පාඨකයාගෙන් “ලොකවුට්” වී ලෑල්ලෙන් විසි වෙන පත්තර | සිළුමිණ

පාඨකයාගෙන් “ලොකවුට්” වී ලෑල්ලෙන් විසි වෙන පත්තර

බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ නවීන තොරතුර තාක්ෂණය සමඟ පත්තර අතුරුදන් වනු ඇති බවය. එහෙත් මෑතකදී ප්‍රකට නීල්සන් ආයතනය කළ සමීක්ෂණයක් කියන්නේ ඊට පරස්පර කතාවකි. අන්තර්ජාතික ෆෝබ්ස් සඟරාව එ් සමීක්ෂණය උපුටමින් ලෝකය පුවත්පත් කියැවීම අත්නොහරින බව පෙන්වා දෙන්නේය. ඔවුන් තවදුරටත් පවසන්නේ කුඩා රටවල හෝ ප්‍රාන්තවල අලෙවි වන පුවත්පත්හි වෙළෙඳ දැන්වීම් පළ කිරීම අලෙවිකරුවන්ට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාදෙන බවය.

විසිපස් වසරක් මුළුල්ලේ පත්තර ලෝකයේ ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි ඉරිදා ලක්බිම පුවත්පත පසුගිය ජුනි මාසයේ සිට නවතා දමනු ලැබීය. දිනපතා ලක්බිම වසා දැමුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ වන විට දිනපතා ලක්බිම 18 වැනි වියේ පසු වූ පුවත්පතකි. ඊට පෙර එනම් පසුගිය වර්ෂයේ ම නොවැම්බර් මාසයේදී වසර 12ක් පමණ පවත්වා ගෙන ගිය රිවිර පත්‍රය ද නවතා දැමිණි. එම වසරේම සත්හඬ, සියදෙස, වැනි ඉරිදා පුවත්පත් කීපයක් ම වැසී ගියේ පාඩු ලබමින් තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි නිසා ය. දැවැන්ත ප්‍රචාරයක් දී ආරම්භ කළ ජනයුගය පුවත්පත 2018 ජනවාරි මස නවතා දැමීමට සිදු වූයේ එහි අධිපතිට මූල්‍ය චෝදනා එල්ල වූ නිසාය. මුල් පිටුව ඉරිදා පුවත්පත ද කලාප 2කින් නැවතුණේ එකී පුවත්පතේ අධිපතිට ද දූෂණ චෝදනාවක් එල්ල වූ බැවිනි.

එහෙත් ඉරිදා, ඉරිදා ඇපල්, ඉරුදින, සිව්දෙස, ඉරිදා පෙරමුණ, සියත, හෙළදිව, රන්දිව වැනි ජාතික පුවත්පත් රැසක් වැසී ගියේ පාඩු ලබමින් පවත්වා ගෙන යා නොහැකි නිසාය. ඇතැම් පුවත්පත් නවතා දැමුණේ කලාප 2,3කට සීමා වෙමිනි. නිදහස, තිරමිණ ඊට නිදසුන් ය. මේ අනුව බිහි වන වේගයෙන් ම පුවත්පත් වැසී යෑමේ ප්‍රවණතාවක් ද අද අපට දැක ගත හැකිය.

“පත්තර වැසී යෑම අද ලංකාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නොවෙයි. මෙය ගෝලීය ප්‍රවණතාවක්. අද ස්මාට් දුරකතනයෙන් පුවත් දැනගන්නවා. පත්තර කියවනවා. පැයෙන් පැයට ප්‍රවෘත්ති ලබා දෙන ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා තිබෙනවා. ඒ නිසා අද පත්තර කියවන වෙළෙඳපොළ ලොකු වෙන්නේ නැහැ. පත්තර වෙළෙඳපොළ එක තැන හිරවෙලා තියෙන්නේ. වෙළෙඳපොළ විශාල නොවුණට පත්තර ප්‍රමාණය වැඩි වෙනවා. එවිට පත්තර පවත්වා ගෙන යන්න බැහැ.” යනුවෙන් ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් ආයතනයේ ආසියානු කලාපයේ උපදේශක සහ වැඩසටහන් කළමනාකරු ආචාර්ය රංග කලංසූරිය සඳහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ පවසන්නේ අද පවතින අභිසාරි මාධ්‍ය කලාව (Multi media) ලෝකයේ ජනමාධ්‍යයට අභියෝගයක් වී ඇති බවය. එනම් වර්තමානයේ ස්මාට් දුරකථනයෙන් පුවත්පත් කියවීමත් රූපවාහිනිය නැරඹීමත් ගුවන්විදුලියට සවන් දීමත් ඒකාබද්ධ වී තිබීමේ මාධ්‍ය කලාවත් බිහි වී තිබීම නිසා පුවත්පත්වලට පමණක් නොව රූපවාහිනිය සහ ගුවන්විදුලිය ද අභියෝගයට ලක් වී ඇති බවය. කඩදාසි පුවත්පත වෙනුවට වෙබ් පුවත්පත ඉදිරියට එන නූතන යුගයේ සාම්ප්‍රදායික කියවීම අඩු වෙමින් යන බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් මූල්‍ය අර්බුද හේතුවෙන් පුවත්පත් පවත්වා ගෙන යෑමට නොහැකිව වසා දැමීම සිද්ධ වන්නේ අද දවසේ පමණක් නොවේ.

