ඉතාලියේ පේව්මන්ට්වල දිය වෙන ලාංකිකයන්ගේ ඉතාලි හීන | සිළුමිණ

ඉතාලියේ පේව්මන්ට්වල දිය වෙන ලාංකිකයන්ගේ ඉතාලි හීන

ඉතාලිය පිළිබඳ ලියැවුණ පරිවර්තන නවකතා වැනීසිය, මිලානෝ නගර ගැන රස කතා අසා, ලියනාඩෝ ඩාවින්චි නම් වූ මහා චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නඟන මොනාලීසා, අන්තිම භෝජන සංග්‍රහය ආදි සිතුවම්, විසල් පල්ලි ගැන තොරතුරු අසා ඉතාලි යන්නට ආසාවක් උපන්නේ කලකට කලිනි. දවසක ඉතාලියට යන්න ඇත්නම්, එහි සුන්දරත්වය දකින්නට ඇත්නම් හිතට හිතුනු වාර අපමණයි. නමුත් ඉතාලි යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව දිනෙන් දින වැටහිනි.

ඉතාලි යෑමේ සිහිනය සිහිනයක් ම පමණක් වන විට කෙසේ හෝ ඉතාලි යෑමේ සිහිනය ඉටුකර ගත්තන් අපමණ ය. මීගමුව, ජා-ඇල, වෙන්නප්පුව, හලාවත ආදි ප්‍රදේශමෙන්ම රටේ අනිකුත් ප්‍රදේශවලින් ද ඉතාලියට ගොස් ජීවිත සරු කර ගත්තවුන් ද අපමණ ය. ඒ අපමණ දෙනා අතර ජීවිතය වරද්දා ගත්තෝ ද අපට හමුවෙති. ජීවිත සරු කරගන්නේ අසීරුවෙනි; නමුත් ජීවිත කඩා වැටෙන්නට මහ වෙලාවක් ගත වන්නේ නැත. මේ කියන්නට යන්නේ ඉතාලි ගිය සමස්තයේ කතා වස්තුව නොව, බොහෝම සුළු පිරිසකගේ කතාවකි.

හරි පාරෙන් ඉතාලියට ගිය අය අතර වැරදි පාරෙන් ඉතාලියට ගොස් බොහෝ දුක් කරදර විද ජීවිතය ගොඩ දාගත්තෝ ද සිටිති. කතාවේ මාතෘකාව ඉතාලියට යන හරි පාර හෝ වැරදි පාර ගැන නොව, ඉතාලියේ නාපෝලි වල පාරේ නිදා ගන්නා ලාංකික පිරිමි ජීවිත ගැන ය.

මේ හෝඩුවාව අප වෙත ලබා දෙන්නේ කලක් ඉතාලියේ සිටි මිතුරෙකි. ලංකාවේ සිට ඉතාලියේ නගර වල අහුමුළු සෙවීම පහසු නැත. නමුදු මිතුරන් කිහිප දෙනකු ඇමතීමෙන් ඔවුන්ගේ මිතුරන් හා කතා කිරීමෙන් මේ මිනිසුන්ගේ ජීවිතවල ඇත්ත නැත්ත සොයා ගන්නට උත්සාහ කළෙමු.

අපේ කතාවට පසුබිම් වන්නේ ඉතාලියේ නාපෝලි වල ගැරිබෝල්ඩ් ප්‍රදේශයයි.

“නිවාඩුවකට මම නාපෝලි ගියා. ගැරිබෝල්ඩ් පහුකරලා ගියාම තමයි සුප්‍රසිද්ධ විසුවියස් ගිනි කන්ද , පොම්පෙ නගරය එහෙම හමු වන්නේ. සොරෙන්ටෝ මුහුදු තීරය හරිම ලස්සනයි. නාපෝලි කියන්නේ සුන්දර නගරයක්. නාපෝලිවල පීසා හරිම ප්‍රණිතයි. පීසා මුලින් ම හැදෙන්න ඇත්තේ නාපෝලිවල කියලත් කතාවක් තියෙනවා.

ඒත් මේ සියලු දේ අතරෙ අත්හැරුණු මිනිසුන්ගේ ජීවිත ඛේදවාචකයත් ඇඳිලා වෙලා තියනවා. මේ සමෘද්ධිමත් නගරයේ යටිපෙළත් හරිම සංකීර්ණ එකක්. ගැරිබෝල්ඩ් වලදි මම දැක්කා පාරේ නිදාගෙන ඉන්න මිනිස්සු. ඒ අය අතර ලාංකිකයෝ කිහිප දෙනෙක් මෙන්ම වෙනත් රටවල මිනිස්සුත් හිටියා; ඉන්න හිටින්න නැති මිනිස්සු.

