ආදර මධුර අතීතේ ජෝති 32 වැනි සැමරුම | සිළුමිණ

ආදර මධුර අතීතේ ජෝති 32 වැනි සැමරුම

ආදර මල් පවනේ ඔහු ගිය ඒ ගමනේ...

ජෝතිපාලගේ ගීත සම්ප්‍රදානයෙහි අගය, වටිනාකම අද දවසේ ද නොනැසී පවතින බවට සාක්ෂි සපයන්නේ වර්තමාන රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ තරුණ ගායන හැකියාවන් සොයා ගනු වස් පවත්වන රියැලිටි සංගීත ප්‍රසංග සඳහා ඉදිරිපත් වන්නන් බහුතරයක් විසින් එච්.ආර්.ජෝතිපාල එදා ගැයූ ගීතම තෝරාගැනීම මඟිනි.

ඔහු තම දිවි සැරිය නිමා කළේ වසර අඩ දශකයකට මඳක් වැඩි මොහොතකය.1936 පෙබරවාරි 12 දා ලොව දුටු එච්.ආර්. ජෝතිපාල ලොව හැර ගිය 1987 ජූලි 07 වන දා වන කල, දිවි සැරියේ අඩ සියවසට එක් වසරක් එක් වූවා පමණි. අඩ සිය වස් දිවි සැරියේ දශක තුනකටත් වඩා වැඩි කාලයක් ඔහු තම මධුර හඬින් දහස් සංඛ්‍යාත ශ්‍රාවක ජනතාවක් පින වූ ගායකයා ලෙස මෙරට සංගීත වංශ කතාවෙහි සටහන් වී ඇත්තේ කිසිදා බිඳ නොහැකි වාර්තාවක් ලෙසිනැයි හැඟේ. ඔහු ජනතාවගේ ගායකයාය.

විශාරද පණ්ඩිත් අමරදේව වැන්නෙක් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ගායකයා විරුදාවලියට හිමිකම් කියන්නේ නම්, ජනතාවාදී ගායකයා ලෙස විශාරද ගුණදාස කපුගේ ස්මරණය කරන්නේ නම්, ශ්‍රි ලංකාවේ එදා මෙදා තුර ජනප්‍රියම ගායක කිරුළ දරා සිටින්නේ එච්.ආර්.ජෝතිපාල බව අවිවාදාත්මකය.තරාතිරම, උගත්කම, සමාජ, දේශපාලන පසුබිම කුමක් වුව සෑම ස්ථරයකම ජනතාවගේ හදවත්හි සදා නොමියෙන නාමය බවට පත්ව ඇත්තේ ජෝතිගේ නාමය බව කීමට අලුතින් කිසිදු සාක්ෂියක් අවශ්‍ය නොවේ.හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් ඔහුගේ මුලකුරු වන එච්.ආර්. යන්න සඳහා හදවත රත්තරන් ජෝතිපාල යනුවෙන් ඔහුගේ රසිකයන් විසින් අර්ථ ගන්වා ඇත්තේ සැබැවින්ම ඔහු පොදු ජනතාවගේ ගායකයා නිසාම බව අවධාරණයෙන් සටහන් කළ යුතුය.වියොවින් වසර තිස් දෙකක් ගත වී යෙදෙන අද වැනි දිනෙක අපට ඔහු සිහිපත් වන්නේ, අප විසින් ඔහු ගේ නාමය සිහිපත් කරනු ලබන්නේ සිංහල ගීත ක්ෂේත්‍රය තුළ ඔහු විසින් ඉතිරි කොට ගොස් ඇති ගීතාවලියේ ඉමිහිර, මධුරතාව නිසාම ය.

එච්.ආර්.ජෝතිපාල චිත්‍රපටයක් සඳහා ප්‍රථම වතාවට ගීතයක් ගයා ඇත්තේ සිරිසේන විමලවීරගේ චිත්‍රපටයකට වූව ද, කුමන හෝ බාහිර බලවේගයක් නිසා අපට ඒ ගී හඬ ඇසෙන්නට නොලැබේ. එහෙත් 1956 තිරගත වූ සිරිල් පී අබේරත්නගේ සුරතලී චිත්‍රපටය සමග, ප්‍රධාන චරිතය රඟ පෑ සුකුමාර නළුවා, ආනන්ද ජයරත්න චිත්‍රපටයට ගායනා කළ සිරියා මෙ සාරා නැගේ හද මෝරා ගීතය සමග අපට ඒ නැවුම් හඬ අසන්නට ලැබිණ. ඒ කවරෙකුගේවත් හඬ නොව, දශක ත්‍රයකට වඩා වැඩි කාලයක් සිංහල ගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම සිංහල චිත්‍රපට ගීතයේ හඬ පෞරුෂය ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි විශිෂ්ට සංගීතඥයන් විසින් පවා පිළි ගනු ලැබූ ගායක ජෝතිපාලගේ හඬය.

