ආදර මධුර අතීතේ ජෝති 32 වැනි සැමරුම | සිළුමිණ

ආදර මධුර අතීතේ ජෝති 32 වැනි සැමරුම

ජෝති ගෙදර හිටිය කෙ‍ෙනක් නොවුණත් එයා නැති වුණාම මට පාළුව, තනිකම දරාගන්න බැරිවුණා

ඩැඩා වෙනුවෙන් සංවිධානය කරන උත්සවවලට මමී එක්ක අපිත් එන්න කැමතියි

ජෝති සල්ලි හම්බ කරලා ඉතුරු කළේ නෑ. ඉතුරු කරන්න මිනිස්සු දුන්නෙත් නෑ. මැරෙන්න කලින් අන්තිම කාලේ මා එක්ක ලෝකෙ ගැන ගොඩක් දේ කතා කළා. ඒ හින්දා මට නැති වුණාම හරිම පාළුවක් තනිකමක් දැනුණා. ඒත් මම මගේ දුවලා හතර දෙනා හොඳට හදාගත්තා. ඉගැන්නුවා. දැන් මට අවුරුදු 80 ක්. මිත්තනියක්. දුවලා පිටරට වුණත් මට ළෙන්ගතුයි. එයාලා ඉංග්‍රීසි පන්නයට හැදුණට මොකද තාත්තටත් ආදරෙයි. ඒත් ජෝතිව බීමෙන් නතර කරගන්න බැරි වුණා. එයාගේ දෙමවුපියොත් කොච්චර උත්සාහ කළා ද බීමෙන් නවත්තගන්න.”

අතීතය ගැන සිහි කරද්දී ප්‍රශ්න ගැටුම් නැත්තෙ කාටද කියලා හිතෙනවා. කලින් කලට ඇතිවෙනවා. නැතිවෙනවා. ඕවා ඔහොම තමයි. කාලයක් මම පිටරට හිටියා. දැන් ලංකාවේ. එහේ ඉන්න, දුවලත් නිතරම මට කතා කරනවා. ගෙදර ඉන්නවා වගේ තමයි. මුනුපුරු මිනිපිරියොත් එක්ක මම දැන් සතුටින්. පල්ලියටත් ඉඳහිට යනවා. ජෝති වෙනුවෙන් සංවිධානය කරන ගුණ සමරු වැඩසටහන්වලට මට එන්න කීවොත් ආරාධනා පිළිගන්නවා. අනුන්ට කරදරයක් නැතුව ජීවිතේ ඉතුරු ටිකත් හොඳින් ජීවත්වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. වින්ටර් බ්ලොසම් මහත්මිය තවදුරටත් කීවාය.

ජෝතිපාලයන්ගේ දෙවන දියණිය ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය තාත්තා පිළිබඳ මතකය ආවර්ජනය කළේ මෙ‌ෙස්ය.

“අනිත් හැම ළමයෙක්ගෙම තාත්තා වගේ තමයි. අපිට අපේ තාත්තත්. එච්.ආර්. ජෝතිපාල නම් අසහාය ගායකයාගේ දරුවෝ කියලා හුඟක් අය අපව හඳුනගන්නවා. ඉස්සර කාලේ මේ කාලෙට වඩා හුඟාක් වෙනස්. සංගීත සංදර්ශන තිබුණේ රෑට. මහන්සියට තාත්තා උදේට ටිකක් නිදාගත්තත්, දරුවෝ එක්ක ගත කරන්න කාලේ නැති වුණේ නැහැ. දරුවන්ට යුතුකම් ඉටුකළා. අපේ පාසල්වලටත් ආවා. ඒත් එහෙම ආවාම පාසල්වල අනිකුත් රාජකාරි අඩපණ වෙනවා තාත්තගේ විස්තර, සිංදු අහන්න ගියාම, ඒ නිසා පාසල්වල රාජකාරි අම්මට බාරදුන්නා.

තාත්තගේ ගීත අනිත් අය කියන්දි දුක හිතු‌ෙණ නැද්ද? තරහා ආවද?

අපිට හරියට කේන්ති ගියා එච්.ආර්. සොයිසා ඒ වගේ කෙනෙක්. ඒත් ඩැඩා, හරිම හිත හොඳ කෙනෙක් ඒ අයට වෛර කරන්න, පළිගන්න ගියේ නැහැ. ඒ කාලේ ලංකාවේ නොම්මර එකේ සුපර් ස්ටාර් ඩැඩා තමයි.

තාත්තාගේ විනෝදකාමී ජීවිතය නිවසේ කටයුතු වලට බාධාවක් වුණාද?

