පුතෙක් නැති එක ගැන පසුතැවුණා | සිළුමිණ

පුතෙක් නැති එක ගැන පසුතැවුණා

ජෝති, සල්ලි ඉතුරු කළා නම් ප්‍රකෝටිපතියෙක්

ජෝති අයියාගේ කටහඬ හැම නළුවෙක්ටම ගැළපුණා

ජෝති මතකය අවදි කරවන මාලිගාවත්තේ නීල් අයියා

හෙතෙම නන්දසේන අල්විස් අප්පුහාමිය. කවුරුත් දන්නා කියන නීල් අයියාය. පංචිකාවත්තේ යකඩ කුරුල්ලන්ට අඩුපාඩු සකසන විකුණන ඔහු මේ වන විට 75 විය සපුරමින් තම ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින්නේය. ඔහු දශක තුනකට අධික කාලයක් රටක් වසඟ කළ ඒ සොඳුරු සත්සරවේදියාගේ ළඟම හිතමිතුරෙකි.

ඔව් මේ කියන්නට යන්නේ ඔහු ගැනය. පංචිකාවත්ත මහල් නිවාස සංකීර්ණය ඔබට සිහියට නැ‍ෙඟන විට ඉන් පසුව සිහිපත් වන්නේ හදවත රත්තරන් ජෝති හෙවත් එච්.ආර්. ජෝතිපාල බව දනිමු. නීල් අයියා යනු වැලි කෙළියේ සිට එච්.ආර්. ජෝතිපාල මහතා මියෙන තුරාවට ඔහු ළඟින් ඇසුරු කළ, ඔහු පිළිබඳ නොයෙක් දෑ දන්නා කියන හිතවතෙකි. ඔහු හා බැඳුණු දශක පහක මතක මේ සා විසල් යැයි කිව නොහැකි තරම් ය. එහෙත් නීල් අයියා ඒ මතකවලින් බිඳක් අප සමඟ පැවසුවේ මෙසේය.

ජෝතිපාල මහත්මයා ඔබට හමු වෙන තැනින් මේ කතාව පටන්ගනිමු?

දෙමටගොඩ මකුටාරාම පන්සල පිටිපස්සේ වත්තේ තමයි ජෝතිපාල මහත්මයා ජීවත් වුණේ. එතකොට ජෝතිපාල මහත්මයාට අවුරුදු 17ක් වගේ ඇති. මට වයස අවුරුදු 10ක් වගේ ඇති. අපේ තාත්තා ලේක්හවුස් එකේ ඒජන්ට්. එයාගේ තාත්තා ටේලර් සාප්පුවක් කළේ. එතකොට ජෝති අයියා ගායකයෙක් වෙලා නැහැ. රැකියාවක් නැතුව ගෙදරට වෙලා හිටපු කාලේ. නාඹර කොලු කාලේ. අපේ තාත්තා පත්තර ගේනකොට එන රවුම් බන්ඩල් කාඩ්බෝඩ් අරගෙන ජෝති අයියා වත්තේ තියන ජම්බෝල ගහට නඟිනවා. නැඟලා අර කාඩ්බෝඩ් එකට තාලේ අල්ල අල්ල ගහනවා ලස්සන සින්දු. එඩී ජයමාන්න මහත්තයාගේ සින්දු තමයි ගහන්නේ. කොලොම්පුරේ ශ්‍රියා, ළපටි රූපේ ඈගේ වගේ සින්දු. අපි අහනගෙන ඉන්නවා ඉතින් ඕවා. දවසක් ධර්මදාස වල්පොල මහත්මයා වත්තට ඇවිල්ලා සර්පිනාව ගෙනල්ලා හඬ පරීක්ෂණයක් කළා. ඒකෙන් ජෝති අයියාගේ හැකියාව ධර්මදාස මහත්තයා දැනගත්තා. ඊටපස්සේ තමයි ජෝති අයියා “සුරතලී“ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

ජෝතිපාල මහත්මයා යාළුවෝ අතරේ කොහොම හිටපු කෙනෙක්ද?

