ජෝති සිහි කර හැම අවුරුද්දකම පින්කම් කරනවා | Page 2 | සිළුමිණ

ජෝති සිහි කර හැම අවුරුද්දකම පින්කම් කරනවා

எ‘ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්’ අධිපති ඩබ්ලිව්. ජයසේන ද අල්විස්

ජෝතිට පින් සිද්ධ වෙන්න අපි ජීවත් වෙනවා

එච්. ආර් ජෝතිපාල යනු දේශීය ගීත ක්ෂේත්‍රයේ සදාතනික ගායකයා බව අදවන විට කවුරුත් පිළිගන්නා කරුණකි. එයට හේතු ව ජෝතිපාලයන් මියගොස් අදට වසර තිස්දෙකක් ගතවුවද එදා සිටිය ජෝතිට වඩා අද ජෝති ජනතා ප්‍රසාදයට පත්ව සිටීමයි. වැඩිහිටි, තරුණ මෙන්ම කුඩා දරුවන් පවා ජෝතිගේ හඬට පණටත් වඩා ආදරය කරනවා පමණක් නොව ජෝති සිහිකර ඔහු වෙනුවෙන් පින් දහම් කිරීමටත් ඔවුන් කටයුතු කරති. එවන් රසිකයෙක් ලෙස ශ්‍රි ලංකාවේ කැසට්පට නිෂ්පාදනයේ ප්‍රමුඛයකුවන ඩබ්ලිව්. ජයසේනද අල්විස් හැදින්විය හැකියි. ඔහු මොනතරම් ජෝතිට ආදරය කරනවාද යන්න ඔහුගේ ජයනන්ද සීඩී මියුසික් අලෙවිසලට ගොඩවු විට සියැසින්ම දැකගත හැකියි. ජෝති ගැන සිහිකිරීමේදි ජයනන්ද අමතක කළ නොහැකි ම චරිතයක් වන්නේ ‘ජෝතිමත් ජෝති‘ කලා පුවත්පතේ හිමිකරුවාත් ඔහු වන නිසාවෙන්ය.

‘ජෝතිපාලව මම දකිනකොට මගේ වයස අවුරුදු අටක් විතර ඇති. මම දහම්පාසල් ගියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පවත්වාගෙන ගිය ශ්‍රි සුචරිත දහම් පාසලට. එහි තිබෙන කාර්යාලයට කරුණාරත්න අබේසේකර සහ එච්. ආර් ජෝතිපාලයන් නිතරම එනවා. අපි ඉතින් පුංචි ළමයි නිසා ඈතකට වී ඔවුන් දෙස බලා සිටිනවා මිසක් කවදාවත් කතාබහ කරන්න යන්නේ නෑ. ඒ කාලෙ ජෝතිපාල ඉතාම ජනප්‍රියයි. ඔහුගේ රූපකායත් බොහොම ආකර්ෂණීයයි. ඒ නිසා තමයි පුංචි අපි ඔහුට බෙහෙවින් ප්‍රිය කෙළේ‘. ජයසේන සහ ජෝති අතර සමීප හිතවත්කමක් ඇතිවන්නේ 1977වසරේ සිටයි. ඒ ප්‍රේමදාස ජනපතිතුමන්ගේ ගම්උදා සංකල්පයත් සමගය.

‘1980 සිට මම කැසට්පට කරන්න පටන් ගත්තා. පළමුවෙන්ම ‘ජෝතිමත් ගී‘ කැසට් පටය කළා. ඉන්දියානු ගායක මුකේෂ්ගේ ගීතවල තනුවට ගැළපෙන්න හේම ශ්‍රි ද අල්විස් පද රචනය කළ ස්ටැන්ලි පීරිස් , ක්ලෝඩ් ප්‍රනාන්දු, රංජිත් පෙරේරා සංගීතවත් කළ ගීත දාහතරක් එම කැසට්පටයට කළා. ඉන් පසුව ජෝති සමග එක්වී කැසට් පට දහයක් කළා. ජෝති බැති ගී නමින් ජෝති ගායනා කළ බොදු ගීත කැසට් පටයක්ද කළා. එදා ජෝති ගැයූ ගීත ඇතුළත් කැසට්පට වෙළෙඳපළට දාන පමාවෙන්ම විකිණුණා‘

ජයනන්ද සී. ඩී වර්ල්ඩ් හිදී ජෝතිගේ ඕනෑම ගීතයක් රසවිඳිය හැක. 1956දි තිරගත වු ‘සුරතලී ‘චිත්‍රපටයේ සිරියාමෙ සාරා ගීතයේ සිට මියයන තෙක්ම ජෝති ගායනා කළ ගීත දහස් ගණනක් මෙහි සංරක්ෂිතය.