ඒත් මේ මිනිසුන්ගේ ජීවිත මහා සමාජය විසින් අත්හැරලා දාල ම නෑ. මේ අය වෙනුවෙන් ස්වෙච්ඡා සංවිධාන සියලු පහසුකම් සපයනවා. මනුෂ්‍යත්වය පිරුණු රටක්. උත්සාහවන්ත පුද්ගලයන්ට දියුණු වෙන්න පුළුවන් රටක්. ඉතාලිය වගේ රටක ඉඳලත් මේ මිනිසුන්ට මෙහෙම වූණේ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. මේ කතාව හරියට අපායයි ස්වර්ගයයි එක ළඟ තියෙනවා වගේ.” එංගලන්තයේ වෙසෙන මිතුරු මාර්කස් ප්‍රියන්ත පෙරේරා පැවැසුවේ ඉතාලියේ නාපෝලි නුවර කළ සංචාරකයකදි තමන් දුටු දේ ය.

ඉතාලි ගොස් පාරට වැටුණ ගණන සුළු වුව ද එහි වෙනම ම කතාවක් ඇති නිසා ඒ ගැන විමසන්නට සිත බල කළේ ය. එනිසාම වසර ගණනාවක් තිස්සේ එහි සේවය කරන නික්සන් පීරිස් සමඟ කතා බහ කරන්නට අපට අවස්ථාව ලැබිණි.

“මේ ගැන කතා කරන එක හොඳයි. නමුත් මේ පාරේ ඉන්න පිරිස වෙනම කණ්ඩායමක්. ඉතාලියට ආව හැමෝගෙම ජීවිත මේ වගේ නෙමෙයි. මම සේවය කරන්නේ පීසා හට් එකක. මමත් මෙහෙ ඇවිල්ලා වසර ගණනක් වෙනවා. ඉතාලියට එන එක හිතන තරම් සුන්දර නැහැ. ලොකු කට්ටක් කන්න ඕන. අපි මේ රටේ භාෂාව ඉගෙන ගන්න ඕන. රස්සාවක් හොයා ගන්න ඕන. අපි ඒ හැම කට්ටක් ම කාලා තමයි අද මෙතැන ඉන්නේ.“

“මම උදේ හවස යන්නේ මේ අය ඉන්න තැනින්. ලංකාවේ අය ඉන්නේ දහයක් දොළහක් වගේ ප්‍රමාණයක්. චීනය, රුමේනියාව වගේ වෙනත් රටවල අයත් මෙතන ඉන්නවා. පාරේ නිදා ගන්න ලංකාවේ අය නම් ඉන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් වගේ. අනිත් අය දවල් දවසේ පාරේ ඉඳලා රෑට නිදා ගන්න තමන්ගේ කවුරු හරි මේ පැත්තේ ඉන්නවා නම් එයා ළඟට යනවා.“

ඔබ මේ අය එක්ක කතා කරලා නැද්ද?. මම විමසමි.

“අයියෝ කතා කරලා තියෙනවා. සමහරු පාරට වැටිලා තියෙන්නේ පවුල් ප්‍රශ්න නිසා. තව සමහරු බීමට ඇබ්බැහි වුණ නිසා. පාරේ ඉන්න අය අතර මැදිවියේ කිහිප දෙනෙකුත් තරුණ අයත් ඉන්නවා.”

නික්සන් පවසන්නේ තමන් උදේ හවස දකින මිනිසුන් ගැන ය; තමන් කතා බහ කර එන මිනිසුන් ගැන ය. පවුල් ආරවුල් නිසා හෝ අනියම් සම්බන්ධතා නිසා පවුල කඩා කප්පල් වීමෙන් ලංකාවේදී නම් අසරණ වන්නේ ගැහැනියයි. නමුදු නාපෝලියේදී නම් පවුල් කඩාකප්පල් වීමෙන් පාරට වැටෙන්නේ පිරිමියා ය.

ඉතාලියේ ඕනෑම වෙළෙඳසලකින් මත්පැන් මිලට ගැනීමට පුළුවන. හිතේ ප්‍රශ්න ඇති විට ඒවා යටපත් වීමට ඔවුහු බීමට පෙලඹෙති. එහි අවසානය වන්නේ ඔහු බීමට ඇබ්බැහිවීම ය. බීමට ඇබ්බැහි වූ අයකුගෙන් පිළිවෙලක් බලාපොරොත්තු විය නොහැකිය. රැකියාව ද අහිමි වූ පසු යන එන මං අහිමි වන තැනැත්තා වැටෙන්නේ පාරට ය; රැකියාව නැති නිසා ගෙවල් කුලිය ගෙවන්නට බැරි ය; රැකියාව නැති නිසා වීසා දික්කර ගන්නට ද බැරි ය. අවසානයට මොවුන්ට ඉතිරි වන්නේ එඩ්‍රස් නැති ජීවිතයකි.

