දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය තුලනාත්මක අධ්‍යයනයක්” | Page 2 | සිළුමිණ

දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය තුලනාත්මක අධ්‍යයනයක්”

කර්තෘ - ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ විසින් ස්වකීය දර්ශනපති උපාධි පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය : තුලනාත්මක අධ්‍යයනයක්” නමැති කෘතියට විවරණයක් ලිවීමට ලැබීම මෑත යුගයේ මා ලද භාග්‍යයක් කොට සලකමි. ඊට හේතු ගණනාවකි. මෑත යුගයේ ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශන විශාරද (M.A., MPhil., PhD) උපාධි සඳහා ඉදිරිපත් කරන ලද පර්යේෂණ කෘති සියයකට අධික සංඛ්‍යාවකට උපදෙස් දීම, පරීක්ෂා කිරීම, ඇගයීම ආදී කාර්යයන්හි නිරත වීමෙන් මා ලද අත්දැකීම් හා සසඳන විට ඉතා ගැඹුරු හා පුළුල් පසුබිමකින් යුක්තව නිවැරදි ක්‍රමවේදයක් යටතේ ඉදිරිපත් කොට ඇති මේ කෘතිය මා සිත්ගත් හොඳ ම කෘති දෙක, තුන අතරට අයත් බව පවසන්නේ අතිශයෝක්තියක් ලෙස නොව යථාර්ථයක් වශයෙනි.

බෞද්ධ දර්ශනය යනු හුදෙක් පටිච්චසමුප්පාද, චතුරාර්යසත්‍ය, ත්‍රිලක්ෂණ, පඤ්චස්කන්ධ වැනි මූලික ඉගැන්වීම් විවිධ උද්ධෘත පාඨ යටතේ විග්‍රහ කිරීම පමණක්ම නොවේ. එම ඉගැන්වීම්වල යථා ස්වරූපය හඳුනාගැනීම සඳහා ඒ පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් අවශ්‍යයෙන් ම කළ යුතු ය. සූත්‍ර පිටකයේ ප්‍රථම කෘතිය වන දීඝ නිකාය “Dialogues of the Buddha” යනුවෙන් පරිවර්තනය කොට ඇත්තේ එහි එන බොහෝ සූත්‍රවල බුදුරදුන් හා වෙනත් ආගමික - දාර්ශනිකයන් අතර පැවති සාකච්ඡා ඇතුළත් බැවින්ය. එහි එන මුල්ම සූත්‍ර දෙක වන බ්‍රහ්මජාල හා සාමඤ්ඤඵල යන සූත්‍රවල ද අපට හමුවන්නේ බෞද්ධ දර්ශනය හා සමකාලීන භාරතීය ආගමික හා දාර්ශනික ඉගැන්වීම් පිළිබඳ විග්‍රහාත්මක, තුලනාත්මක විචාරයකි. දිල්ශාන් මනෝජ් රාජපක්ෂගේ කෘතියට ද එම පසුබිම මනා පිටිවහලක් වී ඇති බව පෙනේ. මේ කෘතියෙහි ඇති විශේෂත්වයක් නම් එකල භාරතීය දර්ශනවාද අතර බුදුසමයේ ස්වරූපය තුලනාත්මකව පැහැදිලි කිරීමට අමතරව බටහිර චින්තනය හා සම්බන්ධ ග්‍රීක, මධ්‍යතන යුගයේ චින්තනය, නූතන දාර්ශනික යුගයේ චින්තා, සමකාලීන දාර්ශනික යුගයේ චින්තා ආදි එම චින්තනයේ සෑම අංශයක්ම පාහේ බුදුදහම හා තුලනාත්මකව විග්‍රහ කොට තිබීමයි. එක් අරුතකින් සලකා බලන විට මේ කෘතිය බ්‍රහ්මජාල සූත්‍රයේම නූතන ප්‍රසාරණයක් දැයි සිතෙන තරම්ය.

කතුවරයාම සඳහන් කරන පරිදි කේ. එන් ජයතිලක වැනි කෘතහස්ත බුද්ධිමත් විද්වතුන්ගේ ආලෝකය ද ලබමින් ඔහු ගෙන ඇති උත්සාහය බෞද්ධ දර්ශන විෂය හදාරන ගුරු-ශිෂ්‍ය දෙපාර්ශ්වයේම අවධානයට යොමු විය යුතු බව මාගේ විශ්වාසයයි.

පෙරදිග හා බටහිර දර්ශනවාද සියල්ලම පාහේ ඒකරාශී කොට බුදුදහම සමඟ තුලනාත්මකව විග්‍රහ කර ඇති එකම කෘතියක්වත් මෑත භාගයේ පළ කොට ඇති බවක් නොදනිමි. බෞද්ධ අධ්‍යයනයන්හි නියුතු විද්වතුන්ට මුහුණ පෑමට සිදු වන එම ගැටලුව සතුටුදායක අන්දමින් විසඳෙන කෘතියක් වශයෙන් මෙහි කාලීන වැදගත්කමද ප්‍රකාශ කළ යුතුය.

