චීන පදයට නටන උතුරු කොරියාවත් සමඟ ට්‍රම්ප්ගේ හොඳ හිත සැබෑවක්ද? | සිළුමිණ

චීන පදයට නටන උතුරු කොරියාවත් සමඟ ට්‍රම්ප්ගේ හොඳ හිත සැබෑවක්ද?

අමෙරිකා ජනාධිපති ධුරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි වූයේ අමෙරිකාව රටක්, ජාතියක් ලෙස ඉතාම අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දෙමින් සිටින වකවානුවකදීය. එබැවින් ජනාධිපතිවරයකු ලෙස ඔහුට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග රැසකි. තම රටේ තර්ජනයට ලක් වන ආර්ථිකය ස්ථාවර කරගැනීමේ සිට, ඉස්ලාම් අන්තවාදයට මුහුණදීම, චීනයෙන් ලෝක නායකත්වයට එල්ල වන ප්‍රබල අභියෝගයට ප්‍රතිචාර දැක්වීම සහ එයින් ආරක්ෂා වීම ඒ අතර වේ.

ට්‍රම්ප් ජනාධිපති වූයේ ද අමෙරිකා ජාතිකවාදය ඉදිරියට ගෙන එමිනි. සැබැවින්ම ඔහුට අමෙරිකානුවන් ඡන්දය ලබාදුන්නේ අහිමි වෙමින් යන අමෙරිකා බල කඳවුර ආරක්ෂා කරගැනීමට මෙන්ම බිඳ වැටෙමින් පවතින අමෙරිකානු නායකත්වය තවදුරටත් පවත්වා ගැනීමටය. බලයට පත් වී වසර හතරක් ගත වන තැන ට්‍රම්ප් ජනාධිපතිවරයා තවමත් අනවරත අරගලයක නිරත වෙමින් සිටින්නේ එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵල තක්සේරු කිරීමට තවමත් කල් වැඩි වුවද සැබවින්ම ඉදිරියේදී ඔහුට මුහුණ දීමට සිදු වන අභියෝග නම් සුළුපටු නොවන බව පැහැදිලිය.

මේ වන විට ඔහුගේ භූමිකාව සැබවින්ම සටන් පෙරමුණු කිහිපයක එකවර සටන් වැදීම හා සමානය. මේ සටන් පෙරමුණු අතරින් ඔහු අත් නොහරින තවත් ප්‍රධාන සටන් පෙරමුණක් වන්නේ උතුරු කොරියාවය.

බලයට පැමිණි මුල් කාලයේදී ඔහු උතුරු කොරියාව සමඟ මතබේදාත්මක ප්‍රකාශ නිකුත් කරගනිමින් වාචික සංග්‍රාමයක පැටලී සිටියේය. එහිදී උතුරු කොරියා නායකයාගෙන්ද ඔහුට උණුසුම් ප්‍රතිචාර හිමි වීම හේතුවෙන් ලෝකයේ සමස්ත ජනමාධ්‍යවලට රසවත් පුවත් ලැබෙන්නට විය. මීට සාපේක්ෂව උතුරු කොරියාව වැඩි වැඩියෙන් මිසයිල අත්හදා බැලූ අතර එහි උච්චතම අවස්ථාව වූයේ අමෙරිකාවේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කළ හැකි මිසයිලයක් උතුරු කොරියාව විසින් නිපදවනු ලැබීමය.

මේ සියල්ලට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පාලනය විසින් නොකඩවා උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබීය.

එහෙත් එක්වරම ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාව තමන්ගේ ප්‍රබලම සතුරා යන භූමිකාවේ සිට තමන්ගේ නවතම මිතුරා බවට පරිවර්තනය කර ගත්තේය.

ට්‍රම්ප්ගේ මේ පෙරළියට හේතු කිහිපයක්ම විය. ඒ වන විට චීනය නිහඬ එහෙත් සාර්ථක ගමනක නිරත වෙමින් ලෝකයේ, විශේෂයෙන් ආසියාවේ රටවල් තමන්ගේ පාර්ශ්වයට නතු කර ගනිමින් සිටීම එයට ආසන්න හේතුවක් විය. උතුරු කොරියාව අමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට එකඟ වූ අවස්ථාවේදී එසේ සාකච්ඡා පැවැත්වීමට පෙර උතුරු කොරියා නායකයා චීනයේ ඓතිහාසික සංචාරයක නිරත වූ බව අමතක කළ යුතු නැත. ඒ අනුව අමෙරිකාව කුමන අන්දමේ මිතුරුදම් පෙන්වුවද උතුරු කොරියාව නටන්නේ චීනයේ පදයට බව අමතක කළ යුතු නැත.

