ජෝති යළි අප අතර ඉපදේවා...! | සිළුමිණ

ජෝති යළි අප අතර ඉපදේවා...!

ප්‍රවීණ ගායන ශිල්පි ෆීලික්ස් ඇන්ටන්

එච්.ආර්. ජෝතිපාලයන් අපෙන් සමුගෙන අදට වසර තිස්දෙකක් සපිරෙයි. ගතවූ වසර තිස්දෙක පුරා ජෝතිගේ ගීයක් දිනකට එක් වරක්වත් හෝනෑසු කෙනකු නොමැති නිසාය. අතුපැලේ සිට මහා මන්දිරේ වෙසෙන ධනවතා දක්වා විසිරීගිය ඔහුගේ ඒ අසීමිත ළෙන්ගතුකම ජෝතිට උරුමවුයේ සියලු දෙන‍ාගේම අසහාය ගායකයා වූ නිසාමය. ‍ඔහුගේ හඬට පෙම් බඳිමින් පසුව ජෝ‍තිගේ කිට්ටුවන්ත සගයකු බවට පත්වෙමින් සිය අපූර්ව මිතුදමක අසිරිය කියාපාන ජෝතිගේ සමකාලීනයකු වූ ප්‍රවීණ ගායන ශිල්පියකු වු ෆීලික්ස් ඇන්ටන් රසඳුන සමඟ ‍ජෝති පිළිබඳ ඒ සොඳුරු මතකය අවදිකළේ මෙ‍ලෙසිනි.

ඔබට කොහෙ‍ාමද ජෝතිව මුණගැහෙන්නේ?

මම 1969 පමණ ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකයෙක් විදියට සේවයට බැඳුණේ.ඒ අවධිය වන වන විට ගුණදාස කපුගේ, රෝහණ බැද්දගේලා ගුවන් විදුලියට එනනිසා ඔවුන් එක්ක කිට්ටු ඇසුරක් තිබුණා.‍ පසුකාලීනව ජෝතිපාලයන්ද ගුවන් විදුලියට නිතරම වගේ ආවාගියා.ජෝතිව මට මුලින්ම මුණගැහෙන්නේ එහෙමයි.ඒත් මම ගායනට පිවිසුණ මුල් කාලයේදීම 1971 පමණ කාලයේ සිටම මගේ වාසනාවකට වගේ සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණා.ඉතිං ඒ ප්‍රසංග සදහා ජෝති, අපි බස් එකක් කතාකරගෙන එකට ගියේ.

සාමාන්‍යයෙන් ඔහුව මුණගැසුණම මොනවද කියන්නේ?

ජෝති හොඳට අඳින පළදින කෙනෙක්. ඔහු ලස්නනට ඇඳලා හැඩට ඉන්න හරිම කැමතියි. මට මතකයි මම මුණගැසුණම මාත් එක්ක වැඩිපුරම කතාකරන්නේ මචං හෙට ෂෝ එකට අඳින ෂර්ට් එක මොකක්ද කියලයි. ඒ තරමට ඔහු ලස්සනට අඳින්න කැමතියි.

ජෝති කියන්නේ කොයි වගේ කෙනෙක්ද?

කෙටියෙන්ම කීවොත් ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවපු හරිම විනෝදජනක සරල සුන්දර මිනිසෙක් විදිහටයි මා ඔහුව දකින්නේ. මට මතකයි එක්තරා අවස්ථාවකදි නිහාල් නෙල්සන් කිවා එච්. ආර් කියන්නේ හදවත රත්තරන් කියන දේ කියලයි. ඇත්තටම ම‍ාත් දකින්නේ ජෝති කියන්නේ රත්තරන් හදවතක් ඇති කෙනෙක්

ඔහු නැති අඩුව ඔබට දැනෙන්නේ කොහොමද?

එය වචනවලින් කියන්නට බෑ. අපි දන්නවා ජෝතිගේ හඬින් මුළු සිනමාවම ආක්‍රමණය කළ අවධියක් තිබුණා. ඒ හඬේ ගැඹුරක් තිබුණා.‍ ජෝතිගෙන් පසුව මම එහි මොකක්දො වෙනසක් දකිනවා. ඒ විදිහට වෙනත් අය ගායනා කළත් ඔහුගේ හඬට තරම් රසිකයන් ඇලුම් කළේ නෑ කියලයි මට හිතෙන්නේ.

ඒ කියන්නේ ජෝති නැති අඩුව අපේ සිනමාවට තදින්ම දැනුණා ?

ඔව්. ඔහුට පසුව දක්ෂ ගායකයින් බිහිවුවත් ජෝතිගේ හඬ පරයන හඬක් සිනමාව තුළ අසන්න ලැබුණා කියන්නට බෑ. සිනමා ශාලාවකට ගිහින් බලන්න ඔහුට තිබුණා මිහිරි ගැඹුරු හඬක්. ඒක හැමෝටම නෑ.

ඔහු ළඟින්ම ඇසුරු කළේ?

මා දකින විදිහට එහෙම කෙනෙක් නෑ. ක්‍ෂේත්‍රයේ වගේම සෑම කෙනකු සමඟ ඉතා සුහදශිලි විදිහට ගනුදෙනු කළා.

ජෝති දේශපාලනය කළා කියන්නේ ඇත්තද?

මේ මෙ පක්ෂයට කියලා මා දන්නා තරමින් ඔහු වැඩ කළේ නෑ. හැබැයි රණසිංහ ප්‍රේමදාසයන් එක්ක කිට්ටු ඇසුරක් තිබුණා. මොකද එතුමන් ඇරඹු ගම් උදාව වැඩසටහන යටතේ විවිධ ප්‍රදේශවල ප්‍රසංග පැවැත්වුණා. ඒ සඳහා ජෝතිටද අැරියුම් ලැබුණා. ඒ නිසා වන්නට ඇති ජෝති දේශපාලනයට සම්බන්ධයි කියලා සමහරු කියන්නට ඇත්තේ.

ජෝති කියන්නේ මාධ්‍ය පසුපස හඹා ගිය කෙනෙක් නෙමෙයි කීවොත්?

ජෝති කවදත් මාධ්‍ය පසු පස ගියේ නෑ. හැබැයි ජෝති සොයාගෙන මාධ්‍ය ආවා. ඒ දවස්වල ඔහුගේ ගීත දැම්මොත් ජෝතිව නෙමෙයි බැබළුනේ ඒ මාධ්‍යයි.

නවක පරපුර ගොඩක් රියැලිටි වැඩසටහන් සඳහා ජෝතිගේ ගීත ගායනා කිරීම ගැන ඔබේ අදහස?

මෙහෙමයි, ඒ ගැන මම දොස් කියන්නේ නෑ. තරගයට පිවිසීම සඳහා එවැනි ගීත ගැයුවාට වරදක්නෑ. නමුත් පසුකාලීනව ඔවුන් ඔවුන්ගේම කියලා ස්වයං නිර්මාණ කළ යුතුය.

අවසන් වශයෙන් ‍ජෝති ගැන යමක් කියන්න ඇති?

ඔහු අපේ රටට හිටපු සම්පතක්. ජෝති කියන ඒ අසහාය ගායකයා අපි අතර යළි ඉපදේවා කියලයි මා ප්‍රාර්ථනා කරන්නේ.

සමන්ති වනිගසේකර

Comments