හීන් සැරය | සිළුමිණ

හීන් සැරය

 

හාතවාරිය වැල සුදු පැහැ සියුම් මලින් මුළුමනින් ම වැසී තිබේ. එතෙමින්, වරෙක මල් පිරි ලතා එල්ලා වැටෙමින් හාතවාරිය වැල, ජම්බු ගස හා සහයෝගීව පරිසරයට අමුතු ම සුන්දරත්වයක් නිර්මාණය කර තිබේ. කුඩා සුදු මල් අතරින් මලට ඉඩ දීමට මෙන් හාතවාරිය පත්‍ර පිහිටා ඇත්තේ තැනින් තැන ය. මල් පිරි වැල් සුළඟට ලතාවත් ව පැද්දෙන්නේ විටෙක පැණි බොන බඹරුන් ද සමඟ ය. සුදු මල් හා සරි සරි ව වරෙක රතට රතේ දිලුණු ජම්බු මැවූ චමත්කාරය තවමත් ම සිතෙන් නික්ම ගොස් නැත. එදා මිදුල පුරා පිපුණු නේක වර්ණිත මල් පරදමින් මුළු උයන ම අලංකාර කළ රත් ජම්බුත්, හාතවාරිය මලුත් බඹරුන්ට පවා පාර වැරැද්දුවේ ය.

හාතවාරිය මල් අතරින් ම මතු වූ කුඩා චලනයකින් ම සිත තිගැස්සුණි. විමසිලි දෑසින් බලන කල ඒ චලනයේ හිමිකරුවා වූ කටුස්සා දැක ගන්නට අපහසු වූයේ නැත. සිය කුඩා හිස වනමින්, පරිසරයේ වන කුඩා ම සෙලවීමට මෙන් ම ශබ්දයට ම කන් දෙමින් ඌ මල් කරා එන කෘමීන් ගැන ඇහැ ගහගෙන සිටියේය. සියුම් තීක්ෂණ හැසිරීම නිසා ම ඌ පරිසර සාධකයක් ම වූයේ වී විනා එයින් වියුක්ත වූයේ නැත.

ඇයි දන්නෙ නැද්ද, අලින්ගේ අපේ කැරුම් නොවැ?

මතකද ඔබට, මේ ප්‍රකාශය වරදවා වටහා නොගනු මැනවි. මේ වර්තමාන දේශපාලන කතන්දරයක් නම් නොවෙයි. පාසල් පෙළ පොත් දරුවන් අතර කෙතරම් ජනප්‍රිය ද, ඒ හා සමානව ම දරුවන් අතර එකල ජනප්‍රිය ව තිබූ පොතක එන කියුමකි ඒ. කුඩා කලට වඩා මෙකල කියවන සෑම වාරයක් ම පාසා නනරුත් සපයන මේ මාහැඟි ග්‍රන්ථය "හීන්සැරය" යි. ළමයින් අරමුණු කරගෙන ලියූවත් මෙහි වැඩි අරුත් ගන්නේ වැඩිහිටි පරපුර ය. එසේ කියා දරුවන්ට මෙහි අර්ථයක් නැතැයි කිව නොහැකි ය. මෙකල හැදෙන බොහෝ ළමා චිත්‍රපටවල මෙන් දරුවන්ට කුමන හෝ අරුතක් සම්පාදනය නොකළත් ළමයින් යොදා තැනූ හෙයින් ම ඒවා ළමා චිත්‍රපට වූවා සේ මේ පොත් නිකම්ම නිකන් ළමා පොත් වූයේ නැත. ඒවායේ හීන් සැරේ ම අඩංගු වූ මහ සැරයක් තිබිණි. කුමාරතුංගයන්ගේ හීන්සැරයත් ඒ වගේ ය. ඇත්තට ම එය මහ සැරයකි.

පෙර සඳහන් කළ වැකිය අසන්නේ ගෝණහාමි ය. පිළිතුරු දෙන්නේ කටුසුහාමි ය. මහා කුණාටුවකින් වනයේ දැවැන්ත ගස් ඇද වැටීම අලි රාලහාමිට පවා අදහාගත නොහැකි ය. අලි රාලහාමි තම මඟ පාදා ගන්නේ, ඉදිරී වැටුණු මහ ගස්වල අතු ඉති බිඳ දමමිනි. කටුස්සා, ගෝණකු ඇසූ පැනයට, අර වැනි ජේත්තුකාර උත්තරයක් දෙන්නේ, අලියා විසින් ම බිඳ දමන ලද අත්තක සිට ය. කටුස්සාගේ කටමැත දෙඩවීම ගැන අලියා පයිසයකටවත් ගණන් ගන්නේ නැත. එහෙත් සිය හාමිනේ ගැන කටුස්සා මතක් කළ විට අලියාට නොසෑහෙන්නට තරහ ගියේය.

