප මෙයට සහාය දුන්නත්, අපට ඒ සම්බන්ධයෙන් පැහැදීමක් තිබුණේ නැහැ. දහනවය ගෙනල්ලා විස්ස අතහැරලා දාලා දැන් මේ දේ සිදු වෙලා තිබෙන වෙලාවේ 19 නරකයි කිව්වාට වැඩක් නෑ. මෙමඟින් රටට සිදු වන අවුල ගැන අප එදා ප්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත් වුව හොත් අප රට සිංහල-බෞද්ධ රටක් බවට පත් කරයි කියලා ඇතැම් අය ප්‍රකාශ කරනවා. එතකොට සුළු ජාතීන්ට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් පැනනඟින්න ඉඩ තිබෙනවා නේද?

මේ සමාජගත කරන්න සූදානම් වන්නේ බොරු මතයක්. මේ රට සිංහල-බෞද්ධ රටක් බවට අමුතුවෙන් පත් කරන්න අවශ්‍ය නෑ. මේ රට කොහොමත් සිංහල-බෞද්ධ රටක්.

මේ රට ඇතුළේ සැම ජන කොටසකටම සමඟියෙන් ජීවත් වන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහතා සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් කවදත් පෙනී සිටියා. එතුමා ඕනෑම ජාතියකට ගරු කරන කෙනෙක් බව ජනතාව දන්නවා. මෙය විරුද්ධවාදීන් සිතා-මතාම පතුරුවන අසත්‍ය ප්‍රචාරයක්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා නෑ කියලා විරුද්ධ පක්ෂය කිව්වත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයටත් යම්කිසි වගකීමක් තිබෙනවා නේද මේ සම්බන්ධයෙන්?

අනිවාර්යයෙන්ම. අප විපක්ෂයක් හැටියට කටයුතු කළත් හදිසි නීතියට අප සහාය දෙන්නේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නයි. මේ රටේ ජාතික ආරක්ෂාව බිඳවැටිලා කියලා අප කලින්ම පාර්ලිමේන්තුවේදී කිව්වා.

මේ ආණ්ඩුුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. අපට මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. ප්‍රහාරයක් එල්ල වීමට තිබෙන බව දැනගෙන හිටිය නායකයෝ දැන් කියනවා රටේ ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි කියලා!

අදහස්