‘ජෝති ගායනාකර තිබෙන අපි ළඟ නැති , රසිකයන් අසා නැති ගීත මුදල් දී මිලට ගෙන සංරක්ෂණය කරනවා. අදවන විට ජෝති ගැයු ගීත ඇතුළත් සී. ඩී තැටි දෙසියක් පමණ අප ළඟ තිබෙනවා. ඔහු මියයන විට චිත්‍රපට 560කට පමණ ගීත ගායනාකර තිබුණා. ඒ සෑම චිත්‍රපටයක ගීතයක්ම අපිළඟ තිබෙනවා. ජෝතිපාල එදා ගායනාකළ ගීත අදටත් රියැලිටි වැඩසටහන්වලට නවක ගායකයන්, ගායනා කිරීමෙන්ම පේනවානේ ඉපදුණ ළමයි විතරක් නෙමෙයි ඉපදෙන්න ඉන්න ළමයිත් ඔහුගේ සංගීතයට ප්‍රියකරන බව‘

එච්. ආර් ජෝතිපාල ජනප්‍රිය ගායකයකු මෙන්ම සංවේදී හදවතක් ඇති සුන්දර මිනිසෙකි. එනිසාවෙන් ඔහුගේ හඬට රජ මැදුරේ සිට දිළිඳු පැල්පත දක්වා මිනිසුන් ආදරය කෙළේය.

‘ජෝති කොතරම් ජනප්‍රිය ගායකයෙක් වුවත් කිසිදා ඔළුව උදුම්වාගත් පුද්ගලයෙක් වුණේ නෑ. ඔහු සෑම විටම සෑම කෙනෙකුටම සහෝදරයෙක් බඳුයි. ඒ වගේ මිනිසුන් හොයාගන්න එක හරියට කළුනික හොයනවා වැනියි. ඒ තරමටම ඔහු මිනිසත්කමෙන් පිරිපුන් මිනිසෙක්. ඒ කාලෙ හැම දවසකම උදෑසන ඔහු අපේ වෙළෙඳසලට එනවා. එහෙම ඇවිත් ඉන්න අවස්ථාවල කවුරුන් හෝ නැතිබැරි මිනිහෙක් කීයක් හරි ඉල්ලුවොත් කැසට්පට සඳහා අපි දෙන මුදල ඔහුට දෙනවා. දවසක් ඇදගෙන හිටිය ෂර්ට් එක පවා නැතිබැරි මිනිසකුට ගලවා දුන්නේ අපේ ඇස් ඉදිරිපිටදිමයි. ඔහු එහෙම කරන්නේ ඔහුට දෙන්න බොහෝ පිරිසක් සිටියත් බැරි මිනිහට දෙන්න කවුරුත් නැති නිසයි. ජෝති ගායනාකළ බොහොමයක් ගීත සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගායනා කළ ඒවා. සඳරාණි... යළි ඉපදෙන්න ඔයා... සුදු දෝණි මගේ.. ගීතය ගායනා කළෙත් සත්‍ය සිදුවීමකට. ජෝතිගෙ මාළිගාවත්තෙ නිවෙසට අල්ලපු නිවෙසේ සිටියා සඳරාණි කියා සුරතල් දැරියක්. ඇයගේ පියා දිනක් සඳරාණි දැරිය සුරතලේට උඩවිසිකරද්දී බිමට වැටී මරණයට පත්වෙනවා. ඒ සිදුවීමෙන් ජෝති සෑහෙන්න කම්පනයට පත්වෙනවා. එය තමයි සඳරාණි යළි ඉපදෙන්න ඔයා යනුවෙන් ගායනා කළේ‘

ජීවතුන් අතර සිටින ජෝතිට වඩා මියගිය ජෝතිට ආදරය කරන මිනිසුන් බොහෝය. එයට කදිම නිදසුන් වසර තිස් දෙකක් ගතවීත් ජෝති එදා ගැයූ ගීත අදටත් නිර්මාණය වන සිනමාපට සඳහා යොදා ගැනීමයි.

‘ජෝතිගේ හඬ එදා මේ රටේ සිටිය සෑම රංගන ශිල්පියකුටම මනාවට ගැළපුණා. කෙටියෙන්ම කියනවා නම් හාස්‍ය රංගන ශිල්පියකු වන ෆ්‍රෙඩි සිල්වාටත්, දුෂ්ටයා ලෙස රඟපෑ රංගන ශිල්පියාටත්, පෙම්වතාටත් ඒ හඬ උචිතයි. අනෝජා රඟ පෑ වෙස්වළාගත් තරුණිය චිත්‍රපටයේ අනෝජාටත් ජෝති ගීතයක් ගායනාකළා. මියගියාට පසුවත් ජෝති ගායනාකළ ගීත ඇතුළත් චිත්‍රපට අසූවක් පමණ ප්‍රදර්ශනය වූවා. ජෝති ගායනා කළ ආගම් සමගිය ගැන කියැවෙන ගීතයක් පසුගිය දිනවල නිර්මාණය වු ‘මරු කතර‘ සිනමා පටයට ඇතුළත් කළා. ජෝති යනු හරියට ණය දෙන බැංකුවක් හා සමානයි‘