“මෙහෙමයි මෙහෙදි ජෝඩුවක් හිටියොත් දෙන්නම රස්සාවට යනවා. ලංකාවෙදි වගේ නෙමෙයි, ගැහැනියත් මෙහෙදි මහන්සි වෙලා වැඩ කරනවා. මේ රටේ කාන්තාවට තමයි තැන තියෙන්නේ. ඇයට අතක් උස්සන්වත් පිරිමියාට අයිතියක් නැහැ. පවුල දෙකඩ වුණොත් ගැහැනිය කොහේ හරි නතර වෙලා රස්සාවක් කරලා ජීවත් වෙනවා. පිරිමියා පාරට වැටුණොත් වැටුණා ම තමයි. එහෙම අයගෙන් අතළොස්සක් තමයි මේ පාරේ ඉන්නේ.

ලංකාවෙදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු තරුණයො මෙහෙ ඇවිල්ලත් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන එක. ඒ අයගේ අක්කලා, අම්මලා ඉන්නවා නම් ඒ ගොල්ලෝ මේ පුද්ගලයන්ට ඉන්න දෙනවා. රස්සාවක් කරන්න උවමනාවක් නැහැ. පාරේ ඉඳන් කාගෙන් හරි යුරෝ එකක් දෙකක් ඉල්ලගෙන වයින් බොනවා. ලංකාවෙදි විස්කි බොන්න සල්ලි නැති වුණත් මෙහෙදි දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වුණාම ගාණක් දාල විස්කි බෝතලයක් ඕන තැනකින් ගන්න පුළුවන්. “

“මෙහෙ මත්ද්‍රව්‍යවලට නිතී තිබුණාට එවා පාවිච්චි කරන අයගෙන් කාටවත් කරදරයක් නැත්නම් පොලිසියෙන් ප්‍රශ්නයකුත් නැහැ. මේ අයව ඒවායින් ගලවා ගැනීමයි කළ යුත්තේ. ඒත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා කවුරුවත් මේ අයට රස්සාවල් දෙන්නේ නැහැ. මේ ගොල්ලන් පාරේ ඉන්නවා; රෑට පාරේ නිදා ගන්නවා. උදේ පාන්දර පහමාර හය වෙනකොට නැවුම් දියර කිරි, නෙස්කැෆේ, තේ ආදිය ගෙනැල්ලා බෙදනවා. උදේට දවල්ට රෑට උණු උණුවේ ම කෑම බෙදනවා. කෑම එතෙන්ට ගෙනැවිත් තමයි බෙදන්නේ. සීත කාලෙට නිදාගෙන ඉන්න කොට රෙදි පොරවලා යන්නේ, මේ අයට ඇඳුම් ආදිය දෙන්නේ ස්වෙච්ඡා සංවිධානවලින්. රාත්‍රියේ මොවුන් නිදාගෙන හිටපු පාරවල්, පදික වේදිකා නගර සභාවෙන් හෝදලා පිරිසිදු කරලා යනවා. අපේ ලංකාවේ අයට කියලා විශේෂයක් නැහැ... එතන ඉන්න හැම ජාතිකයෙකුට ම එරට රජයෙන් සලකන්නේ ඒ විදිහයටයි. මම නම් දකින්නේ පාරට වැටිලා ඉන්න මේ අය ඔවුන්ගේ අදක්ෂතාවය නිසයි. එහෙම නැතිව මේ රටේ වරදකින් නෙමෙයි.”

නික්සන් විසින් නාපෝලියේ පාරට වැටුණ ජීවිත ගැන පැහැදිලි කිරිමක් කළේ එසේ ය.

අතේ සතේ නැති වුණත් රස්සාවක් නැති වුණත් ගැරිබෝල්ඩ් හි පාරේ රස්තියාදු වෙමින් සිටින නිකමුන් දවල් දවසේ සිය ප්‍රධාන මාතෘකාව කරගන්නේ ලංකාවේ දේශපාලනය ය. “දේශපාලකයන් ගැනයි දේශපාලනය ගැනයි ගල් පැලෙන තර්ක මට ඕන තරම් ඇහිලා තියනවා. දේශපාලනය කතා කරලා කම්මැලි හිතුනම සින්දු කියනවා. මේ හැමෝම හිඟා කෑවට පාවිච්චි කරන්නෙ හොඳ ම වර්ගයේ ජංගම දුරකථන. අන්තර්ජාලයෙ පැය ගණන් ගත කරනවා. එෆ්.බී එකේ සැරිසරනවා. එහෙම තමයි මේ මිනිස්සු දවස ගෙවන්නේ “

“නගරයේ පැත්තක මේ අයට වැසිකිලි කැසිකිලි පහසුකම් තිබෙනවා. නාගන්නට ස්ථාන තියනවා. අසනීප වුණාම මේ අයට රෝහල් ගත ප්‍රතිකාර කරනවා. මැරෙනකම් මේ රටේ ආණ්ඩුව මේ මිනිසුන්ව බලා ගන්නවා. හිඟා කකා පාරේ සිටියත් හි මොවුන් ලංකාවට එන්න අකමැති ඒ නිසා. මේ මිනිස්සුන්ට ආයෙ මේ වගේ රටකට එන්න හිතන්නවත් බෑ.“ එසේ කියන්නේ කලක් තිස්සේම ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකි. ඔහු ඒ කතාව තවදුරටත් විස්තර කරන්නේ මෙසේය.

