පඬුපුල් අස්නේ කැත-මිටි භූතයෙක්! | සිළුමිණ

පඬුපුල් අස්නේ කැත-මිටි භූතයෙක්!

මොනවාද අප 'රැස් කරන' දේවල්? අප සංසාරයේ ගමන් කරන්න අවශ්‍ය වන ආකාරයට පංච උපාදාන ස්කන්ධ නැවත නැවතත් රැස් කරගන්නවා; කුසල කර්ම, අකුසල කර්ම රැස් කරගන්නවා. සංසාරයේ පැවැත්ම සකස් කරගන්න ගමන් කරන මේ මාර්ගයේ පළමු වැනි අංගය තමයි 'මිච්ඡා දිට්ඨි' කියලා කියන්නේ. එනම් 'සම්මා දිට්ඨියට' විරුද්ධ වචනය. සම්මා දිට්ඨියෙන් ‍තොරව ඉන්න වේලාවක අප ළඟ තිබෙන්නේ මිච්ඡා දිට්ඨිය‍යි. ඒත් අපට බැලූ-බැල්මට අපට සිතෙන්නේ අප ළඟ මිථ්‍යා දෘෂ්ටිය නැතැයි කියායි.

එහෙත් බලන්න: අ‍පේ හිත තුළ කාම සංකල්පනා හටගන්නේ මිථ්‍යා දෘෂ්ටිය පදනම් කරගෙනයි‍. අපේ හිත තුළ ව්‍යාපාද සිතිවිලි -එනම්: තරහා සිතිවිලි- ඇති වන්නේ මිථ්‍යා දෘෂ්ටිය පදනම් කරගෙනයි. සම්මා දිට්ඨිය මුල් කරගෙන කාමයක්, තරහාවක් ඇති වන්න විදියක් නැහැ නේ?

අපේ සිත තුළ විතරක් නොවෙයි; දෙවියන්ගේ සිතේ පවා විටෙක මේ තරහාව උපදිනවා. දවසක් සක්දෙවියන්ගේ පාණ්ඩුකම්බල සෛලාසනය මතට ආවා ඉතා අවස්සන, ඉතා පුංචි භූතාත්මයක්; ඇවිත් මේ ආසනය උඩ ඉඳ සිටියා. තවුතිසාවේ දෙවිවරුන්ට හොඳටම කේන්ති ගියා, අ‍පේ නායකයාගේ ආසනයේ මේ කැත-මිටි භූතයෙක් ඉන්නවා කියලා. ඔවුන් මේ භූතයාට දොස් කිව්වා. මෙහෙම බනින කොට මේ කැත-මිටි යක්ෂයා ටික ටික විශාල වන්න පටන්ගත්තා. තව බනින කොට ලස්සන වෙන්න පටන් ගත්තා. තව-තවත් බනිද්දි තව-තවත් විශාල වෙලා, ලස්සන වුණා. දෙවිවරුන් මේ සිද්ධිය සක් දෙවියන්ට කිවුවා. සක්දෙවි එතැනට ඇවිත් උතුරුසළුව එකාංස කරගෙන, දකුණු දණ පොළොවේ ඔබා දොහොත් මුදුනේ තබාගෙන "උතුමාණනි! මම සක්දෙව්රජු වෙමි" යි කිවුවා. සක්දෙවි එසේ ප්‍රකාශ කරද්දී අර භූතාත්මය ටික-ටික පුංචි වුණා, ටික-ටික අවලස්සන වුණා. නැවත නැවතත් එසේ කිව්වාම තව-තවත් පොඩි වෙලා, කැත වෙලා, අතුරුදන් වෙලා ගියා. සක්දෙව්රජතුමා දැනගත්තා 'මේ නම් කෝධ භක්ෂ යක්ෂයෙක් තමයි' කියලා. ඒ කියන්නේ 'ක්‍රෝධය අනුභව කරන්නෙක්'. එයාගේ ආහාරය තමයි ක්‍රෝධය! තරහා ඇති වන්න ඇති වන්න ලස්සන වනවා. සක්දෙවිඳුගේ ඉවසීම බලන්න මාර්ගඵල ලබපු බ්‍රහ්මයෙක් තමයි යකෙක් විදිහට මෙහෙම මෙතනට ආවේ. මේ බ්‍රහ්මයා ශරීරය ලස්සන කරගත්තේ ඍද්ධිබලයෙන්. සක්දෙව්රජතුමා දන්නෙත් නැහැ මේ බ්‍රහ්මයෙක් කියලා. ඔහු හිතුවේ ක්‍රෝධය ආහාර කරගත් කෙනෙක් කියලයි. කොහොම හරි, මේ බ්‍රහ්මයා අතුරුදන් වුණාට පස්සේ සක්දෙවිඳු කියනවා පුදුමාකාර ලස්සන ප්‍රකාශයක්:

