අප පෙනී සිටින්නේ ජනතා හිතවාදී පාලනයක් වෙනුවෙන් | සිළුමිණ

අප පෙනී සිටින්නේ ජනතා හිතවාදී පාලනයක් වෙනුවෙන්

ඔබ පසුගිය දිනක පවසා තිබුණා ආණ්ඩුව ගෙදර යන්නේ නැත් නම් යැවිය යුතුයි කියලා. කුමන ක්‍රියාමාර්ගයක් ගැනීමටද සැරසෙන්නේ?

දැනටමත් අප ජනතා උද්ඝෝෂණ පාගමන් අරඹා තිබෙන්නේ. පාණදුර, අනුරාධපුර, ඇඹිලිපිටිය, මාතර ප්‍රදේශවල ඒ පාගමන් ඇරඹුණා. ඒ වගේම අද සහ හෙට (7-8) කළුතර සිට නුගේගොඩ දක්වා ජනතා පා ගමනක් ක්‍රියාත්මක වනවා.

ඒ වගේම අප දැනටමත් විශ්වාසභංගයක් ගෙනැවිත් තිබෙනවා. ඉදිරියේදී ආණ්ඩුව ඉවත් කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබ පක්ෂය මහනාහිමිවරුන්ට බාර දුන් රට ගොඩනඟන ක්‍රියාවලිය හා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ නව යෝජනා මාලාවන් තිබෙනවාද?

අප බාර දුන්නේ අන්තවාදය දුරලමින් ජාතිවාදය පරදවා රට ගොඩගත යුතු යෝජනාමාලාවයි. ජනාධිපතිවරණයට තව කල් තිබෙන නිසා ඉදිරියේදී අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වනවා.

ලාල් කාන්ත මහතා පවසා තිබුණා ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා 14 වැනිදා නම් කරන බවක්...

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොවෙයි; ලබන 14 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අප පුළුල් ජනතා එකමුතුවකින් යුත් ජනතා සන්ධානය ගොඩනැඟීම ආරම්භ කරනවා.

ඔබ පක්ෂය ජන බලය ලබාගන්න ගම් මට්ටමින් කුඩා රැස්වීම් පැවැත්වූවා. එහි සාර්ථකත්වයක් තිබෙනවාද?

ඉතා සාර්ථකයි. ගම් මට්ටමින් බිම් මට්ටමින් ඉතා සාර්ථකව එය සිදු කෙරෙනවා. ජනතාවට මේ කොළ පාට නිල්පාට දෙකම එපා වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතා පාලනයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අප පක්ෂය අරගෙනයි තිබෙන්නේ.

නැඟෙනහිර පළාතේ අරාබි නාම පුවරු ඉවත් කිරීමේ බලයක් පොලීසියට නැහැ කියලා, හිටපු රාජ්‍ය ඇමැති අමීර් අලි කියලා තිබුණා...

ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරැදියි. ඒ වගේ කතා හා ක්‍රියා නිසා තමයි මේ අනවශ්‍ය අර්බුද මතු වන්නේ. ශ්‍රී ලංකාවේ අරාබි භාෂාවෙන් කටයුතු කිරීමක් නැහැ. ඒ නිසා ඒ වගේ බෝඩ් දාන්න බැහැ. ඒවාට ඉඩ දෙන්නත් බැහැ. ඒවා වහාම ඉවත් කළ යුතුයි. මේ අය කියන විදිහට ගියොත් ශ්‍රී ලංකාව අරාබියක් වෙයි.

භික්ෂූන් වහන්සේ නිරතුරුවම මුස්ලිම් ජනතාවගේ ක්‍රියා සම්බන්ධ විවේචන එල්ල කිරීම ගැන මුස්ලිම් නායකයන් කලකිරී ඉන්නෙ. ඒ අතරේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පසුගියදා පවසා තිබුණා වහාම වහාබ් විරෝධි රැල්ලක් මතු කළ යුතු බවට...

එක් එක් අයගේ න්‍යායපත්‍ර තිබෙනවා. ඇතැම් අය රාජපක්ෂ බල කණුු වෙනුවෙන් දර-දිය අදින්න උත්සාහ කරනවා. ඒ දේශපාලනය වෙනුවෙන් ඇතැම් අය අදත් අන්තවාදය පතුරවනවා. ඒ අය විවිධ සිද්ධි පාවිච්චි කරනවා, සිද්ධි හදනවා. අපි දකින්නේ ඒ අය රාජපක්ෂලා වෙනුවෙන් මැදිහත් වන අය.

මේ අන්තවාදය පරාද කරනවා වෙනුවට දේශපාලන වාසි ගන්නා උත්සාහයක් පමණයි.

උතුරු නැඟෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවත්, සිංහල ජාතිකයන් ඒ ප්‍රදේශවල යළි පදිංචි නොකළ යුතු බවත් දෙමළ ජාතික සංවිධානය යාපනයේදී පවසා තිබුණා. විශේෂයෙන්ම සම්පන්දන් මහතා මේ ගැන දැඩි ස්ථාවරයක් දක්වා තිබුණා...

