මා සැබෑ පෙම්වතියක් කළේ ජෝතිගේ කටහඬයි.. | සිළුමිණ

මා සැබෑ පෙම්වතියක් කළේ ජෝතිගේ කටහඬයි..

සිනමා රාජිනිය

මාලනි ෆොන්සේකා

මා සිනමාවේ කෙනකුට ආදරය කළා නම්; ඒ මා එක්ක රගපාපු ප්‍රේමවන්තයින්ට නොවෙයි. ජෝතිගේ කට හඬටයි. මා එතරම්ම ඒ හඬට ප්‍රේම කළා. එදා මට දැනුණ ඒ හැඟීම් දීලාතියෙන්නෙහදවතකතාකරනඔහුගේ කට හඬයි. ඒ බව මා තේරුම් ගත්තෙ කාලයක් ගියාට පස්සෙයි.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 60-70-80 දශකයන් පමණක් නොව 90 දශකය ගැන කතා කරනවිටත් ඔහුගේ ජනකාන්ත හඬ මාධූර්යය නොතකා සිනමාව ගැන කතා කිරීම උගහටය. එමෙන් ම එකල පායා ආ සිනමා තාරකාවන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැං වූ වෙනත් සිනමා හඬ පෞරුෂයක් නැති තරම් විය. හෙතෙම සිනමාව ජනකාන්ත කරවීමට පසුබිම් ගායනයෙන් දැක් වූ සමත්කම පරයා යෑම කෙසේවතුද ඊට අලගු තබන්නටවත් ගායකයකු තවමත් බිහි නොවීම ඔහුගේ සුවිශේෂත්වය මොනවට පෙන්වයි. සුපර්ස්ටාර් සිහින හඹායන නවකයින් පවා අදත් ඔහුගේ නිර්මාණ තුළින් ලබන ආලෝකය අප්‍රමාණය. එකළ ඔහුට ගැරහූ අය පවා අද ඔහුගේ ගුණ වයති. මෙතරම් දියුණු තාක්ෂණය තිබියදී පවා සිනමා කෘති උත්කර්ෂයට නංවා ජනකාන්ත කරවිය හැකි හඬක් සොයා ගැනීම කළුනික සෙවීමක් වැනිය. එලෙස අප හදවත් නැළ වූ මේ ආශ්චර්යවත් ගීත කෝකිලයා 1987 අද වැනි දවසක අප අතරින් සදහටම නික්ම ගියේය.

එනිසා ජෝතිගේ සුමදුර හඬින් ජීවය ලැබූ සමකාලීන මිතුරියක වූ හෙළයේ සිනමා රාජිනිය මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය සමඟ අපි ඔහු පිළිබඳව දෙඩමලු වීමු.

මේ රටේ සිනමාව ප්‍රභාවත් කළ පෝෂණය කළ සිනමා තාරකාවන් අතර පහළ වූ මහා ධනයක් ලෙස එච්.ආර්. ජෝතිපාල අවිවාදයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ගේ කට හඬ සිනමාවට මහා වෘක්ෂයක් බඳුයි. ඒ මහා වෘක්ෂයේ පිපුණු නොයෙක් සුවඳ පුෂ්පයන්ගෙන් වහනය වුණේ ඔහුගේ සුමධුර ස්වරයේ රාව සුගන්ධය කියලයි මට හිතෙන්නෙ. හින්දි සිනමා ගායකයන්ගේ කට හඬවල්වලට වශීවෙලා ඒ අය අගය කරමින් සිටි යුගයක; ඔවුන් හා කරට කර තරග කර ඔවුන් පරයා නැගුණු අපටම අනන්‍ය වූ පෞරුෂයකින් යුතු කට හඬක් ඇහුණ නම් ඒ ජෝති ගේ හඬයි. නමුත් ඒ මැණිකේ වටිනාකම දැන හඳුන ගන්න අපිට සෑහෙන කාලයක් ගියා .

