මා රටට වැඩ කළේ පෞද්ගලික ප්‍රසිද්ධිය තකා නොවේ | සිළුමිණ

මා රටට වැඩ කළේ පෞද්ගලික ප්‍රසිද්ධිය තකා නොවේ

පාලනය සහ පාරදෘෂ්‍යභාවය පිළිබඳ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කරන ලද ස්වයං විවරණය (2වැනි කොටස)

ශ්‍රී ලංකාවේ සිවු වැනි විධායක ජනාධිපති වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ 74 වැනි ජන්ම දිනය ඊයේ (29) වැනිදාට යෙදී තිබිණි. තම පාලන කාලය තුළ දුෂණය පිටුදැකීම සහ පාලනයේ පාරදාෂ්‍යභාවය පිටුදැකිම වෙනුවෙන් ජනාධිපතිවරිය ලෙස ඇය අනුගමනය කළ පිළිවෙත් පිළිබඳ ඇය විසින් රචනා කරන ලද ලිපියේ දෙවන කොටස මෙසේ පළ වෙයි.

‘යහපාලනය’ යන සංකල්පයට ඇතුළත් වන්නේ අවංක පාලනය පමණක්ම නොවේ. ඊට රජයේ කාර්යක්ෂමතාවද ඇතුළත් වේ. ජනතාව උදෙසා වන ස්වකීය වගකීම ඉටුකිරීමෙහිලා රජයකට මේ සංකල්ප දෙකම අවශ්‍ය වේ. මගේ පාලන කාලසීමා දෙකේදීම අපි රජයේ වැදගත් මෙහෙයුම් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස පවත්වා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත්තෙමු.

මේ කාරණයේදී සුපැහැදිලි දැක්මක් සහ ප්‍රතිපත්ති ඇවැසි විය. ඉන්පසු ඒවා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරී සැලසුම් බවට පරිවර්තනය කිරීමට සිදු විය. රජයේ වෙනස් සහ විසම පාර්ශ්ව තිබිණි. එහෙත් එම පාර්ශ්ව කාර්යක්ෂම සහ වගකීම් සහගතව කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය වී තිබිණි.

ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් සති කිහිපයක් තුළ මම සෑම අමාත්‍යාංශයක් සහ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලසුමක් නිර්මාණය කිරීම පිණිස නව පද්ධතියක් සම්පාදනය කළෙමි. ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පෞද්ගලිකවම වැඩ කළ මම සංවර්ධන කාර්ය සැලසුම් කිරීමේදී අමාත්‍යාංශය විසින් භාවිතා කළ යුතු ආකෘති සම්පාදනය කළෙමි. එහිදී සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම වැඩ අයිතමයන්ට බෙදන ලද අතර එකී එක් එක් අයිතමයට කාර්යයන් ඇරැඹීමට සහ සම්පූර්ණ කිරීමට ඉලක්කගත දින නියම කෙරිණි.

ඉන්පසු මම මසකට වරක් ඒ අමාත්‍යාංශ සමඟ පෞද්ගලිකවම සම්බන්ධ වීමි. අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්, සෑම දෙපාර්තමේන්තුවකම ප්‍රධානියා සහ අනෙක් අදාළ නිලධාරීන් සමඟ එක්ව ක්‍රියාකාරී සැලසුම අනුව ප්‍රගතිය සමාලෝචනය කළෙමි. එහිදී පැන නැඟුණු ගැටලු සහ බාධාවලට විසඳුම් ද සම්පාදනය කෙරිණි. දවසෙහි වැඩපිළිවෙළ වූයේ විස්තීර්ණ සහ නිදහස් සාකච්ඡා ය.

රජයේ ප්‍රථම දෙවසර තුළ මාසික ව මේ අමාත්‍යාංශ වැඩ සමාලෝචනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපට හැකි විය. අමාත්‍යවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තනිවම මේ සමාලෝචන පවත්වාගෙන යා හැකි යයි පෙනුණු අවස්ථාවේ පටන් මා මේ මාසික සමාලෝචනය රැස්වීම්වලට සහභාගි වූයේ වසරකට දෙවරක් පමණි. ඒ වැඩපිළිවෙළට අකමැති වුණේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පමණි. ඔවුහු මගේ මාසික සමාලෝචන රැස්වීමට නොපැමිණ සිටීමට හේතු ගොතා ඉදිරිපත් කළෝය. නීති මඟින් වගකීමට බැඳීමට අකමැත්තක් දැක්වූ ඒ ඇමතිවරුන් නොතකා මම අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ එක් වී සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවට වගබලා ගතිමි.