මවුපියන් සිහිකර පිනක් දහමක් නොකරන සමාජයක ජෝති සිහිකර වසර 32ක් පුරා ජයනන්ද දානමය සත් ක්‍රියාවක නියැළෙයි. ඒ ජෝති වියෝ වු දිනයේ සිට අද දක්වා වාර්ෂිකව ඔහු උපයන ධනයෙන් කොටසක් නැතිබැරි මිනිසුන්ට වියළි ආහාර ලෙස බෙදා දීමයි. ජෝතිපාලයන්ට පින් පතා වාර්ෂිකව කරන මෙම පින්කම ජයනන්ද වෙළෙඳසල ඉදිරිපිටදී මෙවරත් හයවැනි දින සවස දෙකට සිදුකිරීමට කටයුතු යොදා තිබේ .

‘ජෝතිට පින්සිදු වන්නට අපි බොහෝ දේ කරගත්තා. ඔහුගේ ගීතවලින් ජීවත්වන මිනිසුන් කොතරම් සිටිනවාද? අපිට කරන්න තියෙන්නේ ජෝතිව සිහිකර ඔහුට පින් දහම් කිරීම පමණයි. තමන්ගේ , බිරිය, සොහොයුරා, මියගියාට පසුව දුක තුනීකර ගැනීමට ජෝතිගේ ගීත අහන්න පටිගතකරගෙන යන්න එන රසිකයන් බොහෝ ඉන්නවා. පසුගියදා අපි ළඟට ආවා තමන්ගේ බිරිය මියගිහින්. ඇයගේ තුන්මාසයේ දවසට ජෝතිගේ ගීත අහන්න ඕනෑ වු රසිකයෙක්. ඔහු ඔහුගේ දුක තුනීකරගන්න හදන්නේ ජෝතිගේ ගීත රසවිදලා. මේ ළඟදි පොලොන්නරුවේ වැලිකන්දේ සිට පැමිණි ජෝති රසිකයෙක් කොළඹට පැමිණ රාත්‍රි නිදාගෙන තිබෙන්නෙ අපේ වෙළෙඳසල ඉදිරිපිට පාරෙ. මම පසුදින උදෑසන වෙළෙඳසල විවෘත කරනවිටත් ඔහු එතන. මම ඇහුවා ඔහුගෙන් ඇයි බිම නිදාගත්තේ කියා. එවිට ඔහු කීවේ ජෝතිපාල නිතර ආගිය තැනක් නිසාත්, ජෝතිගේ ගීත නිතරම වාදනය කරන නිසාත් මෙම ස්ථානයේ නිදාගත් බවයි.

තවත් දවසක මාතර සිට පැමිණි යුවළක් ඔවුන්ගේ ආබාධිත දරුවන් තිදෙනාට අසන්නට ජෝතිගේ ගීත පටිගතකරගෙන ගියා. ඒ දරුවන් ප්‍රාණවත්ව ඉන්නේ ජෝතිගේ ගීත ඇසීමෙන් කියලයි ඒ මවුපියන් කීවේ. ජයනන්ද වසරක් පාසා ජෝතිපාලයන් සිහිපත් කිරීමට දින දර්ශනයක් නිකුත් කරයි. එය ඔහුගේ පෞද්ගලික වියදමින් ගත වු වසර තිස්දෙක පුරාවට නොකඩවා කරගෙන යයි.

‘පසුගිය දවසක අනුරාධපුරේ සිට වෙළෙඳසලට පැමිණ කාන්තාවක් ජෝතිපාලගේ දින දර්ශනයක් රැගෙන ගියා ඇයගේ රෝගීව සිටින සහෝදරයාට තෑගි කරන්නට. එයින් සතුටට පත් වු සොහොයුරා ත්‍යාගයක් ලෙස ඇයට ගොඩින් සහ මඩින් අක්කර පහ බැගින් ලියාදුන් බව ඇය කීවා. මෙවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා ජෝති හා බැඳුණු ඒවා‘

ජයනන්ද වැනි ජෝතිපාලයන්ට ආදරය කරන රසිකයන් සිටිනතාක් ජෝති හඬ චිරාත් කාලයක් මේ මිහිතලයේ රැඳෙනු ඇත.

නයනා වෑත්තෑව

ඡායාරූප- සමන්ත වීරසිරි

Comments