‘‘හඃ හඃ හා දුටු කල්, ආයුබෝවන් රාලහාමි, කොහොමද හාමිනේගේ සැප සනීප?’’

මූ කියවන්නේ තමන්ගේ තරමට දැයි සිතා අලි රාලහාමිට කේන්ති යෑම අරුමයක් නොවේ ය.

හීන්සැරය, මහ සැරයකට වඩා දරුණු බැව් අලි රාලහාමි දැන නොසිටියේ මුත් හිවල් හාමි දැන සිටියේ ය. කපටිකම්, නොපනත්කම් එක තැනකට එක්වීම අරුමයක් නොවේ. ජනවහරේ මේ ගැන කියවෙන්නේ ‘‘එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ ය’’ කියා ය. නරකට නරක ම එකතු වෙනවා විනා හොඳ එකතු වන්නේ කලාතුරකිනි.

‘‘හිවල් හාමි මා එකක් කියනවා, ළඟදී දවසක අලි රාලහාමි මහ හඬ දීගෙන කැලෑව බිඳගෙන දිව්වේ නැත්නම්, මුගේ නම කියන්නට එපා... මගේ හීන්සැරයත් ඔහුට ටිකක් පෙන්නා බලන්නට ඕනෑ.

හීන්සැරේ අනෙකාට රිද්දන, වත්මන් වහරට අනුව නම් ‘‘ගේම්’’ දෙන පිරිස් අද පමණක් නොව එදා ද සිටියේ ය. ඒ ‘‘ගේම්’’ වෙනුවෙන් බොහෝ කලෙක සිට හීන් සැරෙන් සූත්තර ගොතන්නෝ ද බොහෝ වූහ; වෙති.

කටුසුහාමි කී ආකාරයට ම කටයුතු සිද්ධ වී අවසානයේ අලි රාලහාමි මෙල්ල වුණේ ය. කටුස්සා විසින් මෙල්ල කළේ අලියා පමණක් ම නොවේ. කොටියාගේ ඇස ද, කන ද, කිහිල්ල ද සපා කා කොටියා මෙල්ල කළේ ද කටුස්සා විසිනි. හීන්සැරය ඒ තරම්ම බලවත් ය. උපාය දන්නෝ හීන්සැරේ බලය වියමන් කරන්නේ එබැවිනි.

හොඳ පොත්වල බොහෝ දෑ සඟවා තිබේ. ඒවායේ ඇත්තේ විස්මිත ලෝකයකි. ඒ ලෝකය අදට නොව සියවස් ගණනකට වුව ජීවත්වන්නට උගන්වන්නේ ය.

උම්මග්ග ජාතකය නැවත කියවා බලනු මැනවි. එහි කකණ්ටක ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කළහොත් එහි කියැවෙන්නේ ද කටුස්සකු ගැන ය. එහි කටුස්සා හැඳින්වෙන්නේ "බොහොඬා" නමින් ය. කකණ්ටක ප්‍රශ්නයේ එන මානය කරණකොටගෙන ක්‍රියා කළ කටුස්සා මෙන්ම හීන්සැරයට හීන් සැරේ රිංගා ගත් කටුස්සා ද දෙවිදියක පාඩම් සාහිත්‍ය ලෝකයට ගෙන එන්නේ ය.

වඩා සාර්ථක හීන්සැරය ද, එසේත් නැත්නම් මුහුණට මුහුණ සටන් කිරීම ද යන්න සෙවීම අප අරමුණ නොවේ. සර්වකාලීන බවත්, සර්ව භෞමික බවත් ඒත්තු ගැන්වෙන සිද්ධි සමුදායක් ම පසුගිය කාලයේ සිදුවුණු බැවින් රන්සුනු සොයන අපට හීන්සැරය මතක් වීම අරුමයක් නොවෙයි. හැබැයි හීන්සාරය අත්හදා බැලීම නම් ඔබ සතු ය.

 

[email protected]

අදහස්