ඉදිරි ඡන්දවලදී කුළල් කා නොගෙන ජාතික න්‍යාය පත්‍රයකට කැපවෙමු | සිළුමිණ

ඉදිරි ඡන්දවලදී කුළල් කා නොගෙන ජාතික න්‍යාය පත්‍රයකට කැපවෙමු

අප අත්විඳි කටුක අද්දැකීම්වලින් තොර යහපත් දේශයක් අනාගත පුරපුරට උරුමකර දීම සඳහා අප යුගයේ ප්‍රශ්න අප විසින්ම විසඳා ඉදිරි පරපුරට නිරවුල් සමෘධිමත් රටක් භාරදීමට ඇති වගකීමෙන් මිදීමට කිසිදු නායකයෙකුට නොහැකි බවත්, ඉදිරියේදී මැතිවරණ මාලාවක් එළඹෙද්දී සුපුරුදු දේශපාලන කුළල් කාගැනීම්වලට යනවාද නැති නම් මෙතැන් සිටවත් පොදු ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැප වනවාද යන්න තීරණය කළ යුතු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

කරු ජයසුරිය මහතා ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පසුගියදා පැවැති “බසවඩමු - හද දිනමු” ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ ජාතික දින සැමරුම් උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

‘සහෝදරත්වයේ පාලම බවට භාෂාව පත් කරගත යුතුව ඇතැයි යන වැදගත් කථිකාවක් තිස් වසරක යුද්ධයෙන් පසුව නිර්මාණය වුණා. එය පදනම් කරගනිමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වූ නමුත් වර්තමානයේ එය වඩාත් ශක්තිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙන යෑමට විෂයභාර අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමන් කැපවී සිටිනවා.’ යැයි ද කථානායකවරයා එහිදී පැවසීය.

Comments