වැරදුණු තැන් | සිළුමිණ

වැරදුණු තැන්

ගිය පුංචි ඡන්දෙන් වෙච්ච දේ දැක්කනේ. ඒ ප්‍රතිශතය අරගෙන අපි එන ඕනම ඡන්දයක් දිනනවා' පොහොට්ටුවේ සමහරු එහෙම කියයි.

'ඒකනේ...එයාලා ලොකුවට ම දිනුම්නේ. ඉතින් අපිට දිනන එක අමාරුයි තමා' යූ. ඇන්පී කාරයෝ එහෙම කියයි.

'ඒ කියන විදිහට, එහෙනම් ආණ්ඩුව පරාදයිද?.'

කියන විදිහට නම් පරාදයි. ඒත් සිද්ධවෙන විදිහට නම් ආණ්ඩුව පරාද නැත. එහෙම කියන්නේ කොහොමද අහන අයට උත්තරය දෙන්න මුලින්ම ගන්නේ ගණිතමය උත්තරයයි.

2014 ඌව පළාත් මැතිවරණය තිබ්බම එවක මහින්දගේ ආණ්ඩුව උඩින් දිනුවේ ය. ඒ එක්කම බැසිල් ඊට කලින් දිනුව මැතිවරණ පළාත් ටිකත් එකතු කරමින් ප්‍රසන්ටේෂන් එකක් හැදුවේ ය.

සිතියමට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්ෂ 50 කි. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 24 කි, ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ තුනහමාරකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුන්ලක්‍ෂ හැත්තෑපන් දහසකි. දෙමළ සන්ධානය ලක්‍ෂ පහකි. මුළු විපක්ෂය ම එකතු කළහම ලක්‍ෂ 36 කි. තනි මහින්දගේ සන්ධානය ලක්ෂ 50කි.

සතුටින් පිනා ගිය මහින්ද සහ බැසිල් ජනාධිපතිවරණයකට අර ඇන්දේ ය.

රොටිය පුච්චන්න තැටිය හරි කියා ඔවුහු සිතූහ.

හැබැයි කාටත් නොපෙනුණ තත්ත්වය සිහින ලෝකයෙන් මෙහා සිටිය චම්පික දැන සිටියේය.

"මම වචනයක්වත් කිව්වේ නැහැ. මම එළියට යනකොට මහින්ද මහත්මයා කතා කරලා ඇහුවා ඇයි ඇමතිතුමා මොකුත්ම කතා කළේ නැත්තේ, ඔයත් ගණන් කාරයෙක්නේ, මොකද කියන්නේ බැසිල්ගේ ගණන් ගැන කියලා. මම කිව්වා ඔබතුමා පරාදයි කියලා. කොහොමද එහෙම වෙන්නේ ලක්ෂ 50 ද, ලක්ෂ 36 ද ලොකු කියලා මගෙන් ඇහුවා. බැලූ බැල්මට එය තමයි ඇත්ත. මම එතුමාට කිව්වා ඔබතුමා බලගතු ප්‍රතිසංස්කරණයක් නොකළොත් ඔබතුමා පරාදයි. හේතුව මේ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දී තිබෙන්නේ 65% යි. නමුත් ජනාධිපතිවරණයේදී 85% ක් ඡන්දය දෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ජය ගන්න ඔබතුමාට ලක්ෂ 60ක් ඕනේ. 60 පන්නන කෙනා තමයි දිනන්නේ.

පනහෙන් හැට හැදෙන්නේ නැහැ. ඉතුරු ලක්ෂ 10 ගන්න එක අතිශය දුෂ්කරයි, ඔබතුමා ගැන, ඔබතුමාගේ පවුලේ අය ගැන මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව... මහින්දගේ මූණට ම එදා චම්පික කීවේ ඒක ය.

2015 ජනාධිපතිවරණය වෙලාවේ චම්පිකලා ගල්ලෙන බින්දේ සිද්වෙන දේ ටක්කෙට ම දැනගෙන ය.

චම්පික කළේ දිනන්න ඕන නම් කළ යුතු දේ මහින්දට යෝජනා කරන එක ය. චම්පික මෙහෙමත් කියයි.