කෝධ භක්ෂ යක්ෂයා

"මම බොහෝ කලක් කේන්ති ගන්නේ නැතිව වාසය කරනවා. මගේ හිත තුළ කේන්තිය ඉපදු‍ණොත් මම ඉතා ඉක්මනින් ඒ කේන්තිය නැති කරගන්නවා. හිත තුළ තරහා ඇති වන්න හේතුවක් ඇති වන හැම වේලාවකදීම මම නරක වචන කතා කරන්නේ නැහැ, දරුණු වචන කතා කරන්නේ නැහැ. ඒ වේලාවේදී මම ධර්මානුකූල වචනමයි කතා කරන්නේ."

සක්දෙවිඳුන් කියූ දේ අපටත් ඉතා වටිනා දෙයක්. අපත් උත්සාහ ගන්න ඕනෑ: ක්‍රෝධය උපදවාගන්නේ නැතිව ඉන්න. තරහා ඉපදෙන වේලාවලදී නරක වචන කියන්නේ නැතුව ඉන්න, ඒ වේලාවට හොඳ දේ පමණක් කතා කරන්න. මෙය මිච්ඡා දිට්ඨිය පදනම් කරගෙන සිදු වන එකක්. මෙයින් වන්නේ සංසාර ගමන දියුණු වන-එක. නැවත නැවත උපදින විදිහට පංච උපාදානස්කන්ධ සකස් වීමයි මෙයින් වන්නේ. එය තේරුම් ගෙන ව්‍යාපාද සංකල්පනා නැති කරන්න ඕනෑ. අප හොඳින් තේරුම් ගන්න ඕනෑ මෙය මිථ්‍යා සිතිවිල්ලක්. එය නුවණින් දැක ඉවත් කරන්න ඕනෑ. කන්නාඩියකින් මුහුණ බලා මූණේ අපවිත්‍ර දෙයක් තිබෙනවා නම් ඉක්මනින් ඉවත් කරනවා වාගේ මේ මිථ්‍යා සිතිවිල්ලත් වහාම ඉවත් කරන්න ඕනෑ.

අප තුළ මිථ්‍යා දෘෂ්ටිය තිබෙනවාද කියා දැනගත හැකි තවත් හොඳ අවස්ථාවක් නම්, බලන්න: මිථ්‍යා වචන තිබෙනවාද කියා. අප බොරු කියනවාද? කේලාම් කියනවාද? පරුෂ වචන කතා කරනවාද? එසේ නම් මිච්ඡා වාචා පාවිච්චි කරනවා. මේ පරුෂ වචන කියන කෙනා උපදින නිරයේ සතුන් මරන කෙනා යන නිරයටත් වඩා දුක් තිබෙන, ඊට වඩා දීර්ඝායුෂ තිබෙන නිරයක්. 'හොඳයි' කියන හුඟ දෙනකු පරුෂ වචනය සකස් කරගෙන නැහැ. කේන්ති ගිය විගස පරුෂවචන කියනවාමයි.

