‘ලීසිං’ සමාගම්වලට ‘සීසිං’ වාරණයක් | සිළුමිණ

‘ලීසිං’ සමාගම්වලට ‘සීසිං’ වාරණයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වාහන කල්බදු වාරික ගෙවීමට නොහැකි වූ සංචාරක ක්ෂේත්‍රයේ හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වාහන අත්පත් කරගැනීම වහා නතර කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය හා කල්බදු සමාගම්වලට දැනුම් දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය හා සෙසු ව්‍යාපාරික සංගම් 30ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ‍දුන් උපදෙස් මත මහ බැංකුව මේ දැනුම්දීම සිදු කොට ඇත.

මෙලෙස බදු වාරික ගෙවීම අතපසු කළ අයගේ වාහන අත්පත් කරගෙන අංගණගත කර තැබීමෙන් කිසිදු ව්‍යාපාරයක දියුණුවක් ඇති නොවන බව මේ සාකච්ඡාවේදී අවධාරණය කළ කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා එසේ නොකොට මේ වාහන කුමන හෝ ආර්ථික කටයුත්තක නියැළීමට ඉඩ දුන හොත් යහපත් ප්‍රතිඵලයක් අත් කරගත හැකි බව පෙන්වා දී තිබේ. සංචාරක, ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාද මෙහිදී ඒ සම්බන්ධ කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

Comments