ඇත්ත ම කිව්වොත් මම වුණත් මුල්කාලයේ ජෝතිපාලට කැමැත්තකින් හිටිය කෙනෙක් නෙමෙයි. මෙන විදියෙන් හරි එහෙම හැඟිමක් කල්පනාවක් අපට ඇති කරල තිබුණා. අද වගේ නෙමෙයි, ඒ කාලේ රේඩියෝසිලෝන් එක විතරනේ තිබුණේ. එකෙන් ප්‍රචාරය වුණේ තෝරාගත් එක්තරා පිරිසකගෙ ගීත විතරයි. දවසක් මා දායක වුණු චිත්‍රපටයකට ඔහු පසුබිම් ගායකයකු ලෙස සම්බන්ධ වී සිටියා. පළමු වරට ඔහු ගේ හඬ දෙසවන් සිපගනිද්දි මගේ හදවත ඇහැරුණා. එතැන ඉඳන් මට ඔහුව දැනෙන්න පටන්ගත්තා. ඔහු සුගායනයට අනුව රංගනයේ යෙදෙද්දි හරිම පහසුවක් දැනුණා. ඒ හඬ මගේ හැඟීම් අවදි කළා. ඒ නිසා පසුකාලීනව මගේ රංගන දිවිය සාර්ථකව ඉදිරියට ගෙනියන්න යන්න මිතුරෙකු හිතවතෙකු ලෙස ඔහුගෙන් ලැබුණු සහය අපමණයි. මා සිනමාවේ කෙනකුට ආදරය කළා නම්; ඒ මා එක්ක රගපාපු ප්‍රේමවන්තයින්ට නොවෙයි. ජෝතිගේ කට හඬටයි. මා එතරම්ම ඒ හඬට ප්‍රේම කළා. එදා මට දැනුණ ඒ හැඟීම් දීලා තියෙන්නෙ හදවත කතා කරන ඔහුගේ කට හඬයි. ඒ බව මා තේරුම් ගත්තෙ කාලයක් ගියාට පස්සෙයි.

එහෙම බලද්දි; ප්‍රේමවන්තියක් ලෙස මගේ හැඟීම් කුළුගන්වා මගේ භාවයන් අවදි කරල, මාව ආදරයෙන් පිරුණු යුවතියක් බවට පත් කරල තියෙන්නේ ජෝතිපාල. ඔහුගේ කටහඬ. විජේ ඒක්ක රඟපෑවත්, ගාමිණී එක්ක රඟපෑවත්, ටෝනි එක්ක රඟපෑවත්, රවි එක්ක රඟපෑවත්... මම ආදරය කරල තියෙන්නේ ඒ අයට නෙවෙයි. ඒ හැඟුම්බර කට හඬටයි. එහෙම බලනකොට ඇත්තටම මගේ පෙම්වතා වෙලා තියෙන්නේ මගෙත් එක්ක රඟපාපු ඒ නළුවන් නොවෙයි ජෝතිපාලයි.

කෙනකුට තමන්ගේ චරිත නිරූපණය සාර්ථක කර ගන්න එවැනි සිනමාත්මක හඬ පෞරුෂයක් තිබීම විශාල වාසියක්. මොකද ඒ හඬ ඇහෙනවත් එක්කම වෙනම ලෝකෙකට ඇතුළු වුණා වගේ. කෙනෙකුට අදාළ චරිතයට පිවිසෙන්න හැඟීම් අවධි කරගන්න ඒ හඬ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව නිරායාසයෙන් රංගනයේ යෙදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. විජේට වුණත්, ගාමිණීට වුණත්, ... ඒ දේ දැනුණ බව මා දන්නවා. ඒ දේ හැම ගායකයකුටම කරන්න බැහැ. ඒ නිසා ම ජනප්‍රිය සිනමාවේ සිහින කුමාරයා ජෝතිගේ හඬින් නියෝජනය වුණා කියලයි මම හිතන්නේ. ඒ හඬ පසුව සිනමාවට නැතිවම බැරි කටහඬක් බවට පත් වුණේ. ඒ නිසා සමහර ප්‍රේක්ෂකයො චිත්‍රපටි බලන්න ආවේ ජෝතිගේ සිංදු අහන්න. ඒ නිසා එක පැත්තකින් ජෝති ජනප්‍රිය වෙද්දි අනෙක් පසින් රඟන ශිල්පීන් ජනප්‍රිය වුණා. මේ කාරණා දෙක එකිනෙකට සහසම්බන්ධ කාරණයක් බවට පත් වුණා. ඊට හොඳම සාක්ෂිය ජෝති මියගිය මොහොතේ විජය කළ කතාව.