තිරයට උචිතම කටහඬ සතු වූ ගායකයා ලෙස පිළි ගැනුණු එච්.ආර්.ජෝතිපාල ගේ පසුබිම් ගායනා මෙරට සිනමාවේ ප්‍රධාන නළුවන් සියල්ලන්ගේම රංගනය හා අපූරුවට සුසංයෝගී වූ බව නොරහසකි.එඩී ජයමාන්නගෙන් පටන් ගෙන, බොනිෆස් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු,ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා,රෝයි ද සිල්වා,විජය කුමාරතුංග, සනත් ගුණතිලක, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය,ජෝ අබේවික්‍රම, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරෙන්ද්‍ර, ආදීන් පමණක් නොව රංජන් රාමනායක, කාංචන කොඩිතුවක්කු, සෂි විජේන්ද්‍ර හා ලාල් වීරසිංහ වැනි මෑත පරපුරේ නළුවන් ගේ රංගනයට ද ජෝතිගේ පසුබිම් ගායනා අමිල දායකත්වයක් ප්‍රදානය කොට ඇති බව එම චිත්‍රපට ගී ඇසෙන ඕනෑම මොහොතක අපට නිතැතින්ම ඒත්තු යයි.පණ්ඩිත් අමරදේව, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක,ආර්.මුත්තුසාමි,ටී.ආර්.පාපා,පී.එල්.ඒ.සෝමපාල,ෂෙල්ටන් ප්‍රේමරත්න, පී.වී.නන්දසිරි,ටී.එෆ්.ලතීෆ්,එම්.එම්.ඒ.හක්,ආචාර්ය වික්ටර් රත්නායක ආදී සංගීතඥයන් ගේ ගී තනු හා සංගීතයට පසුබිම් ගී ගැයූ ජෝතිපාලගේ චිත්‍රපට ගීතාවලිය ඉතා දිගුය. ඉන් බහුතරය ජනප්‍රිය ගීතය.

කරුණාරත්න අබේසේකර ප්‍රධාන කොටගත් ගේය පද රචකයන් රැසකගේ රචනා ජෝතිගේ ගීතාවලියෙහි හමු වේ. අරීසෙන් අහුබුදු, ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත, හර්බට් එම්.සෙනෙවිරත්න, චිත්‍රානන්ද අබේසේකර, සෝමපාල ලීලානන්ද, හා තවත් බොහෝ ගේය පද රචකයන්ගේ රචනා ජෝතිගේ හඬින් අර්ථ ගැන්වී ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සංදේශය චිත්‍රපටයට ජෝතිගේ ගායනාව එක් වූ පුරුතුගීසිකාරයා අද දවසේත් ගීත ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය ගීතයක් වන අතර, එහි තනුව නිර්මාණය කළ සුනිල් සාන්ත, ගේය පද රචනා කළ අරීසෙන් අහුබුදු, සංගීත නිර්මාණයෙන් දායක වූ ආර්. මුත්තුසාමි වැන්නන් සමග ජෝතිගේ චිත්‍රපට ගායන චාරිකාව ඇරැඹී තිබීම ද විශේෂත්වයකි.