බුදු රජාණන් වහසේ දේශනා කළා මිථ්‍යා දෘෂ්ටිය මුල් වෙලා මිථ්‍යා කම්මන්ත ඇති වනවා කිලා. කම්මන්ත කියන්නේ කායික ක්‍රියාවටයි. ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය. සම්මා දිට්ඨියෙන් සිටින කෙනා මේ ක්‍රියා කරන්නේ නැහැ. අන්තිම මොහොතේ බොහෝ වේලාවට සිහියට නැ‍ඟෙන්නේ නිතර නිතර කළ පවක්. මෙය චුති සිතට ඇවිත්, එය ප්‍රධාන අකුසලයක් බවට පත් වනවා.

හොඳ රැකියාවක් වුණත් නරකට කළොත්

මේ මිච්ඡා කම්මන්තය සමඟමයි එන්නේ මිච්ඡා අාජීවය -එනම් ජීවන ජීවන උපාය, රැකියාව. මෙය පව්‍ සිදු නොවන රැකියාවක් විය යුතුයි; ඒ වගේම ඇඟ විකුණන්නේ නැති රැකියාවක් විය යුතුයි; මත්-සුරා, මත්-ද්‍රව්‍ය වෙළෙඳාම නොවිය යුතුයි. රැකියාව ස්වභාවයෙන් 'සම්මා' වුණාට වැඩක් නැහැ. ධාර්මික රැකියාවක් වුණත් එය ‍කරන විදිහෙන් අධාර්මික වෙන්න පුළුවන්. යෙදෙන විදියෙන් ජනතාව පීඩාවට පත් වනවා නම්, අපහසුතාවට පත් වනවා නම් එය ධාර්මික රැකියාවක් වන්නේ නැහැ. අධාර්මික රැකියාවක් නම් එහි පදනම මිථ්‍යා දෘෂ්ටියයි.

මිච්ඡා වායාම කියලා කියන්නේ මොකක්ද? අකුසල් දියුණු කරගන්න උත්සාහ කරනවා; කුසල් දියුණු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ හිතේ තණ්හාව ඇති වුණාම එය නැති කරගන්න අප උත්සාහ නොකරන්නේ නම්, එය අකුසල් දියුණු කරගන්න කරන උත්සාහයක් බඳුයි. තරහාවක්, වෛරයක් ඇති වුණාම නැති කරගන්න උත්සාහ නොකරන්නේ නම්, එය ‍වෛරය දියුණු කරගන්න උත්සාහයක්.

එය මිච්ඡා වායාමයක්. මිච්චා දිට්ඨිය පදනම් කරගෙනයි පවතින්නේ. සම්මා දිට්ඨිය පදනම් මුල් වුණා නම් හටගන්න යන අකුසලය දැක, එය ඉවත් කර කුසලය දියුණු කරගන්නවා. එලෙස අකුසලය දැක, එය ඉවත් කරගන්න උත්සාහ කරනවා නම් එය සම්මා වායාමයයි.

අනෙක් කාරණාව මිච්ඡා සතිය - නරක සිහිය. නරක වැඩක් කරනවා නම් එහි මුල් වන්නේ නරක සිහියයි. පව් කරන අකුසල් කරන කල්පනාවෙන් සිටීම මිච්ඡා සතියයි. එය මිච්ඡා දිට්ඨියත් සමඟයි එන්නේ‍. ඒ වගේම එහි අනෙක් පැත්ත සම්මා සතියයි.

එනම්: පව් කරන්න නොව, හොඳ දේට සිත යොමු කිරීමයි. මිච්ඡා සමාධියත්, මිච්ඡා විමුක්ති, මිච්ඡා ඤාණ, මිච්ඡා දිට්ඨිය සමඟයි එන්නේ. එහි අනෙක් පැත්ත 'සම්මා දිට්ඨිය' තමයි ධර්ම මාර්ගයට අදාළ වන්නේ. එයයි මේ 'ආචයගාමි සූත්‍රයෙන්' අප පැහැදිලි කරන්නේ.

අදහස්