එසේ වුවත් ඒ ව්‍යාපෘති සාර්ථක වෙද්දී එහි ගෞරවය මා කෙරෙහි ලබාගන්නට නොගියෙමි. ඒ ගෞරවය අමාත්‍යවරුන්ට ලබාගන්නට ඉඩ හැරියෙමි. ඇතැම් ජනාධිපතිවරුන් මෙන් නොව මම ප්‍රසිද්ධිය අපේක්ෂා නොකළෙමි. එසේම කරන ලද යහපත් කාර්යයන්හී සියලු ගෞරව බදාගන්නට ආශා නොකළෙමි. මා උනන්දු වුණේ සංවර්ධන වැඩ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න ගැන පමණි. ස්වයං ප්‍රචාරණය යනු මා තදින්ම පිළිකුල් කළ දෙයකි.

මගේ අවසන් ධුර කාලයේ අවසානය ළඟා වෙමින් පැවතුණත් ඒ නොතකා මට වුවමනා වුණේ දූෂණයට එරෙහි සටන උදෙසා කල් පවත්නා ක්‍රියාමාර්ගයක් සහ ඵලදායී පරිපාලනයක් ස්ථාපිත කිරීමය. මගේ රජයෙහි අවසන් වසර දෙකේ දී සංවර්ධන කාර්ය සම්පාදනය සහ සමාලෝචනයට නව ආයතනයක් නිර්මාණය කිරීමට කටයුතු කළෙමි. ආර්ථික සංවර්ධනය උදෙසා ජාතික කවුන්සිලය බිහි වන්නේ ඒ අනුවය.

සැබැවින්ම මේ ආයතනය විසින් ඉටු කරන ලද්දේ සංවර්ධන සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමේ මා විසින් පෞද්ගලිකවම ඉටු කරන ලද කාර්යභාරයයි. පළමු වතාවට අපි රජයේ ක්‍රියා පද්ධතියට පෞද්ගලික අංශයේ වෘත්තීයවේදීන්, විද්වතුන් සහ රජයේ නිලධාරීන් එකට සම්බන්ධ කළෙමු.

මේ සෑම ප්‍රධාන විෂයකටම පෞද්ගලික අංශයේ නායකයන් විසින් මෙහෙයවනු ලැබූවාවූද අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලේකම් ලෙස කටයුතු කළාවූද ඒකකය බැගින් තිබිණි. ඒ සෑම ඒකකයකම සාමාජිකයෝ 10ත් 15ත් අතර සංඛ්‍යාවක් සිටියහ.

අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලය අතර වන සාකච්ඡා මඟින් ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කෙරිණි. ඉන්පසු ඒවා අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කරන ලද අතර අනතුරුව අවසන් අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි. ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලයෙහි අනෙක් කාර්යය වූයේ උක්ත දෑ ක්‍රියාත්මක වන්නේ දැයි සමීප ව සමාලෝචනය කිරීම සහ ඒවා සඵලදායී ලෙස සිදු වන බවට සහතික කිරීමය. ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලය සෘජුවම වාර්තා කළේ රාජ්‍ය ප්‍රධානියාටය.

මගේ ආණ්ඩුව බලයට පැමිණෙන විට රාජ්‍ය බැංකු විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයක තිබූ අතර ඒවා බිඳ වැටෙන්නට ආසන්නව පැවතිණි. ලංකා බැංකුව සහ මහජන බැංකුච විශාල ලෙස ණය බරකින් පසු විණි. ඊට ප්‍රධාන හේතුව වූයේ දේශපාලන නියෝග මත දෙන ලද එසේම කිසි දා හෝ අය කරනොගත් සහ ආපසු නොගෙවන ලද ණය නිකුත් කිරීම්ය. ලංකා බැංකුවේ බොල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 10ක් වෙද්දී මහජන බැංකුවේ බොල් ණය රුපියල් බිලියන 11 ක් විණි.