කෙසේ වුවද තමා පාලකයකු ලෙස ලෝකයට යුද්ධය නොව සාමය ගෙන ඒමට කැප වන බවට උදාහරණ සපයමින් ට්‍රම්ප් තමා වරෙකදී ‘රොකට් මෑන්‘ ලෙස හැඳින්වූ උතුරු කොරියා නායකයා සමඟ සාකච්ඡා වාර දෙකක්ද පැවැත්වූයේය. ඒ සාකච්ඡා වාර දෙකම සාර්ථකත්වයකින් තොරව අවසන් වූ බවද අමතක කළ යුතු නැත. විශේෂයෙන්ම දෙවැනි සාකච්ඡා වාරය අවසන් වූයේ තුන් වැනි සාකච්ඡා වාරයක් පැවැත්වීම අවිනිශ්චිත බවද ප්‍රකාශයට පත් කරමිනි. එහෙත් තමන් පහසුවෙන් පසු නොබසින්නකු බවට සාක්ෂි සපයමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා යළිත් වරක් උතුරු කොරියාව සම්බන්ධයෙන් වන තම පිළිවෙතෙහි පියවරක් ඉදිරියට තැබුවේය. ඒ උතුරු කොරියා භූමියට පය තැබූ ප්‍රථම අමෙරිකා ජනාධිපතිවරයා බවට පත් වෙමිනි. පසුගිය ඉරිදා ඔහු ඒ වාර්තාව තැබූ අතර ප්‍රථමයෙන්ම ඔහු පැමිණියේ උතුරු සහ දකුණු කොරියා දෙරට අතර ඇති මධ්‍යස්ථ සීමාවටය. එම සීමාව දෙරටටම අයත් නැති පොදු කලාපයක් ලෙස සැලකේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා හමු වීමට තමන්ගේ දේශසීමාවට පැමිණි උතුරු කොරියා නායක කිම් ජොන්ග් අන් එහිදී තම දේශයට පා තබන ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියා භූමියට පා තැබුවේය.

කෙසේ වුවද ඒ සිදු වීමෙන් බාහිර වැදගත් සිදු වීම් කිසිවක් දී සිදු නොවීමද සැලකිල්ලට ලක් කළ යුතුය. එහෙත් වොෂිංටනය මේ සිදු වීම හුවාදක්වමින් ප්‍රකාශ නිකුත් කර තිබුණේ ජනාධිපතිවරයාගේ මේ සංචාරය අමෙරිකාවේ නම්‍යශීලීත්වය සහ හිතෛශීභාවය සඳහා හොඳම උදාහරණයක් බව පවසමිනි. ඒ සංචාරය ගැන දැනුම්වත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වන සියලුම රටවලට ලිපි නිකුත් කිරීමටද වොෂිංටනය කටයුතු කර තිබිණි.

වැඩිදුරටත් වොෂිංටන් ප්‍රකාශවල සඳහන් වී තිබුණේ වාර්ෂිකව උතුරු කොරියානුවන් දහස් ගණනක් රැකියා සොයමින් රුසියාවට සහ චීනයට සංක්‍රමණය වන බවයි. එම සංක්‍රමනිකයන් එම රටවල වහලුන් මෙන් වැඩ කරන බවද පවසමින් වොෂිංටනය අනුකම්පාව දක්වා තිබේ.

මේ අතර උතුරු කොරියාව පවසා තිබුණේ අමෙරිකානු ජනාධිපතිවරයා තම රටේ සංචාරයක නිරත වුවද තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කරන මෙන් තමන් ඔහුගෙන් කිසිදු ඉල්ලීමක් කිරීමට සූදානම් නැති බවයි.

පසුගියදා ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී එරට ජනතාව උද්ඝෝෂණවල නිරත වෙමින් පවසා සිටියේ ට්‍රම්ප් ලෝකයට යුද්ධය ගෙන එන බවයි. එහෙත් තමන් යුද්ධය වෙනුවට සාමය ගෙන ඒමට කැප වන නායකයකු බව උතුරු කොරියාව සමඟ දිගින් දිගටම හොඳ හිත පවත්වා ගනිමින් තහවුරු කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා උත්සාහ කරන බව ඒ සිදුවීම් මාලාවත් සමඟ අනුමාන කළ හැකිය. සත්‍ය සහ යටි අරමුණු කෙසේ වුවද කිසිවකු හෝ යුද්ධය වෙනුවට සාමය ගෙන ඒමට කටයුතු කරන්නේ නම්, උත්සාහ දරන්නේ නම් එය අගය කළ යුතුමය.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ උත්සාහයේ ප්‍රතිඵල කෙසේ වේදැයි අනාගතය තීරණය කරනු ඇත.

 

 

අදහස්