"මම කිව්වා මේ පාර නම් හැබැයි දෙන්නම් කාසිවලට බැහැ. මේ පාර නම් උත්තරයක් ඕනේ කියලා. එතුමා මට නොවැම්බර් මාසේ 15 වෙනිදා ලිපියක් එවලා කිව්වා ඒ කිසිවක් ඉටු කරන්න බැහැ කියලා. ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව බලමු කියලා ඒ කියන්නේ 2020 දී. මම එතුමාට ගෙදරට ම ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා 18 වෙනිදා පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා මෙයාව අයින් කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඡන්දෙට ගියා.

අපි දන්නවා අපේ පක්ෂවලත් හිටපු හුඟක් අයට විශ්වාසයක් තිබුණේ නැහැ. එ් ඡන්දයෙන් මහින්ද මහත්මයාව පරද්දන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඒ ඡන්දය දිනුවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලක්ෂ 62 යි. මහින්ද මහත්මයා ලක්ෂ 58 යි."

දේශපාලන ගණිතය කියන්නේ ඒකට ය.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරගෙන යන්නේ ද ඡන්දය දිනන බවට කියමින් මේ මායාව පෙන්වමින් සිටියි.

ඒ එන්න තියන ජනාධිපතිවරණයටත් අදාළ කතාවයි.

ඊළඟ කතාව කිසිවෙක් තවමත් සැලකිල්ලට නොගන්නා කතාවයි.

'එන ජනාධිපතිවරණය හිතන තරම් මහා ලොකු එකක් නෙවේ'

කියා කවුරු හෝ කීවොත් ඒක පිළිගන්න අය අඩු ය. එහෙත් ඇත්ත ඒක ය.

කෙනකුට එය විමතියට කරුණකි.

“ඒ මොකෝ කියන්නෙ, ඒකට හේතුව තමා 19.”

සමහරුන්ගේ ඇස් උඩ යන්නේ එතකොට ය.

19 නිසා එන්න ඉන්න ජනාධිපතිට වෙන්නෙ මොනවද?

77 හඳුන්වා දුන් විධායක ජනාධිපති ධුරය බෙහෙවින් ම බලසම්පන්න එකක් විය. එය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සාපේක්ෂ ව විස්මයජනක බලතල සහිත ජනාධිපතිවරයෙක් බිහි කළ ව්‍යවස්ථාවක් විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ජනාධිපති ධුරය හැඳින්විය හැකිය. 78 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධන විසින් සුවිශේෂ බලතල රාශියක් විධායක ජනපති සතු කිරීමට ක්‍රියා කරනු ලැබ ඇත. ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත් ය." කියායි.

"ජනාධිපතිවරයෙක් වන ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයාද රාජ්‍ය නායකයාද වන්නේ ය." යන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) ව්‍යවස්ථාව මඟින් ජනාධිපති යන්න අර්ථ ගන්වමින් දක්වා ඇත.

78 ව්‍යවස්ථාව මඟින් සුපිරි බලතල භුක්ති විඳින ජනාධිපති ධුරයක් හඳුන්වා දෙනු ලැබ ඇත. ලංකාව උ‍දෙසා ප්‍රථම වරට ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින් වන නමුත් එය නාමික විධායකයකි.

නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පූර්ණ බලැති විධායකයක් හඳුන්වා දෙන ලදී. විචාරකයන් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකූලව බලවත් ම ජනපති ලෙස පිළිගනු ලබන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයයි. එහෙත්, බොහෝ දෙනාට අමතකව ඇත්තේ 2020 පත්වන ජනාධිපතිවරයා මින් පෙර සිටි මට්ටමේ ජනාධිපතිවරයකු නොවන බව ය.

19 වැනි සංශෝධනය මඟින් ජනාධිපති ධුර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පෙර පැවැති වසර හයක ධුර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකිය.