විදෙස් සහ ශ්‍රී ලාංකික විශේෂඥයන් කැඳවමින් ඒ බැංකු දෙක ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධීක්ෂණය කළ මම සාර්ථක ලෙස ඒ දෙකම අනතුරුදායක තත්වයෙන් මුදා ගතිමි. මා ආණ්ඩුවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට ඒවා පැවතියේ ලාභ උපයමිනි. ඒ තත්ත්වය පසුව වෙනස් වූ බවත් රාජපක්ෂ රෙජීමය යටතේ බැංකු දෙකම පාඩු ලද බවත් මම දනිමි.

දොළොස් වසරක කාලයක් පුරා ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනඟන ලද , එසේම යහපාලනය පිළිබඳ සඵලදායී ලෙස සහතිකයක් සැපයූ ඒ සියලු ආයතන තවදුරටත් නැති බව දැනගැනීමෙන් මම කනගාටුවට පත්වීමි. මින් බොහෝ ආයතන බිඳදමා ඇති අතර තවමත් පවතින ආයතන හුදෙක් පෙර පැවති ඒවායේ ඡායා පමණි.

ආණ්ඩුව කාර්යක්ෂම ව පවත්වාගෙන යෑමේ සහ දූෂණය පාලනය කිරීමෙන් රටේ එකල පැවති යුද්ධයට වියදම් දරන අතරේ සංවර්ධනය පිණිසත් රාජ්‍ය සේවයෙහි වැටුප් ඉහළ දැමීමටත් අවශ්‍ය අරමුදල් ඉතිරි කරගත හැකිය. සාමාන්‍ය පුරවැසියාගේ ජීවන තත්වය නඟ සිටුවීමට වියදම් දරන අතරම කාර්යක්ෂම පෞද්ගලීකරණයෙන් උපයාගත් මුදලින් කොටසක් වැය කර ආණ්ඩුවේ ණය බරද අඩු කිරීමට 1948න් පසු හැකියාව ලද පළමු ආණ්ඩුව මගේ ආණ්ඩුව බව කිව යුතුය.

මගේ ආණ්ඩුවේ පළමු පස් වසර තුළ අපි ඒක පුද්ගල ආදායම අමෙරිකා ඩොලර් 620 සිට 1200 දක්වා දෙගුණයකින් වර්ධනය කළෙමු. මගේ එකොළොස් වරසක පාලන කාලය අවසන් වන විට ඒක පුද්ගල ආදායම තෙගුණයක් වී පැවතියේ ඇමරිකානු ඩොලර් 2000 ආසන්නයේ එනම් මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල තත්ත්වයට සමීපව පැවතිණි.

පළමු වසර පහ තුළ රටේ දළ දේශීය නිපැයුම දෙකයි දශම පහකින් වර්ධනය වී තිබිණි.

එසේම දශකයකටත් අඩු කාලයක් තුළ පෞද්ගලික අංශයේ වැටුප්ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවෙන තත්ත්වයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවක වැටුප් පස් වතාවකදී වැඩි කරනු ලැබිණි.

රට පුරා කිලෝ මීටර් දහස් ගණනක ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම වැනි කටයුතු ඇතුළු මගේ ආණ්ඩුව මේ කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කිරීම හෝ සම්පූර්ණ කිරීම සිදු කළේය. ඒ අතර මෙවැනි ප්‍රධාන ව්‍යාපෘති ඇතුළත් වෙයි.

පළමු ප්‍රධාන අධිවේගී මාර්ගය-දක්ෂිණ, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, කෙරවලපිටිය කොත්මලේ සහ සියලු ප්‍රධාන ජල විදුලිබල ව්‍යාපෘති, ස්ථාවර දුරකතන සම්බන්ධතා 100,000 සිට 500,000 දක්වා වැඩි කිරීම.

ඒ අතරම ජංගම දුරකතන සම්බන්ධතා 300,000 සිට මිලියන 2 දක්වා වැඩි කරනු ලැබිණි.

ත්‍රි රෝද රථ සංඛ්‍යාව 100,000 සිට මිලියනය දක්වා වැඩි කරනු ලැබිණි.

වසර සියයක් තිස්සේ 33%ක්ව පැවති පෞද්ගලික නිවාස සඳහා වූ විදුලි සැපයුම 33% සිට 65% දක්වා වර්ධනය කරනු ලැබිණි.

එසේම නිවෙස්වලට පානීය ජල සැපයුමද 40% සිට 75%දක්වා වර්ධනය කරනු ලැබිණි.

