විදෙස් මැදිහත්වීම් අවදානමෙන් ඈත් වීමට නම්... | සිළුමිණ

විදෙස් මැදිහත්වීම් අවදානමෙන් ඈත් වීමට නම්...

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය සතියේ සිදුවූ විශේෂ ම සිද්ධිය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගැනීමයි. රජයේ ඉහළ ම නිලධාරීන් දෙදෙනකු තම රාජකාරී විෂයයේ වගකීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ ප්‍රථම අවස්ථාව මෙය විය හැකි ය. වසර හතරාමාරක් තිස්සේ කොපමණ උත්සාහ ගත්තත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ වටපිටාවක හේමසිරි ප්‍රනාන්දුත් පූජිත ජයසුන්දරත් අත්අඩංගුවට ගැනීම අතිශයෙන් වැදගත් වේ.

හේමසිරි ප්‍රනාන්දු රජයේ ස්ථිර සේවාවක සාමාජිකයකු නොවූව ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමීප ව වැඩ කළ පුද්ගලයෙකි. 1993 දී ගොඩනැංවූ පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ දී ද ඔහු විශාල මෙහෙවරක් කළ අයෙකි. එනිසාම 1994 දී අග්‍රාමාත්‍ය ධූරයට සිරිමාවෝ බණ්ඩාරනායක පත්වූ පසුව ඇගේ ලේකම් ධූරයට පත් කර ගන්නා ලද්දේ හේමසිරි ය. අනතුරුව විවිධ රාජ්‍ය තනතුරු දැරූ ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ ද සමීප සබඳතා පවත්වා ගෙන ගියේ ය. එසේම ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ද වූ ඔහු ක්‍රීඩා කළමනාකරණය ක්ෂේත්‍රයේ ද කටයුතු කළේ ය.

අනිවාර්ය නිවාඩු යවා තිබූ පූජිත ජයසුන්දර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු කලක පටන් ම ශ්‍රී ලංකා පොලීසියේ කැපී පෙනෙන නිලධාරියකු විය. එනිසාම ඔහු කීර්ති ප්‍රශංසා ලබමින් උසස්වීම් ද ලබා ගත් අතර අවසානයේ පොලිස්පති ධූරයට ද පත් විය. පූජිතට එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා ඇතැයි කියවුණ අතර ඊළඟ මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට ද කටකතා පැතුරුණි.

මේ උසස් නිලධාරීන් දෙදෙනාට ම අතීතයේ දී ගෞරවනීය ඉතිහාසයක් තිබුණ ද මෑත කාලය තුළ ඔවුන්ගේ කල් ක්‍රියාව මහජන ප්‍රකෝපයට හා හාස්‍යයට හේතු විය. විශේෂයෙන් පූජිත ජයසුන්දර තම තනතුරේ ගෞරවනීයභාවය කෙලෙසා ගත්තේ හාස්‍යජනක චරිතයන්ට පණ පොවමිනි. එසේම හේමසිරි පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කළ සමහර අදහස් නිසා සමාජ විරෝධයට ලක් විය.

හේමසිරි ප්‍රනාන්දුත් පූජිත ජයසුන්දරත් තම චරිතය නිර්මාණය කර ගත්තේ දේශපාලනය නිසා ම ය. එසේම ඔවුන් දෙදෙනා තම චරිතය විනාශ කර ගත්තේත් දේශපාලනය නිසා ම ය. අවසානයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දෙදෙනාම අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කොට ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් තම රාජකාරී වගකීම් පැහැර හැරියා ද යන්න ගැන ඉදිරියේ දී හෙළිදරව් වනු ඇත.

රජයේ උසස් නිලධාරීන් මේ අන්දමින් අත්අඩංගුවට ගැනීම සුවිශේෂ වන අතරම පසුගිය කාලයේ රටේ පුරවැසියන් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම ද අතිශයෙන් ම සාකච්ඡාවට ලක්විය යුතු කරුණකි. එහෙත් රටේ දසතින් එලෙස විවිධ පුරවැසියන් අත්අඩංගුවට පත්වුව ද ඒවා සමාජයේ බරපතල ලෙස කතාබහට ලක් නොවීය. ලේඛක ශක්තික සත්කුමාර ගෙන් ඇරඹුණු ඒ අත්අඩංගුවට ගැනීම් මාලාව තුළ යම් සාධාරණයක් ඉෂ්ඨ වූවා නම් වූයේ රත්නපුරයේ අනුෂ්ක දිල්හාර ඇතුළු තරුණයන් තිදෙනා පමණි. එය ද සිදුවූයේ රත්නපුරයට අලුතින් පත්ව ආ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීම මත ය.

එහෙත් ශක්තික සත්කුමාර ඇතුළු ආණ්ඩුවේ ගිලටීනයට හසුවූ අහිංසක සිවිල් පුරවැසියන් රැසක් තවමත් නිරපරාදේ දඩුවම් විඳිමින් සිටින බව අමතක නොකළ යුතු කරුණකි. තම සිවිල් පුරවැසියන් නිරපරාදේ අත්අඩංගුවට ගැනීම සිදු වෙද්දී මහජන ඡන්දයෙන් බලයට ආ මහජන නියෝජිතයන් ඒවා නොදැක අහක බලාගෙන සිටීම නින්දාසහගත ය. එහෙත් එවැනි අත්අඩංගුවට ගැනීම් ගැන අදටත් මහජන නියෝජිතයෝ මුනිවත රකිති.

මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාලක පන්තිය ද පාලිත අතරමැදි පන්තිය ද මේ අන්දමින් නිහඩ ව සිටින්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය සංවේදී නොමැති නිසා විය හැකිය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හෝ අනිවාර්ය නිවාඩු යවා තිබූ පොලිස්පති පූජිත ජයසුන්දර හෝ අත්අඩංගුවට ගැනීම ද මෙරට මැද පන්තියට සංවේදී වී ඇති බවක් නොපෙනේ. ඒ තත්ත්වය තුළ රට පුරා අවවරප්‍රසාදිතයන් රාශියක් බන්ධනාගාරගතව සිටීම කොහෙත් ම සංවේගයට කරුණක් නොවන්නේ ය.

2015 දී ජනාධිපතිවරණය සඳහා ජන වරමක් ඉල්ලන විට ද රාජපක්ෂවරුන්ගේ දූෂිත පාලනයට එරෙහි ව පරීක්ෂණ පවත්වා දඩුවම් කිරීම වඩා වැදගත් මැතිවරණ් අපොරොන්දුවක් විය. එහෙත් වසර හතරාමාරක් ගෙවී ගිය ද තවමත් කිසිවකු අත්අඩංගුවට ගැනීමට සමත් ව නැත.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ව අත්අඩංගුවට ගැනීමට මහත් වෙහෙසක් දැරුව ද තමන් අත් අඩංගුවට පත්වීමෙන් වැළැකී සිටීමට ඔහු සමත් ව තිබේ. එසේ ඔහු භාග්‍ය සම්පන්න වී ඇත්තේ බරපතල අපරාධ වැරදි කිහිපයකට ම ඔහුට එරෙහි ව චෝදනා එල්ල වී තිබිය දී ය. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ඍජු නොවන නීතිය හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඍජු වීම බරපතල ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කිරීමට එරෙහිව පියවර ගැනීම නීතියේ නිසි ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවීම කනගාටුදායක සිද්ධියකි. පුරවැසියකුට එරෙහිව එල්ල වන චෝදනාවක දී ඔහු අත්අඩංගුවට ගත යුතු ද, කුමන නීතිය යටතේ ක්‍රියා කළ යුතු ද, යන්න සම්බන්ධයෙන් පැහැදිලි, ඍජු හා විනිවිද පෙනෙන සුළුභාවයකින් යුත් ක්‍රමවේදයක් නැත.

ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ නීතිපතිගේ විමසීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරවීම දෝෂ සහගත බව ය.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් බරපතල විෂමතා පවතී.

බොහෝවිට නීතිය ක්‍රියාත්මක කරවන ආයතන කටයුතු කරන්නේ නීතියේ නිසි ක්‍රියාදාමය නොතකා හරිමිනි. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ අවම උනන්දුවකි.

වරදකරුවන්ට දඩුවම් නොදී නිවැරැදිකරුවන් සිරගත කිරීම බරපතල අසාධාරණයකි. එනිසා රාජ්‍යය මහන්සි විය යුත්තේ සාධාරණ යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ය. රාජ්‍යයක යුක්තිය ඉටුකරන ආයතන පද්ධතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක නොවීම ඒ රාජ්‍යයේ පිරිහීමට හේතුවකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වලින් දූෂිත ම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි කියැවේ. එවැනි ආයතනයකට තීරණාත්මක බලයක් ලැබෙන පරිදි පනත් වලින් නීති ප්‍රතිපාදන නියම කර තිබීම අගතිගාමී ය. එ් අගතීන් පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා සලකා බලන පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට නොගැනීම කනගාටුදායක ය. අවසානයේ දී පුරවැසියන්ගේ මානව අයිතීන් උදුරා ගැනීම ඉවසීමට අධිකරණයට හා ව්‍යවස්ථාදායකයට සිදුව තිබේ.

ලෝකයා අප දෙස බලා හිඳිමින් අපේ අශ්ලීල කටයුතු වලට සමච්චල් කිරීම තවදුරටත් ජාතික රාජ්‍යය සංකල්පය තුළ හිදිමින් නොතකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු විදේශ රාජ්‍යයන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් විය හැකිය.

එවැනි මැදිහත්වීම් හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ශිෂ්ටත්වය හා අචාරශීලී බව අතිශයෙන් වැදගත් වේ. එසේම රට තුළ පුරවැසියන්ට උරුම කර දී ඇති මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ද වැදගත් වේ.

රාජ්‍ය හැසිරෙන්නේ පුරවැසි හිමිකම් උදුරා ගන්නා මැරවරයකු ලෙසින් නම් ඒ රාජ්‍යය දෙස එක්සත් ජාතීන් හෝ විදේශ රාජ්‍ය හෝ යහපත් ලෙස නොබලන බව ස්ථිර ය.

ඒ නිසා විදේශ රාජ්‍යයන්ගේ හා එක්සත් ජාතීන්ගේ විමසිල්ලට ලක්ව ඇති මොහොතක ශ්‍රී ලංකාව කළ යුත්තේ තමන්ගේ මර්ධනීය ප්‍රතිපත්ති අහෝසි කිරීමත් අභ්‍යන්තර රාජ්‍ය පාලන ආකෘතිය ප්‍රජාතන්ත්‍රකරණයට ලක් කිරීමත් ය.

අදහස්