අපි පොඩි කාලේ ජෝති අයියලා අපිට වඩා වැඩිමල් නිසා ඒ තරම් ලොකුවට අපිව ආශ්‍රය කළේ නැහැ. හැබැයි සම වයසට වගේ ආවට පස්සේ ජෝති අයියා මාව බොහොම ළඟින් ඇසුරු කළා. ජෝති අයියා පංචිකාවත්තේ ෆ්ලැට් එකට පදිංචියට ආවාට පස්සේ හිතවත්කම් වැඩි වුණා. එයා එහෙම දඩබ්බර චරිතයක් නෙමෙයි. එයා ටිකක් තැම්පත් කෙනෙක්. ඉස්සර හරිම කෙට්ටුයි කෙසඟයි. චිත්‍රපටවල රඟපාන්න ගත්තට පස්සේ තමයි හැඩ වෙලා ආවේ. බොහොම නිහතමානී කෙනෙක්. හරිම ආදරණීයයි. එයාගෙන් කවුරුහරි ෂර්ට් එක ඉල්ලුවත් ඒක ගලවලා පරිත්‍යාග කරන ජාතියෙ කෙනෙක්.

ටික ටික ජනප්‍රිය වෙද්දි ජොතිපාල මහත්මයාට යාළුවෝ අමතක වුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. එක දශමෙකින් වෙනස් වුණු කෙනෙක් නෙමෙයි එයා. වත්තේ හිටපු දුප්පත් කොල්ලෝ කෙල්ලෝ එක්ක විනෝදෙන් ජීවත් වුණු එක තමයි එයාගේ වැඩේ. ජෝති අයියාට ෂෝ එහෙම වැඩි වෙද්දි සල්ලි ගොඩක් ආවා අතට. එක සතයක් එකතු කරලා නැහැ. එයා විනෝදෙට 99%ක්ම බර කෙනෙක්. ඒ ඔක්කොම සල්ලි යාළුවෝ එක්ක එයා වියදම් කළා. ඒ සල්ලි තැම්පත් කළා නම් ප්‍රකෝටිපතියෙක්. එච්චරට සල්ලි හම්බ කළා. එච්චරට එයාට වැඩ තිබුණා.

ජෝතිපාල මහත්මයා දරුවන්ට ආදරේ කෙනෙක්ද?

ඔව්; සෑහෙන්න ආදරෙයි. එයාට දුවලා හතර දෙනෙක්නේ හිටියේ. ඒ හතර දෙනාටම ගොඩක් ආදරෙන් හිටියේ. හැබැයි පුතෙක් නැති එක ගැන ජෝති අයියා පසුතැවුණා. මට එයා කියලා තියෙනවා “බලපං නීල් මල්ලී, ඔක්කොටම ඉන්නවා කොල්ලෝ. මටනේ එක්කෙනෙක්වත් නැත්තේ“ කියලා. හැබැයි ඒ අඩුව අපිට දැන් තමයි තේරෙන්නේ. ජෝති අයියාට පුතෙක් හිටියා නම් අද ඒ කටහඬ රත්තරන් වටිනවා. ෂෙල්ටන් අයියාගේ පුතා, මිල්ටන් අයියාගේ පුතා, බෙග් මාස්ටර්ගේ පුතා මේ හැමෝටම තාත්තාගේ හඬ ටිකක් හරි පිහිටලා තියෙනවානේ.

ජෝතිපාල මහත්මයාත් එක්ක බැඳුණු අමතක නොවන මතකත් ඇති ඔබට?

ඉස්සර තිබුණේ ට්‍රෑම් කාර්. දවසක් ඒකේ මමයි ජෝති අයියයි යනවා. ඒකෙදි කකුල පෑගිලා එක්කෙනෙක් ගැහුවා කළු ගලක් අරන් ඔළුවට. එයාගේ නළල පැලුණා. මම හිතුවේ ජෝති අයියා මැරුණා කියලා. අයියව ඉස්පිරිතාලෙ අරන් ගියා. මම එයාලගේ ගෙදර ගිහින් කෑගැහුවා “බුදු නැන්දේ ජෝති අයියා මැරුණා“ කියලා. මැහුම් දැම්මා ජෝති අයියාගේ නළලට. ඒ මැහුම් පාර හොඳට පේන්න තිබුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැති සිදුවීමක්.