1994 වසරේදී අප ආණ්ඩුව භාරගන්නා විට උද්ධමන අනුපාතය 13%ක්ව පැවති නමුත් රටේ පැවති සිවිල් යුද්ධය උදෙසා විශාල ලෙස වියදම් දරමින්ම උද්ධමන අනුපාතය ආසන්න වශයෙන් 7%ක සාමාන්‍ය අගයක පවත්වාගැනීමට අපි සමත් වීමු.

විරැකියාව 14% සිට 6% දකවා පහත හෙළනු ලැබිණි.

ණය පොලී අනුපාත පහත හෙළූ අපි මධ්‍යම සහ කුඩා පරිමාණ කර්මාන්තවලට සහන ණය පහසුකම් ලබා දුන්නෙමු. එකී වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මිලියන දෙකකට වැඩි පිරිසකට රැකියා අවස්ථා ජනිත කරමින් සහ නව ආදායම් උත්පාදනය කරමින් ආසන්න වශයෙන් අඩ මිලියනයක පමණ නව ව්‍යාපෘති අරඹනු ලැබිණි. එය සවිමත් ග්‍රාමීය සංවර්ධනයක් සඳහා අවශ්‍ය පදනම සැපයීය. වර්තමාන ආණ්ඩුවට ග්‍රාමීය අංශයන්ගෙන් සහයෝගය ලැබුණේ ඒ පදනම මත බව කිව යුතුය.

මගේ ජනාධිපති ධුර කාලය අවසානය කරා එළඹෙද්දී මගේ ධුර සමයෙහි උරුමය ලෙස විසල් ව්‍යාපෘති ගණනාවක්ම ලැබීමට නියමිතව තිබිණි. ඉන් වඩාත්ම ප්‍රසිද්ධ (සමහර විට කුප්‍රසිද්ධ) ව්‍යාපෘතිය වූයේ නොරොච්චෝලේ බලශක්ති ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය පිළිබඳ අදහස මගේ ආණ්ඩුව විසින් ඇති කරගන්නා ලද්දක් වූ අතර මම ඉතා පහසු කොන්දේසි යටතේ අපට ණය ලබා දෙන මෙන් චීන රජය කැමති කරවා ගතිමි. එසේම මම ලයිබර් පොලී අනුපාතයට වඩා 1.2% වැඩි පොලී අනුපාතයක ණය පහසුකමක් සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 280ක් වූ එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළෙමි.

ඒ අනුව අදාළ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට මට්ටමේ තාක්ෂණික, සහ මූල්‍ය වාර්තාවක් ඇත්තාවූ සහ අත්දැකීම් සහිත වූ ප්‍රබල පිළිගැනීමක් ඇති චීන සමාගමකට ටෙන්ඩරය පිරිනමන ලද අතර එකී ව්‍යාපෘතියට ඉතා පැහැපත් අනාගතයක්ද නියමව තිබිණි. එහෙත් එකී ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි වැදගත් පුද්ගලයකු විසින් මට දන්වා සිටින ලද්දේ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඉතා වැදගත් පුද්ගලයකු 50% ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවයි. එය ලබාදීම චීන සමාගම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ ඉතා වැදගත් පුද්ගලයා විසින් චීන සමාගමට ‘පිටව යන’ මෙන් දැනුම් දී තිබේ. ඉන්පසුව ආණ්ඩුව විසින් ටෙන්ඩරය පිරිනැමීම අවලංගු කරනු ලදුව එය නැවත සාකච්ඡාවට ගෙන 6%කට අධික පොලී අනුපාතයක් යටතේ වන ණය පහසුකමක් සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 510කට (පෙර පැවති පිරිවැය මෙන් දෙගුණයක්) ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අස්සන් කරනු ලැබිණි.

එය සිදුවූ ආකාරය ගැන මට ඇත්තේ කම්පනයකි. බලාගාරයේ සවිකිරීම් සය වතාවක් ගින්නට බිලිවූ බව වාර්තා වන අතර නිමක් නැති බිඳ වැටීම්ද සිදු වන බව වාර්තා වෙයි. ව්‍යාපෘතිය සඳහා ගෙවන ලද අමතර මුදල් වලට අත්වූ ඉරණම පිළිබඳ අපට කළ හැක්කේ හුදු උපකල්පනයක් පමණි.