ඒ කාලේ තාත්තා විතරක් නෙමේ හැම ගායකයෙක්ම විතරක් නෙමෙයි සමහර ගායිකාවොත් බිව්වා. ඒත් අපේ තාත්තා. අපි ඉන්න තැන එහෙම ක‌ෙළ් නැහැ. ආච්චිට සීයට ගරුකළා. දවසක් සීයා ඉස්සරහට එද්දී තාත්තා දුම්වැටිය විසිකළා මම දැක්කා. ඒ වගේම තමයි බිව්වට කවදාවත් කවුරුත් සමඟ රණ්ඩු කළේ නැහැ.

අපි කලක් මරදාන නොරිස් කැනල් පාරේ අයිරාංගනී වර්ණකුලසූරිය අපේ නැන්දලගේ ගෙදර හිටියා. අපි ලොකු වෙද්දි ඩැඩා බොන්න එපා කියලා අපි ඩැඩාට කීවා. එයාට බෙන්ස් කාරෙකක් පවා තිබුණා. ඒත් ඩැඩා අනිත් ගායකයන් සමඟ බස් එකේ එකට ගියේ. ඒ හැමෝටම තමන්ට ආවේණික අනන්‍යතාවයක් තිබුණා. ඒත් හරිම එකමුතුවක් තිබුණේ.

 

පවුලට පිරිමි දරුවෙක් හිටියානම් කියලා හිතෙන්නෙ නැද්ද?

හිටියනම් හොඳයි තමයි, ඒත්. අද ගායක ගායිකාවන්ගේ එක දරුවෙක් හරි ඉන්නවද තමන්ගේ අම්මා තාත්තා අබිබවා ගිය දක්ෂතා තියන අය.

අපි වුණත් ගීත ගායනා කරනවට ඩැඩා කැමති වුණේ නැහැ. අපිව තාත්තගෙන් වෙන් කරලා තිබ්බෙත් අපේම ආරක්ෂාවට, නිතරම පිරිමි ගෙදරට එන නිසා. අපි හතරදෙනාට ලස්සනට ජීවත්වෙන්න ඩැඩා ඉඩ හදලා දුන්නා. මමී ඩැඩාට බණිනවා තමයි බොනවා කියලා. ඇය දැන් අසනීප තත්වයෙන් ඉන්නේ. ඩැඩා නැති අඩුව පුරවන්න බෑ. ඩැඩා දිගටම අපි ළඟ නොසිටියත්. අපි අනිත් ළමයිට වඩා වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

තාත්තා නැතිවුණ දවස ගැන සිහිකළොත්....

අනිත් අයට දැනෙන දුක තමයි අපිටත් දැනුණේ. ඩැඩා ප්‍රසිද්ධ කෙනෙක් නිසා මිනිස්සු අපිට හොඳින් සලකනවා. ගරුකිරීමක්. කරුණාවත් තියනවා. ඩැඩා නැතිවෙලා අවු 32 ගිහින් වික්ටර් අංකල්ලා දකිද්දී අපිට ඩැඩා මතක්වෙනවා. ඩැඩා කතරගම ගම් උදාවට ගිහින් සින්දු කියාගන්න බැරුව මැරුණා කියලා සමහරු කීවාට. ඩැඩා නවලෝකෙ බෙහෙත් ගනිද්දි ඩොක්ටර්ස්ලාගේ අනුමැතියවත් නැතුවයි සින්දු කියන්න ගියේ. ඒත් අනිත් අය වගේ වයසට ගිහින් දුක්විඳලා මැරුණේ නැහැ.”

එච්.ආර්.ජෝතිපාලගේ බාල දියණිය රෙජිනා ද ‌ෙම් කතාබහට එක් වූවාය.

අපි පොඩිකාලේ ඩැඩා ඉස්කෝලෙට ආවා. යුතුකම් ඉටුකළා. ඩැඩා වගේ කෙනෙක් ලබන්න අපි පින් කරලා තිබුණා. කියලා බෞද්ධ දර්ශනයට අනුව හිතෙනවා. ඒත් මම රෝමානු කතෝලික. බොන එක නම් කවුරුත් කරනවානේ.

පහු ක‍ාලේ තාත්තාගෙන් දුරස්ව තමයි

ජීවත්වෙන්න වුණේ.?

අපි ගෙවල් දෙකක හිටියේ, ඩැඩා කැමති වුණේ නැහැ. පිරිමි අය නිතරම ගෙදරට එනවට, ගැහැනු ළමයි හතර දෙනෙක් ඉන්න තැනකට.

ඒත් වෙන් වෙලා හිටියත් අපිට යුතුකම් ඉටුකළා. අඩුපාඩු හොයලා බැලුවා. ඩැඩා බො‍හොම ගුණ යහපත් කෙනෙක් අනවශ්‍ය වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මිනිස්සු එයාට හරිම ආදරේ ඒකනේ. ඩැඩා වෙනුවෙන් සංවිධානය කරන උත්සවවලට මමී එක්ක අපිත් එන්න කැමතියි.

නිශානී හේරත් බන්නැහැක

3 පිටු‌ෙවන්

 

Comments