ජෝතිපාල මහත්මයා වැඩියෙන්ම ඇසුරු කළ ජනප්‍රිය තලයේ හිතමිතුරන් කවුද?

මිල්ටන් පෙරේරායි ෂෙල්ටන් පෙරේරායි තමයි වැඩිපුරම ළඟින් ආශ්‍රය කළේ. තව යාළුවෙක් හිටියා. එයා නම් එච්චර ජනප්‍රිය නැහැ. ගිල්බට් අයියා කියලා කෙනෙක් හිටියා. එයා ගබඩා පාලක කෙනෙක්. එයා එක්ක තමයි ජෝතිපාල මහත්මයා හැම තැනම යන්නේ. ජෝති අයියා මිල්ටන් අයියලා වගේ ඕනාවට වඩා සූර් වුණේ නැහැ. ඒත් ජෝති අයියා එහෙම ප්‍රසිද්ධියේ ඒ ක්‍රමයට බීලා නැහැ මම දන්න තරමින්. ඒ වගේම බෙග් මාස්ටර් නිතරම ජෝති අයියාව හම්බෙන්න එනවා. එතකොට ඉෂාක්ලා පොඩියි. ඉස්සර ඉතින් බෙග් මාස්ටර්ලත් එක්ක පැදුරු පාටි දානවා. එතකොට අවශ්‍ය කෑම බීමත් තිබුණා. පැණිරස කෑම අනම් මනම්. තබ්ලා, සර්පිනා, ඔක්කොම සංගීත භාණ්ඩ ඒ පැදුරු පාටිවල තියෙනවා. ඒ සිංදු අහන්න ඉතින් අපි පිං කරලා තිබුණා.

ජෝතිපාල මහත්මයාගේ ඔබ වැඩියෙන් ප්‍රිය කරන ගීතය මොකක්ද?

එයා විනෝදෙට 99%ක්ම බර කෙනෙක්

මම ජෝති අයියාගේ හැම සිංදුවකටම කැමතියි. හැම සිංදුවක්ම අහන්න පුළුවන් හරිම ලස්සන සිංදු. ඒ අතරින් වඩාත්ම කැමති සිංදුව “සිරියාමේ සාරා“ ගීතය. ජෝති අයියාගේ කටහඬ තව අවුරුදු දාහක් ගියත් හැමෝටම මතකයි.

ඔබ හිතන විදිහට ජෝතිපාලගේ කටහඬට වැඩියෙන්ම හරියන නළුවා කවුද?

ජෝති අයියාගේ කටහඬ හැම නළුවෙක්ටම ගැළපුණා ඒ කාලේ. කොයි නළුවා රඟපෑවත් ඒ නළුවාට ඔබින විදිහට ගායනා කරන්න දක්ෂතාවය ජෝති අයියට තිබුණා. හැබැයි විජය කුමාරණතුංග මහත්තයා තමයි හරියට හරි ගියේ. එයාගේ කටහඬත් ජෝති අයියගේ කටහඬට ටිකක් සමානයිනේ.

ඔහුගේ මරණය ගැන ඔබට තියෙන්නේ මොන වගේ මතකයක්ද?

මට මතක විදිහට ජෝති අයියා නැති වුණේ ප්‍රසංගයකට ගිහින් ඉද්දි අසනීප වීමෙන්. එයා එදා සිංදු කිව්වෙත් අමාරුවෙන්. මම දැකපු මුළු රටක්ම සංවේදී වුණු මරණය ඒක තමයි. හරිම දුකයි. හිතුවේ නැහැ මෙච්චර ඉක්මන්ට ජෝති අයියා අපෙන් ඈත් වෙයි කියලා. ඔහුගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

එතුමා වියෝ වෙලත් දැන් වසර 32ක් ගත වෙන මෝහොතේ ඔහු ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

ඔහු මේ වෙද්දිත් ජීවත් වෙලා හිටියා නම් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය, සිනමාව මීට වඩා ඉහළ තලයක වැජඹෙයි කියලා මම හිතනවා. අදටත් ලංකාවේ අංක එකට ඉන්න ගායකයා ජෝති තමයි.

නිර්මාණි බණ්ඩාරනායක

සේයාරුව - ගයාන් පුෂ්පික

 

Comments