කිසියම් පුද්ගලයකු ඇමරිකා ඩොලර් මිලියන 140ක් (සැබෑ පිරිවැයෙන් 50%ක්) එනම් රුපියල් බිලියන 15ක් යටිමඩි ගසා ඇති බව මෙහිදී පැහැදිලිය. සැබැවින්ම ඒ සියල්ලම එකතුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවනු ලබනා බිලට ය.

එම ආණ්ඩුව යටතේ ෆ්‍රෑන්කන්ස්ටයින් යක්ෂයා පරිද්දෙන් පරිවර්තනයට ලක් වුණු මගේ එකම ව්‍යාපෘතිය නොරච්චෝලේ ව්‍යපෘතිය නොවන බව සඳහන් කළ යුතුය. හම්බන්තොට වරාය ද එවැන්නකි. මේ වනාහී උදක්ම නෞකාවන්ට ඉන්ධන ඇතුළු පහසුකම් සපයන වරායක් පමණක් විය යුත්තකි. ඒ ගැන කරන ලද අධ්‍යයනයන් විසින් පෙන්වා දෙන ලද්දේ ශ්‍රී ලංකාව තුළ නෞකාගත භාණ්ඩ ප්‍රවාහනය උදෙසා එක් ප්‍රධාන වරායකට වඩා පවත්වාගැනීම ලාභදායී නොවන බවකි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ ව්‍යාපෘතිය පළමුවෙන් 1999 වසරේදී ඇමරිකානු ඩොලර් 230ක මුදලකට කොරියා සමාගමකට පිරිනමන ලද අතර 2001 වසර වන විට ඉන් අඩක් පමණ සම්පූර්ණ කරන ලදී. 2002 වසරේදී මෙකී ටෙන්ඩරය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අවලංගු කරන ලද අතර යළිත් වරක් සැලකිය යුතු අඩු පිරිවැයක් සහ ඉතා පහත් පොලී අනුපාතයක් යටතේ 2005 වසරේදී මගේ ආණ්ඩුව විසින් ටෙන්ඩරය චීන සමාගමකට නැවත පිරිනමන තුරු එහි වැඩ නතර වී තිබිණි. එකී ටෙන්ඩරයද නතර කළ රාජපක්ෂ ආණ්ඩුව ඊට වඩා බෙහෙවින් වැඩි පිරිවැයක් සහ පොලියක් මත එය නැවත පිරිනැමීය. මේ ව්‍යාපෘතියේ ගෞරවයටද හිමිකම් කීවේ රාජපක්ෂය.

දක්ෂිණ අධිවේගී මාර්ගය-සැලසුම් සකස් කිරීම, අරමුදල් සම්පාදනය සහ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 50 සම්පූර්ණ කිරීම සිදු වූයේ මගේ ආණ්ඩුව යටතේ 2005 වසරේ අවසාන භාගයේ ය. මෙහිදී ද නැවත වරක් අර පුද්ගලයා එහි ගෞරවය ද හිමි කරගත්තේය.

කොළඹ දකුණ වරාය ව්‍යාපෘතියද ආරම්භ කරන ලද්දේ මගේ ආණ්ඩුව සමයේය. මගේ ආණ්ඩුව විසින් ටෙන්ඩර් කැඳවන ලද අතර ටෙන්ඩරය ප්‍රදානය කිරීම සිදු වූයේ රාජපක්ෂ ආණ්ඩුව මඟිනි. ටෙන්ඩර් ප්‍රදානය තෙවරක් සිදු වූ සේම තෙවරක්ම ටෙන්ඩර් අවලංගු කරනු ලැබිණි. ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී අක්‍රමිකතා සිදු වූවේයයි චෝදනා කරමින් ඇතැම් ටෙන්ඩර්කරුවෝ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූවෝය.

මෙහිදී වඩාත්ම විහිළු සහගත කරුණ ලෙස මට පෙනී යන්නේ පුරා වසර 17ක් බලය අහිමිව සිටීමෙන් පසුව මවිසින් බලයට ගෙන එන ලද, එසේම පුරා වසර විස්සක කාලයක් බලයේ රැඳෙන්නට හැකි වන සේ මවිසින් ශක්තිමත් කරන ලද සහ බොහෝ සාර්ථක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද මගේ පක්ෂයෙන් ප්‍රධාන වශයෙන්ම සමන්විත වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, මගේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන කාර්යයන්හී ගෞරවයට හිමිකම් පෑමට ඉදිරිපත් වීමයි.