2020 ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරීමේ ඉඩක් නැත. කැබිනට්ටුවේ නායකයා ලෙස ඔහු කටයුතු කරන අතර කැබිනට් සාමාජිකයකු ලෙස ඔහුට එහි වාඩි වීමේ ඉඩකඩ පවතී. එහෙත් ඔහු අගමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළ යුතු වෙයි.

“එතකොට එන්නේ ගොපල්ලව වගේ කෙනෙක්ද?”

එහෙම අහන අයට කියන තියෙන්නේ ‘ඔව්’කියලා ය.

“ගොපල්ලවට බලයක් තිබුණේ නැද්ද?”

ඒක දැනගන්න නම් ගොපල්ලව ජනාධිපති වූ හැටි හොයා බැලිය යුතුය.

1970 මහ මැතිවරණයේදී සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් යුත් සමඟි පෙරමුණ දුන් පොරොන්දුව වූයේ ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් කරන බව ය.

එ් මැතිවරණයෙන් සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. නව ජනරජ පනත සම්මත කර ගැනීම සිදුව ඇත්තේ 1972 මැයි 22 වැනිදා ය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වන්නිආරච්චිලාගේ දොන් ස්ටැන්ලි තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජනරජ පනත පිළිගත් බව සහතික කරමින් ඊට අත්සන් තැබුවේය.

ජනරජ පනත සම්මත වීමෙන් පසු ලංකාව එංගලන්තයේ මහ රැජිනට තිබුණු බැඳීම අවසන් වී නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් විය. ‘සිලෝන්’ යන නම ඉවත් වී ‘ලංකා’ යන නම ආවේය. ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය හැටියට සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දුන්නා ය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ප්‍රථම ජනාධිපතිවරයා පත් කළ යුතු විය. 1972 මැයි 21 දින දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ විලියම් ගොපල්ලව මහතා 1972 මැයි 22 දින සිට ජනාධිපති වශයෙන් අගමැතිනිය විසින් පත්කරන ලද අතර අග්‍රාණ්ඩුකාර ධුරය ජනාධිපති බවට පත් විය. මෙසේ රැයක් පසු වී පහන් වන විට අග්‍රාණ්ඩුකාරවරයා ජනාධිපති විය. එතෙක් කල් රජ ගෙදර “ජනාධිපති මන්දිරය” බවට පත් විය.

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ලෙස ඔහු මෙහෙම කීවේය.

“පරිපූර්ණ නිදහස ඇති ජනරජයක් මඟින් අභිනව යුගයක් ආරම්භ වන මොහොතේ ජනරජයේ පළමු වැනි ජනාධිපති වශයෙන් පත්වීමේ භාග්‍ය මා වෙත පැවරීම ගැන ගරු අග්‍රාමාත්‍යවරියටත් රජයටත් ජනතාවටත් මාගේ හෘදයංගම කෘතගුණය මුලින්ම සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජය මඟින් අපේක්ෂිත ශ්‍රී සෞභාග්‍ය මුළුමහත් ජනතාවට උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ අභිනව යුගයේ සමාරම්භ ලක්ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සදහටම බැබළෙන සේ ඔසවමි.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ පත්වීම කෙරෙන්නේ අවුරුදු හතරක් සඳහා ය.

නියමිත කාලය අවසන් වන විට ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට කැමති බව ගොපල්ලව මහතා අගමැතිනියට දන්වා සිටියේය. එහෙත් අග්‍රාණ්ඩුකාරයා වශයෙන් මෙන්ම ජනාධිපති වශයෙන් ද ගොපල්ලව මහතා ඉතාමත් අපක්ෂපාතීව බුද්ධියෙන් යුතුව කටයුතු කර තිබුණු නිසා ඒ මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට තමාත් ඇමැති මණ්ඩලයත් තීරණය කර තිබුණු බව අගමැතිනිය කියා සිටියේය. ඒ අනුව විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය තවත් අවුරුදු හතරකින් දීර්ඝ කෙරිණි.

1977 ජූලි 23 වැනිදා මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත්තේ ය.

