ජෝති ආදරණීය තාත්තා කෙනෙක් | Page 2 | සිළුමිණ

ජෝති ආදරණීය තාත්තා කෙනෙක්

රටක් සැනසූ ළයාන්විතයාගේ ආදරණීය බිරිය වින්ටර් බ්ලොසම් මහත්මිය අතීතය ආවර්ජනය කරයි.

විශිෂ්ට මිනිසුන් මිය යන්නේ නැත.ඔවුහු නාම ශේෂභාවෝපගත වෙති. එච්.ආර්. ජෝතිපාල නම් විශිෂ්ට ගායකයා ද එසේ ය. කය මෙලොව නැති වුව ද ඔහුගේ හඬ මේ ශ්‍රී ලංකා ධරණි තලය තුළ නිබඳවම රැව් පිළිරැව් දෙන්නේ ය.

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට..‍.

නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට‍...

පිපි මලක් වුණා මල් නොපිපුණු තඩාගෙට...

ඔබ අගෙයි ළ‍ඳේ හෙට අදටත් වඩා මට...

 

යුග යුග ගණනක් සුවහසක් රසික ජන හදවත් සංගීතයෙන් අමන්දානන්දයට පත් කළ එච්.ආර්. ජෝතිපාලයන් මියගොස් මෙම ජූලි 07 දිනට වසර 32 ක් සපිරේ. ජීවත් වූවා නම් මේ වසරේදී සැමරෙන්නේ 83 වැනි ජන්ම දිනයයි. 1936 පෙබරවාරි 12 දින ඉපදී 1987 ජූලි 7 දින ජීවිතයෙන් සමුගත්තත් ජෝති මිය ගියා යැයි කිව නොහැක්කේ ඔහු මේ මොහොතේ පවා ගීතලෝලී හදවත්වල ජීවමාන වන නිසා ය.

කතරගම ගම්උදා භූමියේ සුවහසක් රසිකයින් පිනවමින්, පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය ගයමින් සිටියදී හෘදයාබාධයකින් මෙලොව හැර ගිය ජෝතිපාලයන්ගේ අවමඟුලට 15000 අධික පිරිසක් පැමිණ ඇත.

සුවහසක් ජන හදවත් මියුරු සරෙන් සැනසූ එච්.ආර්. ජෝතිපාලයන් අප අතරින් වියෝ වුවද ඔහුගේ වියපත් බිරිය දියණියක් සමඟ නාත්තන්ඩියේ ජීවත් වන්නීය. ඔහුගේ බිරිය වින්ටර් බ්ලොසම් මහත්මිය, බ්‍රිතාන්‍ය ජාතික පියකුගේ හා උඩරට හෙළ කාන්තාවකගේ මද්දුම දියණියයි. වරුණි විලෝචිනී, අයෝනි රෙජිනා, එස්ටර්, ක්‍රිෂ්ණි ජෝතිපාලගේ දියණියන් සිවුදෙනා ය.

දෙමාපියන්ට විරුද්ධව ජෝති සමඟ එක්වූ නිසා වින්ටර් බ්ලොසම් මහත්මියට ජීවිතයේ දුක් දරාගැනීමට සිදුවූයේ තනිවමය. දරුවන් සිවුදෙනා ලැබුණු පසු, ඇයට දෙමවුපියන්ගේ උදව් ලැබුණ ද විවාහයෙන් පසු ඇය ජීවත්වූයේ ජෝති සමඟ ගෙවල් මාරු කරමින් දෙමාපියන්ට හැංගි හොරා ජීවිතයකි. අතීතය ගැන වරෙක ඈට ඇත්තේ පසුතැවිල්ලකි. වරෙක සතුටකි. කෙසේ වුව ද එය තමාගේ දෛවය ලෙස සිත හදාගන්නට ඇය සමත් වී ඇත. බටහිර පන්නයට නැඹුරු ඉංග්‍රීසි භාෂාව කතා කරන 80 වියැති ඇය තම දියණියන් සිවුදෙනා නිසා සැනසීමෙන් ජීවත්වන්නීය. ඇය සිය සැමියා ජෝති ගැන මෙසේ සිහිපත් කළේ කලකට පසුව වීමද විශේෂත්වයකි.

“මම අවුරුදු විස්සක් විතර කැනඩාවේ හිටියේ දුවක් ළඟ. මෙහෙ ඇවිත් අවුරුදු 3 ක් විතර වෙනවා. මගේ තාත්තා එඩ්මන්ඩ් වින්ටර්. ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා උඩරට මැණිකේ කෙනෙක්. මම ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ වැඩ කරන කාලේ තමයි ජෝතිව හම්බ වුණේ.

මගේ මිතුරියක් හිටියා ෂර්ලි ෆනෑන්ඩු කියලා. එයාගේ පෙම්වතාගේ හොඳම යාළුවා තමයි ජෝති. අපේ සම්බන්ධෙට ඩැඩී තදින් විරුද්ධ වුණා. අම්මා තමයි ටිකක්වත් සැනසීමකට හිටියේ. ඩැඩීට හරියට ඉඩකඩම් තිබුණා. ජෝතිගේ යාළුවොත් එක්ක ගිහින් අපි කසාද බැඳලා තැන තැන ගෙවල් මාරු කර කර හිටියේ පප්පට අහුවෙයි කියලා. ජෝති දරුවන්ට හරි ආදරෙයි. ඒකනේ අපි දරුවෝ හතරක් ම හැදුවේ. ඒත් පුතෙක් නැහැනේ.

ජෝතිට හොඳ කටහඬක් තිබුණා. එයා යාළුවෝ එක්ක තමයි හැමදේටම ගියේ. ජෝතිට බොන්න දීලා ජෝතිව නැති කළෙත් යාළුවො තමයි. මුල් කාලේ අපිත් ගියා එයාගේ සින්දු අහන්න සංදර්ශනවලට. ඒත් පස්සෙ පස්සෙ මට දුවලා හතර දෙනෙකුගේ වැඩ පැටවුණා. පස්සෙ මගෙ ගෙදරින් උදව් කළා. දරුවන්ට කන්න බොන්න දෙන්න. උගන්නන්න. අනික ජෝතිගේ සහෝදරියෝ මගේ වැඩවලට උදව් වුණා. ඒ හින්දා ජෝති ගෙව්වේ නිදහස් ජීවිතයක්. මමත් එයාගේ පස්සෙ පැන්නුවේ නෑ. ජෝති හරි අහිංසකයි. වෙලාවකට පොඩි එකෙක් වගෙයි. මම ජෝතිට කෑගහද්දි මගේ අම්මත් මට බණිනවා ජෝතිට බණින්න එපා යක්ෂණියක් වගේ කියලා. මම වගේ ම දුවලත් වැඩිපුර අහන්න කැමැති ඉංග්‍රීසි සින්දු.

එයාගේ දෙමවුපියොත් කොච්චර උත්සාහ කළා ද බීමෙන් නවත්තගන්න.

 

 

Comments