බලාධිකාරියේ ඉහළම ස්ථරයන්ට සමීප ව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැඩි විසුළු සහගත පිළිවෙතක පිහිටුවමින් 1994-2005 දක්වා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගය යටපත් කර දැමීමට මහත් සේ සැලකිලිමත් වූවෝය.

එකී අවස්ථාවන්ට සහභාගී වූ පුද්ගලයන් මට පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි මේ කාලපරිච්ඡේදය ඉන්දියන් සාගරයෙහි පත්ලටම ගිල්වා ඇත්තාක් මෙන් පෙනෙන බවයි. ඒ ආණ්ඩුවේ ඉතා වැදගත් පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝද එකී උපායමාර්ගයම අනුගමනය කළහ.

මවිසින් කරන ලද උපකාරයන්ගේ පිහිටෙන් බලයට ගෙනෙනු ලැබූ පුද්ගලයන් මේ ආකාරයට ඊර්ෂ්‍යා පරවශව, දුෂ්ට අභිලාෂයන්ගෙන් යුක්තව හැසිරෙනු දකින විට මට ශෝකයක් සහ අසහනකාරී බවක් දැනිණි.

එහෙත් තම සුබසිද්ධිය උදෙසා මගේ ආණ්ඩුව ළඟා කර දුන් දේ පිළිබඳ මෙරට ජනතාවගෙන් බොහෝ පිරිසකට අමතක නැතැයි යන සත්‍යයෙන් මම නැවත දිරිය සහ ශක්තිය උපදවා ගත්තෙමි. මගේ ආණ්ඩුව විසින් අත් කරගනු ලැබූ විවිධ ජයග්‍රහණ ඇගයීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් මට සිය කෘතවේදීත්වය පළ කිරීමට මහමඟ දී මෙන්ම විවිධ අවස්ථාවන්හි දී මා පෞද්ගලික ව නොහඳුනන බොහෝ අය මා නතර කරගනිති. ඔවුන් සියල්ලම සිය කතාව අවසන් කරන්නේ මා නැවත දේශපාලන භූමිකාවට පිවිසීම වඩා යහපත් බව පවසමිනි.

රජයේ සේවකයන්ට විශාලතම වැටුප් වැඩි කරන ලද්දේ මගේ ආණ්ඩුව යටතේ බවත් අවම දේශපාලන බලපෑම් යටතේ වඩා නිදහස්ව සහ අභිමානයකින් යුතුව කටයුතු කිරීමට හැකි පරිසරයක් රාජ්‍ය සේවයට නිර්මාණය කරන ලද්දේ මගේ ආණ්ඩුව විසින් බවත් පවසමින් රාජ්‍ය සේවකයන් නොයෙක් වර සිය ඇගයුම පළ කරද්දී මට දැනෙන අභිමානය ඉමහත්ය.

කිසිදු ආකාරයක කොමිස් මුදලක් හෝ අල්ලසක් නොගෙන මගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබාදීම පිණිස ඇවැසි වූ විශාල මුදල් ප්‍රමාණය සපයාගැනීමට මා සමත් වූයේ කෙසේද යන්න පිළිබඳ කිසියම් ආකාරයක පැහැදිලි කිරීමකින් තොරව දූෂණය සහ යහපාලනය ගැන සඳහන් කෙරෙනා aකිසිම පරිච්ඡේදයක් සම්පූර්ණ නොවනු ඇත.

එකී ක්‍රියාදාමය සම්බන්ධයෙන් මගේ ප්‍රතිවාදීන් විසින් විවිධ කතන්දර ගොතා ඇති අතර වෙනකක් තබා මගේ මිතුරන් මෙන්ම ආධාරකරුවන් පවා තමන් විශ්වාස කළ යුත්තේ කවර කතාවක්දැයි විපිළිසරව සිටි අවස්ථා ඇත.

මම මෙතෙක් මේ කරුණ අරබයා මුනිවත රැකීමි. එනමුදු මේ විවේචනයන් නිහඬ කරනු පිණිස මා සහ මගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අදාළ විස්තර හෙළි කිරීම මගේ වගකීමකැයි මම කල්පනා කරමි.

තවත් කොටසක් ලබන සතියේ ..... 

Comments