“එච් ආර් ජෝතිපාල නැතිව ගියාම හුඟ දෙනකුට පාඩු වුණා. මං හිතන්නෙ වැඩියෙන්ම පාඩු වුණේ අර දුප්පත් අම්මට. යාළුවො අඬන්න ඇති, මිත්‍රයො අඬන්න ඇති, හිතවතුන් හිතවතියො අඬන්න ඇති. ඒ සියලු ඇස්වලට වඩා කඳුළු ගලන්න ඇත්තේ ඒ දුප්පත් අම්මගෙ ඇස්වලින්. ඒ අම්මා තරම් වෙන කවුරුවත් අඬන්න නැතුව ඇති. ඒ අම්මා ඇඬුවේ ආදරයයි, කරුණාවයි, දුකයි ඒ වගේම පාඩුව නිසා. යාළු මිත්‍රයොත් එහෙමයි. එච්.ආර්. ජෝතිපාල මැරුණයි කිව්වාම මම ඇඬුවේ නැහැ. අපි උඹ බං කියලා කතා කරන මට්ටමේ යාළුවෝ. මැරෙන්න ඉස්සෙල්ල මම ජෝතිපාලට කියල තිබුණා, උඹ මැරුණදාට උඹේ මළමිනිය බලන්න මම එන්නේ නැහැ කියලා. ඒ කිව්වේ හේතුවක් ඇතිව. මට ඕන කළේ එච්.ආර්. ජෝතිපාලගෙ මළමිනිය බදාගෙන අඬන්න නෙවෙයි. ජෝතිපාල කියන සහෘද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් හරි ජීවත් කරවන්න. අවුරුදු විස්සක නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට, අවුරුදු විස්සක් මගේ හඬින්ම මංවගේ ම මටම ගැළපෙන විදියට අවුරුදු විස්සක් සින්දු කිව්ව එච්.ආර්. ජෝතිපාල මැරුණාම ඒ හඬ මට ලබාදෙන්න වෙනකෙනකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ”.

ඒ කටහඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, තිස්ස විජේ සුරේන්ද්‍ර, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණිය, දමිත් ෆොන්සේකාට වගේම පසුකාලීනව ශෂී විජේන්ද්‍ර, ලාල් වීරසිංහ, රන්ජන් රාමනායක ගේ සිට අර්ජුන් කමලනාත් වැනි නළුවන්ටත් ඔවුන්ගේ සිනමා පෞරුෂය ගොඩනගා ගන්න විශාල ලෙස දායක වුණා කිව්වොත් නිවැරදියි.

ඔහුගෙ කටහඬ ඇහෙද්දි ඉබේටම වගේ මම ප්‍රේමයෙන් මුසපත්වෙලා මගේ රංගන කාර්යයේ නිරතවෙනවා. එහෙම බලද්දි ඔහුගේ හඬ නළුවන්ට විතරක් නෙවෙයි නිළියන් වන අපටත් අපේ රංගනය සාර්ථක කර ගන්න විශාල පිටිවහලක් වුණා. එවැනි හඬක් අපිට අහිමි වීම විශාල පාඩුවක්. අදට වුණත් තරුණයන් ගායකයෙක් විදියට ඉදිරියට එන්න ගායනා කරන්නෙ ඔහුගේ ගීත. ඒ ගීතවලින් තමයි ඔවුන් ශ්‍රාවක, ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන ජනප්‍රිය වෙන්නේ. හොඳම උදාහරණය සුරේන්ද්‍ර පෙරේරා. පුදුම හතෙන් එකක් කියන්නා වගේ ඔහු අපේ සිනමාවට මහා විස්මයක් එකතු කළා.

විජයගේ ඉල්ලීමට අනුව මා රඟපෑ “අභිරහස” චිත්‍රපටයේ “සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි.. යළි... යළී” ගයමින් ඔහු මා සමඟ රඟපෑවා. ඒ චිත්‍රපටයේ මම පෙනී සිටියේ ඒ ගීතයට පමණයි.