චිත්‍රපට ගීයකට අවශ්‍ය ජවනිකානුරූපී ගායනයට අවශ්‍ය පුරුෂ හඬ පෞරුෂය එච්.ආර්.ජෝතිපාලට තරම් අන් කවරෙකුට හෝ තිබිණැයි සිතීම අසීරුය. ආචාර්ය කේමදාස සංගීතවත් කළ, ධර්මසිරි ගමගේ රචනා කළ,විජය කුමාරතුංග, බියුලා ඩයස් ගේ රූපණ ජවනිකාවට අතිශයින්ම ගැළපුණු ජෝතිගේ හඬ, ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ ගීතය සමග ඔහුගේ ගීතාවලියෙහි එක් කඩඉමක් සටහන් කර ඇතැයි සිතේ.සරත් දසනායකගේ සංගීතයෙන් වර්ණවත් වූ කස්තුරි සුවඳ වැනි චිත්‍රපටයක ඇන්ජලීන් ගුණතිලක ගායිකාව සමග ගායනා කළ යුග ගායනා ජෝතිපාල නම් වූ ගායකයා ගේ ගායන පෞරුෂය මොනවට ඔප්පු කරන්නේ ද?

ජෝතිපාලගේ මුල් කාලීන බොහෝ ගීත හින්දි තනු අනූකරණය ඇසුරින් නිර්මාණය වූ ගීත වීම නිසා ඔහුගේ ගායන කුසලතාවට වූ හානිය අති විශාලය.එබඳු ගීත සඳහා ඔහුට ගේය පද රචනා කළ ජ්‍යෙෂ්ඨ රචකයන්ට පවා හින්දි ගී තනු සඳහා සිංහල වචන ඔබන්නට වූ පුරුද්දෙන් මිදීමට නොහැකි වූ නිසා ජෝතිපාලගේ ගායනය පිළිබඳ සැබෑ චිත්‍රයක් අසන්නන් හමුවේ නො ඇඳුණ ද, පසු කාලයේ කරුණාරත්න අබේසේකර විසින් රචනා කරන ලද නිර්මාණාත්මක ගේය පද රචනා නිසා ජෝති යනු අනුකාරක හින්දි තනු සහිත ගීත ගායනා කරන්නෙක් නොවේය යන්න මනාව ඔප්පු කර සිටීමට සමත් වීය.

දිය පොදක් වෙමින් තොල් වියැළෙන පිපාසෙට නම් වූ සරල ගීතය ජෝතිගේ ගායනයට එල්ල වී තිබුණු චෝදනාවන්ට ප්‍රබල පිළිතුරක් ලෙස හඟිමි.ඔහුගේ ගායන පරාසය පිළිබඳ අන් කවර සාධක ඉදිරිපත් කළ යුතු දැයි නො දනිමි. සරල ගීතයෙහි, සිනමානුරූපී රූපණ සඳහා උචිත පසුබිම් ගායනයෙහි මතු නොව, ප්‍රසාංගික වේදිකාවෙහි ද ගායකයෙකු ලෙස ජෝතිපාල බැබළුණේ ඔහුගේ හඬ පෞරුෂය මෙන්ම කායික පෞරුෂය ද නිසාම බව දැනේ.

ජෝතිපාලගේ ගීත සම්ප්‍රදානයෙහි අගය, වටිනාකම අද දවසේ ද නොනැසී පවතින බවට සාක්ෂි සපයන්නේ වර්තමාන රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ තරුණ ගායන හැකියාවන් සොයා ගනු වස් පවත්වන රියැලිටි සංගීත ප්‍රසංග සඳහා ඉදිරිපත්වන්නන් බහුතරයක් විසින් එච්.ආර්.ජෝතිපාල එදා ගැයූ ගීතම තෝරා ගැනීම තුළිනි. එම ගී ගයමින් සුපර්ස්ටාර්ස් කිරුළ පැළඳීම තුළිනි.ඔහුගේ වියොවින් පසුව මෙරට විචාරකයන් අතර ජෝතිගේ ගායනා මුල් කොට ගත් ප්‍රබුද්ධ පීචං නම් වූ විවාදය, කතිකාව තුළින් ද ගම්‍ය වන්නේ ජෝතිපාලගේ අතුල්‍ය ගායන විලාශය මෙරට ශ්‍රාවක ගීත රස වින්දනය කෙරෙහි බලපෑමක් ඇති කොට ඇති බවයි.

ආදර මල් පවනක පාවී ගිය ජෝතිපාල නම් වූ ආදරණීයයාණෙනි. ඔබේ කටහඬ තවම මතකයි. එදා මෙන්ම අදත්. හැමදාටමත්, ඒ හඬ අප සවන් සනහයි. මුසපත් කරයි. කිසිදා මැකී නොයෙයි.

බුද්ධදාස ගලප්පත්ති

 

 

Comments