බුදුසමය යනු කිසියම් ස්ථාවර මතවාදයක හෝ දෘෂ්ටියක පිහිටා එය තහවුරු කිරීම සඳහා තර්ක-විතර්ක සාධක ඉදිරිපත් කරන දර්ශනයක් නොවේ. ආසියානු හා බටහිර අනෙකුත් සියලු දර්ශනයන්හිම පාහේ දක්නට ලැබෙන මූලික ලක්ෂණයක් නම් එබඳු උපකල්පන තහවුරු කිරීම සඳහා සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමය. බුදුදහම ලෝකයේ හා පුද්ගලයාගේ යථා ස්වරූපය තත් වූ පරිද්දෙන්ම අවබෝධ කර ගැනීමට (යථාභූතඤාණදස්සන) මඟ පෙන්වන්නකි. එහි දී මුලින් ගොඩනංවන ලද මතවාදවල එල්බ ගැනීමක් නැත.

විවිධ දාර්ශනිකයන් පුද්ගලයා සහිත ලෝකය පිළිබඳ ඉදිරිපත් කොට ඇති සියලු මතවාද දෙස බුදුදහම උපේක්ෂා සහගතව බලයි. එසේ බලා ඒ සියල්ලේ හරය මෙන්ම සීමිත බවද හඳුනාගනියි. මානව චින්තනය මෙහෙය විය හැකි උපරිම අන්තය තෙක් විමර්ශනය කොට ඒ සියලු උපකල්පනයන් පාදක කොට ගෙන යථාර්ථවාදී විග්‍රහයකට එළඹෙයි. විශ්ලේෂණ හා සංශ්ලේෂණ ක්‍රම යනුවෙන් අධ්‍යයනය කරනු ලබන්නේ එම ක්‍රමෝපාය ය.

උදානපාලි ජච්ඡන්ද වග්ගයේ සඳහන් පරිදි ජාත්‍යන්ධ පුද්ගලයන් පිරිසක් විසින් හස්තියෙකුගේ ඒ ඒ කොටස් ස්පර්ශ කරන ලදුව පහත සඳහන් ආකාරයේ ප්‍රකාශන ඉදිරිපත් කරන ලදී.

හස්තියා පර්වතයක් හා සමාන ය. (ශරීරය)

හස්තියා මුසුනක් හා සමාන ය. (වල්ගය)

හස්තියා කුල්ලක් හා සමාන ය. (කන)

හස්තියා නගුලිසක් හා සමාන ය. (සොඬ)

හස්තියා කණුවක් හා සමාන ය. (පාදයේ යට කොටස)

හස්තියා වංගෙඩියක් හා සමාන ය. (පාදයේ උඩ කොටස)

හස්තියාගේ ඒ ඒ කොටස් වෙන් වෙන්ව සලකා බලන විට ජාත්‍යන්ධ පුද්ගලයන් සියලු දෙනාගේ ප්‍රකාශන බොහෝදුරට සත්‍යය. එහෙත් සමස්ත හස්තියා සම්බන්ධයෙන් එම ප්‍රකාශන අසත්‍යය. එබැවින් බුදුදහම එබඳු ප්‍රකාශන පච්චේක සච්ච - අර්ධ සත්‍ය (කේ. එන්. ජයතිලක) වශයෙන් හඳුන්වා දෙයි. බුදුදහම වෙනත් දර්ශනවාද ආදිය දකින්නේද මේ අයුරින්ය. එහෙත් එම ජාත්‍යන්ධ පුද්ගලයන් විසින් සම කොට ඇති උපමා සියල්ල ක්‍රමානුකූලව ගොනු කොට චිත්‍රයක් නිර්මාණය කළහොත් අපට සාමාන්‍ය හස්තියෙකුගේ ස්වරූපය ලැබේ.

සමකාලීන භාරතීය දර්ශනවාද පිළිබඳ විග්‍රහය (විශ්ලේෂණය) හා ඒවා අතර සම්බන්ධය (සංශ්ලේෂණය) මඟින් බුදුදහම ඉදිරිපත් කොට ඇත්තේද එබඳු විග්‍රහයකි. තව ද එම සීමාවෙන් ඔබ්බට ගොස් නිර්වාණය නමැති යථාර්ථය ද ඉදිරිපත් කොට ඇති අතර ඒ සඳහා නිවැරදි මාර්ගය වූ මධ්‍යම දර්ශනය ද හඳුන්වා දී ඇත. පෙරදිග හා බටහිර දර්ශනවාද බුදුදහම හා තුලනාත්මකව හැදෑරීමෙන් දිල්ශාන් මනෝජ් රාජපක්ෂ ඉදිරිපත් කරන නිගමනය ද මෙය බව පෙනේ. වර්තමානයේ ඉතා සරල ප්‍රස්තුත සඳහා සිය ගණන් අධෝ ලිපි හා අන්ත ලිපි දක්වමින් ලියැවෙන දහස් ගණන් පර්යේෂණ යැයි හඳුන්වනු ලබන කෘති අතර ඉඳහිට හෝ මෙබඳු කෘතියක් දක්නට ලැබීම සැබැවින්ම භාග්‍යයකි.

මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

අදහස්