නමුත් ජෝති ගයන බෙහෙවින් ජනපිය වුණු “සිතුම් පැතුම් සඳ ආදරේ”, “සරා සඳේ සිනාහ සේලේ- මිහිදුම් සිහින”, “මල්වැහි සීතල මල් වැස්සේ”, “මී පිරුණ සුවඳමල් වනේ”, “සල් සපු නා නිල්මානෙල්”, ලෝකයේ වෙනස් වුණේ - සංගීතා”, “ආවාසොයා ආදරේ”, “ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා - තුෂාරා”, “සෙනෙහස පෑවා යළි හමු වූවා - යළි හමුවන්නයි”, “ආදර මල් පවනේ”, “මා ප්‍රර්ථනා අශාවෝ - ළසඳා”, “හද විමන් දොරින් - කස්තුරි සුවඳ”, “අමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ”, “වසන්තයේ මේ ආදරේ දේදුනු පායා - හොඳට හොඳයි” ,“ සුදු පාට මී දුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා”, “ආශා රොනින් පිරුණු - හත්දින්නක් තරු”... ඇතුළු බෙහෙවින් ජනාදරයට පත්වුණු බොහොමයක් චිත්‍රපට ගීතවලට මම රංගනයෙන් දායක වුණා.

ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. වෙලාවකට පොඩි ළමයෙක් වගේ. ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරල හම්බවෙන මුදල් ඔහු කවදාවත් ගෙදර අරන් ගියේ නැහැ. අතර මඟ කාටහරි උදව්වක් කරන්න වුණොත් ඔහු ඒ මුදල ඒ අයට දෙනවා. ඒ වගේ කෙනෙකු තුළ ලෙහෙසියෙන් දකින්න නොලැබෙන හරි උතුම් ගතිගුණ ඔහු සතුව පැවතුණා. ජෝති කියන්නේ සියල්ල අත හැර අපිස් ජීවිතයක් ගෙවූ අහිංසක මනුෂ්‍යයෙක්.

මට මතකයි, කේමදාස මාස්ටර් දවසක් කොහේදි හරි කියනවා ‘‘ජෝතිපාල සංගීතය හදාරලා නැහැ. ඒත් ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කෙනෙක් තවම මට හමු වී නැහැ.”. පස්සෙ කාලෙ එහෙම අය මාස්ටර්ට හමුවෙන්න ඇති. නමුත් මාස්ටර් වගේ කෙනෙක්ගෙන් පැසසුම් ලබන්න කෙනෙක් කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනද. ඒ වාසනාව ඔහුට තිබුණා. ඒ වගේම මාස්ටර් තවත් අවස්ථාවක කියනවා “ පරිපූර්ණ ස්ක්‍රීන්වොයිස් එකක් ලංකාවේ සිනමාව ආලෝකමත් කළා නම් ඒ ජෝතිගේ කටහඬයි” කියල. මම මේ කියන දේවල් ඒ විදියටම නොකිව්වා වෙන්න පුළුවන්. නමුත් එවැනි අදහසක් තමයි ජෝතිපාල පිළිබඳව මාස්ටර් තුළ තිබුණේ.

අද කොතරම් දියුණු තාක්ෂණය තිබුණත් නොයෙකුත් සංගීත නාද රටා තිබුණත් අපට තාම ඇහෙන්නේ ජෝතිලාගේ, මිල්ටන්ලගේ, එම් එස් ලගේ ගීත. ඒ අය අතරින් ජෝති කියන්නේ සිනමා පසුබිම් ගායනයේ එක යුගයක් නියෝජනය වෙනවා වගේම සර්වකාලීන ගායන පෞර්ෂයක්. ඔහු සිනමා සංගීතයේ පුරාවෘත්තයක් බඳුයි. ඒ අඩුව සම්පූර්ණ වන දවසක් මට මගේ දිවිය තිබෙන තෙක් දකින්න ලැබේවිදැයි සැක සහිතයි. එය එතරම්ම දුර්ලබ අවශ්‍යතාවක්.

රසික කොටුදුරගේ

 

 

Comments