පොඩි පුතා අහිමි වුණ ජෝති | Page 2 | සිළුමිණ

පොඩි පුතා අහිමි වුණ ජෝති

කැටවලමුල්ලේ උපන් ජෝතිපාලගේ එකම සිහිනය වූයේ කවදා හෝ දිනෙක ගායකයකු ලෙස ලංකාව තුළ නමක් තැබීමයි. මේ සිදුවීම වන සමයේ එච්.ආර්. ජෝතිපාල සේවය කළේ නගින්දාස් සාප්පුවේය. ඔහු එහි සේවය කළ ද එයින් යම් හෝ මානසික තෘප්තියක් ලබන්නට ඔහුට නොහැකි විය .මන්ද ඒ තරමට ඔහුගේ ගායන සිහිනය බලවත් විය.

මේ අවධියේදී සිංහල චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය කර තිබුණු අතර එඩී ජයමාන්න , මොහොදින් බෙග්, ධර්මදාස වල්පොල මෙන්ම රුක්මණී දේවි හා ලතා වල්පොල ඉමහත් ජනප්‍රියත්වයට පත්වී තිබිණි. එමෙන්ම අනෙකුත් රසිකයන්ගේ මෙන්ම ජෝතිපාලගේ ද සිහින වීරයන් අතරට ප්‍රේම් ජයන්ත්, ෆ්ලෝරීඩා ජයලත්, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, වැන්නෝ පත්ව සිටියහ. බී ඒ. මාස්ටර් ජෝති පාලගේ ළඟම හිතවතෙකු වූ අතර ඔහුගේ අවශ්‍යතාව වූයේ කෙසේ හෝ මාස්ටර්ගේ හැඳුනුම්කම් මත කවර හෝ චිත්‍රපටයක පසුබිම් ගායනය කිරීමේ අවස්ථාවක් ලබා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ටී.එෆ්.ලතීෆ් නම් සංගීත අධ්‍යක්ෂවරයා හඳුනා ගැනීමට ඔහු සමත් වූ අතර එහි වඩාත් වැදගත්ම සිදුවීම වූයේ මේ වකවානුවේ දී ම ටී.එෆ් ලතීෆ් සිරිසේන විමලවීරගේ පොඩි පුතා චිත්‍රපටයට සම්බන්ධව කටයුතු කිරීමයි.

කෙසේ හෝ මේ හමුවීමෙන් පසු ලතීෆ් ගේ මාර්ගයෙන් ජෝතිට පොඩි පුතා චිත්‍රපටයේ පසුබිම් ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව ලැබුණි. මේ ආරංචියත් සමඟ ජෝති සියලු මිතුරන් දැනුවත් කරන්නට කටයුතු කළේ තමන්ගේ ජීවිතය පුරා තිබූ ආශාව ඉෂ්ට වීම නිසාය .

පොඩි පුතා චිත්‍රපටයට ගීත ගායනා කරන්න උදා වී තිබුණු දිනයේ උදේ ජෝති නිවසින් පිට වුණේ අම්මා විසින් ගෙන දුන් අලුත්ම සුදු පැහැති

කමිසයකින් හා නිල් පැහැති කොට කලිසමකිනි. ගීත පටිගත කිරීම සඳහා පිරිසක් සමගින් කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට පිටව ගියේ වෑන් රථයකිනි.

එහි එවකට ජනප්‍රිය ගායක ගායකයන් පිරිසක් සිටි බවත් සමහරුනට වයින් ස්ටෝර්ස් කරාගොස් අරක්කු පවා ඇදීමට සිදු වූ බවත් පසුකාලීනව ජෝති කියා තිබුණේය . කෙසේ හෝ ජෝතිට පළමු ගීය ගායනා කිරීමට සිදු වූයේ ජනප්‍රිය තලයේ ගායිකාවක වූ ජී. එස්. බී. රාණි පෙරේරා සමගය. එම ගීතය නම් කර තිබුණේ කිරි මුහුද කැලැඹීලා යනුවෙනි. ගීතය පටිගත කිරීම ඇරඹුණි. නමුත් ජෝතිගේ හඬ නිසි අයුරින් පිට වන්නේ නැති බව පවසා නැවත නැවතත් ගායනා කරන ලෙස අධ්‍යක්ෂවරයාගෙන් අණ ලැබුණි.

තමුසෙගෙ හ⁣‍ෙඬ් මිහිරි ගතියක් නෑ දෙදරන හඬ තමයි ඇහෙන්නේ .

ජෝතිගෙ චිත්‍රපට පසුබිම් ගායන සිහිනය බොඳ කරමින් සිරිසේන විමලවීරගේ හඬ බලවත් විය. නැවත වතාවක් උත්සාහ කර ගායනා කරන්නම් යැයි කීවද ඒ සියල්ල පසෙක දමමින් අධ්‍යක්ෂවරයාගේ පිළිතුර වූයේ උත්සාහය අත්හැරදමා නිවසට යන ලෙසයි.

සියලු බලාපොරොත්තු සුන්වී ගිය ජෝති ගීතය පටිගත කරමින් තිබූ රාත්‍රියේම නවජීවන චිත්‍රාගාරයෙන් එළියට විත් නුවර පාර දිගේ ඇවිද ගියේ තමන්ට කවරදාක්වත් ගායකයෙකු වීමේ සිහිනය ඉටුකර ගත නොහැකිවේදැයි සිතමිනි .

ගීතය පටිගත කළ අවස්ථාවේ එහි සිටි කාර්මික ශිල්පීන්ගේ පවා මතය වූයේ ජෝතිපාල මැනවින් ඒ ගීතය ගායනා කළ බවයි. ගීතය ගායනා කරන අවස්ථාවේදීත් කාර්මික ශිල්පීන් කිහිප දෙනෙකු අධ්‍යක්ෂවරයාගේ කනට මොනවාදෝ මුමුනමින් සිටින බව ජෝතිට දක්නට හැකිවිය. මේ නිසා කාගේ හෝ ඊර්ෂ්‍යා කරුවකුගේ මුසාබස්වලට කන් යොමු කර තමාව කපා හැරියේදැයි යන සිතුවිල්ලක් ජෝති ගේ සිතට කා වැදුණි .

කෙසේ වෙතත් පසුකාලීනව සිනමාවට නැතුවම බැරි ගායකයකු වූ ජෝතිපාලට තමාගේ පළමු චිත්‍රපට ගීත ගායනයේදී සිදුවූයේ එවන් අකරතැබ්බයකි. එසේ නොවුණානම් ජෝතිගේ පළමු චිත්‍රපට ගීතය සුරතලී චිත්‍රපටයට නොව පොඩි පුතා චිත්‍රපටයටයි. පොඩි පුතා චිත්‍රපටයෙහි ඔහුට වූ අසාධාරණයට කලක් ගතවන්නටත් ප්‍රථම සිනමාවේ ගී රජු කිරුළ පලඳන්නට මග සැලැස්වුණායැයි කාට නම් සිතිය නොහැකි ද?

රජිත බස්නායක

Comments