උතුරු නැඟෙනහිර වෙන් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒක යළිත් එක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක එකතු කිරීම වැරැදියි. බෙදුම්වාදී වුවමනාවන්ට තමයි ඒක කරන්න හදන්නේ. උතුරත් නැඟෙනහිරත් කියන්නේ පළාත් දෙකක්. ඒ වගේම තමයි මේ රටේ සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා, ඕනෑම අයකුට ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය, නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. කොළඹ, බස්නාහිර දකුණේ වගේම උඩරටත් දෙමළ ජාතිකයන් ඉන්නවා නම් සිංහල අයටත් රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. ඔය කතා සම්පන්දන්ගේ වචන විතරයි. ඒ ගැන ඒතරම් සැලකිල්ලක් යොමු කළ යුතු නැහැ. කවදාවත් ඒ වැඩ කරන්න මේ රටේ ඉඩක් බැහැ.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න නම් ආඥාදායක පාලකයකු කෙටි කලකට හෝ පත් විය යුතු බවට එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයා පවසා තිබුණා. ඒ ගැන ඔබ පක්ෂයේ මතය කුමක්ද?

ඒකාධිපති වියරු පාලනයන්ගෙන් තමයි අපේ රට ආපසු හැරෙව්වේ. අපට යළිත් ඒකාධිපති පාලකයකු අවශ්‍ය වන්නේ නැහැ. රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ඔස්සේ සිදු වන ප්‍රතිසංස්කරණ පමණයි. ඒකාධිපතියන්ට පුළුවන් ජනතාව මර්දනය කර, ජනතාද්‍රෝහි පාලනයක් ඇති කරන්න පමණයි.

ජනතා අවශ්‍යතා සපුරාලන්න පුළුවන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් යටතේ පමණයි. ලෝකයේ ප්‍රවණතාවම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවායට. ලංකාවේත් එහෙමම තමයි. ඒ නිසා වියරු ඒකාධිපති පාලනයන් වළක්වලා ජනතා හිතවාදි පාලනයක් වෙනුවෙන් අප පෙනී ඉන්නවා.

දේශපාලනය කරන්න නම් අවම වශයෙන් සා/පෙළවත් තිබිය යුතු බවත්, දේශපාලනයේ ඉහළට යන්න ඒ අධ්‍යාපන සුදුසුකම් වැඩි විය යුතු බවත් රවි කරුණානායක ඇමැතිවරයා පවසනවා...

අධ්‍යාපනය තිබීම අනිවාර්යය අංගයක්. ඒත් අධ්‍යාපනය විතරක් තිබුණට මදි දේශපාලනය කරන්න. සමාජ අත්දැකීම් මෙන්ම සමාජය පිළිබඳ පුළුල් දැනීමකුත් තිබිය යුතු වනවා. අධ්‍යාපනය විතරක්ම සුදුසුකමක් කියල කියන්න බැහැ. මොකද මහාචාර්යවරුත් ඉන්නවා පිස්සු නටන.

භික්ෂූන් වහන්සේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී කටයුතු කිරීම ගැන විවිධාකාර විවේචන එල්ල වනවා. ඔබ පක්ෂයේත් භික්ෂූන් වහන්සේ දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගැනීම ඕනෑම පක්ෂයක් විසින් සිදු කළ යුතුයි. අතීතයේ ලංකාවේත් ඒක සාධනීය ලක්ෂණයක්. බුදු රජාණන් වහන්සේගේ කාලයේත් පාලකයන් භික්ෂූන් වහන්සේගේ උපදෙස් ලබාගත්තා. උන්වහන්සේලාට ධර්මානුකූල විවරණයක් කරන්න පුළුවන්.

ආගමික නායකයන් පාලකයන්ට හා පාලන බලය ලබාගන්න ඉන්න අයට උපදෙස් අනුශාසනා දිය යුතුයි. ඒත් භික්ෂූන් වහන්සේ දේශපාලන පක්ෂවලට ගැති වනවා නම් කත් අදිනවා නම් එය අනුමත කරන්න බැහැ. අපේ පක්ෂයත් භික්ෂූන් වහන්සේ මෙන්ම කතෝලික පියතුමන් හින්දු, ඉස්ලාම්, සියලු ආගමික නායකයන් සමඟ සම්බන්ධ උපදෙස් අනුශාසනා ලබාගන්නවා.

රිෂාඩ් බද්යුද්දීන් හිටපු ඇමැතිවරයා තෙරීම් කාරක සභාවෙන් නිදොස් කළොත් ඔහුට එරෙහිව විශ්වාභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසනවා...

ඒක පදනම් විරහිත කතාවක්. ඔහු දැනට අමාත්‍ය ධුරයේ නැති නිසා විශ්වාසභංගයේ තේරුමක් නැහැ. විශ්වාසභංගය ගෙනා ආ යුත්තේ ඔහු ඇමැතිධුරය භාරගත හොත් පමණයි.

Comments