ගොපල්ලව මහතාගේ පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ තුනක් පවත්වා ඇත. 1965, 1970 සහ 1977 යන වර්ෂවල පවත්වන ලද මේ මහමැතිවරණ තුනෙන්ම බලයේ සිටි ආණ්ඩු පෙරළී ගියේය. මැතිවරණවලින් පසු විපක්ෂය බලයට පත්විය. ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය නායකයා හැටියට ඉතාමත් අපක්ෂපාතී ලෙස කටයුතු කිරීමෙන් විලියම් ගොපල්ලව මහතා ජනාදරය දිනා ගත්තේය.

ඉතිහාසයෙන් විමසා බැලූ විට පෙනෙන පරිදි, විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. එහෙත් ඔහුට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් නැත.

කෙසේ වෙතත් 46 - 76 දක්වා වසර 30ක් මේ රට පැවැතියේ මේ පන්නයේම විධායකයකි. 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දුන්නේද මේ ක්‍රමය යටතේය.

එනිසා ක්‍රමය එතරම් විශේෂිත තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැත.

නමුත් අවබෝධ කරගත යුත්තේ 2020 ජනාධිපති මෙතෙක් සිටි ජනාධිපතිවරු තරම් බලසම්පන්නයකු නොවන බව ය. කෙසේ වෙතත් එයින් පත්වන අගමැති බලසම්පන්නද කියා ගෙනෙන තර්කයක් වෙත්නම් එයද එතරම් ප්‍රායෝගික තර්කයක් නොවේ. සත්තකින්ම 2020න් පසු බලවත් වන්නේ කොමිසන් සභා ය.

ආචාර්ය නිහාල් ජයවික්‍රම මෙසේ කියයි.

“පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරයාටද රාජ්‍ය නායකයකු සතු සාම්ප්‍රදායික අයිතීන් හිමි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔහුට යුද්ධ ප්‍රකාශයට පත්කිරීමට පුළුවන. එසේ වෙතත් ඔහු එසේ ප්‍රකාශයට පත් කෙරෙන යුද්ධය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිනිස් බලය සහ අවි ආයුධ ආදිය රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා විසින් සපයන්නේ නම් මිස ඔහුගේ යුද්ධ ප්‍රකාශය සක්‍රීය නොවන්නේ ය. එසේම ඔහුට වෙනත් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයකු පත් කළ හැකිය. එහෙත් එසේ පත්කරනු ලබන තැනැත්තා අරබයා එකී විදේශ රාජ්‍යයේ ‘අනුමැතිය’ අපේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා විසින් ලබා ගනු නොලබන්නේ නම් එසේ අලුතෙන් පත් කළ තානාපතිවරයාට එකී රටට පය ගැසීමට නොලැබෙන්නේය. එසේම ජනාධිපතිවරයාට හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් කළ හැකිය. එහෙත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සහ වෙනත් සම්පත් අමාත්‍ය මණ්ඩලය මඟින් සම්පාදනය කර නොදෙන්නේ නම් සහ එම හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුව මඟින් අනුමත නොකරන්නේ නම් ඔහුගේ ප්‍රකාශය සක්‍රීය නොවන්නේය. එසේම පාර්ලිමේන්තුවේ සෑම සභා වාරයක් ආරම්භයේදී ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහුට කියැවිය හැක්කේය. එහෙත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය, අගමැතිවරයා විසින් සම්පාදනය කොට අමාත්‍ය මණ්ඩලය මඟින් ඉදිරිපත් කරනු ලබන්නක් මිස ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන්නේය.”

ඒත්, 19 මෙහෙම තිබියදී පත්වෙන ජනාධිපතිවරයා ජේ.ආර්. කී පරිදි “ගැහැනියක් පිරිමියකු කිරීම හැරුණුකොට වෙන ඕන දෙයක් කිරීමට බලය තිබෙනවා.” කියා කියන පන්නයේ ජනාධිපතිවරයෙක් බිහි නොවේ.

“එතකොට මේ හැමෝම ජොකියෝ හොයන්නේ මොකටද?”

ඒක අහන්න ඕනෑ හොයන අයගෙන් ය.

මානාභරණ

Comments