“මෙහෙ තියෙනවා දේශපාන රැස්වීම්. ඒ ලංකාවේ දේශපාන පක්ෂ වලට උදව් කරන ඒවා. පක්ෂය රතු ද කොළ ද නිල් ද කියන එක මෙයාලට වැඩක් නැහැ. මම දැකලා තියෙනවා මේ අය ඒ රැස්විම් වල ඉන්නවා.“ ඉතාලියේ සිටියත් මේ ලංකාවේ මිනිසුන්ම බව සිහිවන්නේ මෙවැනි කතා ඇසෙන විට ය. බත් පැකට් එකකට, තේ කෝප්පයකට ලාංකික ඔළුගෙඩි සොයා ගන්නට ඉතාලියට ගියත් පුළුවන.

“කාගෙවත් වරදින් නෙමෙයි මේ ගොල්ලෝ මේ පාරට වැටිලා ඉන්නේ. ඒ අයගෙන්ම වරදින්. ඉතාලියට ආව හැමෝට ම මෙහෙම වෙලා නැහැ. බොහෝම සුළු පිරිසයි මේ විදිහට ඉන්නේ. තමන්ගේ ජීවිත වල වටිනාකම නොදන්න නිසයි ඔවුන් ඒ තත්වයට පත්වෙලා ඉන්නේ.” කලක් තිස්සේ ඉතාලියේ වෙසෙන හිතමිතුරකු පැවැසුවේ එලෙසිනි.

“නාපෝලිවල අපේ අය දහ අට දහසක් විතර ඉන්නවා. මෙහෙ හුඟක් ලාංකික සංවිධාන තියෙනවා. ඒවායින් බොහෝ හොඳ දේ වෙනවා. නාපෝලියේ පදිංචි ලාංකිකයන්ගේ පාසල් යන තරුණ දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම තමයි ලොකුම ඛේදවාචකය. අම්මලා තාත්තාලා රස්සාවට යනවා. දරුවෝ ගැන බලන්න තියෙන කාලය අඩුයි. ඒ වගේම තමයි පාරට වැටිලා ඉන්න අය එවායින් ගොඩ යන්න හිතන්නේ නැහැ. මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා කවුරුවත් මේ අයව කාමර වලට ගන්නත් කැමති නැහැ. මොවුන්ව ලංකාවට ගෙන්නා ගන්න රජයෙන්වත් වැඩ පිළිවෙලක් තියෙනවා නම් හොඳයි. පාරවල්වල ඉඳලා මේ අය එහිම මැරිලා යාවි දවසක. එහෙම වෙලත් තියෙනවා.“

වසර ගණනාවක් තිස්සේ නාපෝලි වල ජීවත් වන තවත් අයකු එහි දැන් තත්ත්වය ගැන පැවැසුවේ එසේය.

ජීවිතය පිළිබඳ වටිනාකමක් දැක්මක් නැති දෘෂ්ටි හීන මිනිසුන් හිටියත් මළාක් මෙනි. මෙවැනි මිනිසුන් ලොව කොතැන හිටියත් ජීවිතයේ එක් අඩියක්වත් ඉදිරියට තියන්නෙ නැත. බොහෝ විට මේ බිඳ වැටීම්වලින් ප්‍රකට වන්නේ මානසික අවනතීන්ය. දියුණු රටවල මිනිසුන් මෙවැනි පුද්ගලයන් පිළිබඳ මානුෂික ව සලකන්නේ ඒ පදනමිනි.

ගැටලුව එය නොවේ. සිය රටේ පුරවැසියන් සිය රටට බරක් නම් එය රට තුළ ක්‍රියාත්මකවන ප්‍රායෝගික රටාවේ ගැටලුවකි. එය අප විසඳා ගත යුතුය. එහෙත් ස්වකීය පුරවැසියන් පිට රටක නන්නත්තාරව හිඟන්නන් සේ මහ මඟ වැටී සිටී නම් රටක් ලෙස අප ඔවුන් වෙනුවෙන් යම් මැදිහත්වීමක් කළ යුතුය; මේ ඊට අවස්ථාව ය.

 

අදහස්