ලංකාවේ ප්‍රථම දිනපතා පුවත්පත වූ “දිනපතා ප්‍රවෘත්ති” නතර වූයේ එහි හිමිකාර කර්තෘ දොන් බස්තියන් ජයවීරආරච්චි බලවත් සේ රෝගාතුර වී පත්‍රය කරගෙන යෑමට අසීරු වූ නිසාය. එය 1895 සිට 1907 ජුලි 15 දක්වා වසර 12ක් තිස්සේ පළ වූ පුවත්පතකි. 1909 දෙසැම්බර් 17 දා එච්.එස්. පෙරේරාගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ ලංකාවේ දෙවැනි දිනපතා පුවත්පත වන “දිනමිණ” 1914 දී ඩී.ආර්. විජයවර්ධන මහතාට විකුණන්නේ ඔහු රෝගාතුර වී ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණපා සිටි බැවිනි. 1947 ඔක්තෝබර් 29 වැනි දින ටයිම්ස් ආයතනයෙන් ආරම්භ කළ ලංකාදීප පත්‍රය ඇතුළු පුවත්පත් 1985 ජනවාරි 31 වැනි දින වසා දමන්නේ ආර්ථික දුෂ්කරතා නිසාය. 1977 අගෝස්තු 01 වැනි දින ටයිම්ස් ගොඩනැඟිල්ල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කළේ 1974 දෙවැනි කාර්තුවේ සිට ඇරඹෙන කාලසීමාව සඳහා රු. 2,32,142.72ක් හිඟ වරිපනම් ලෙස තිබූ බැවිනි. නමුත් 1977 අගෝස්තු 02 වැනි දින ටයිම්ස් කාර්යාලය රජයට පවරා ගෙන මුදල් යෙදවුවද ලංකාදීප පත්‍රය ඇතුළු අනෙකුත් පත්‍ර ගොඩ ගැනීමට හැකි වූයේ නැත. එහෙත් මෙම යුගය වන විට ගුවන්විදුලිය හෝ රූපවාහිනිය ලංකාවේ පුවත්පත්වලට තර්ජනයක් වූ වකවානුවක් නොවේ.

“පුවත්පත් ඉතිහාසය විමසා බැලුවාම ඇතැම් පුවත්පත් ආරම්භ කර තිබෙන්නේ සමාජ ප්‍රශ්න මුල් කරගෙන, උදාහරණයක් හැටියට නිදහස් අරගලය, බෞද්ධ පුනරුදය මූලික කරගෙන පත්තර පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න අවසාන වූණාම පත්තර එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. පාඨකයන් ඒ පත්තර අත් හරිනවා. එවිට පත්තර වැහෙනවා. ඒ විදිහට වැහුණු පත්තර අපේ ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා.

ඒ වගේම විවිධ සමාජ ව්‍යාපාර, දේශපාලන අරමුණු මුල් කරගෙන පත්තර පටන්ගන්නවා. ඒත් ඒ අරමුණු සාක්ෂාත් වූ විට පත්තරේ ආයු කාලය අවසාන වෙනවා.” යනුවෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ විස්තර කළේ පුවත්පත් වැසී යෑම කෙරෙහි බලපාන ඩිජිටල්කරණයට එහා ගිය කරුණු හුවා දක්වමිනි. මෙම අවස්ථාවේදී ජාතික පුවත්පත්, දේශපාලනයට නතු වීමෙන් වැසී ගිය ආකාරය විමසා බැලීම වටී.

ටයිම්ස් ආයතනයෙන් ආරම්භ කළ ලංකාදීප පුවත්පත දේශීය චින්තනයට මුල්තැන දීම අරමුණු කරගෙන පවත්වාගෙන ගිය පත්‍රයකි. 1956 දී බණ්ඩාරනායක මහතාට පක්ෂව කටයුතු කළ ලංකාදීප පත්‍රය, 1965 දී එක්සත් ජාතික පක්ෂයට උදව් කළේ එවක පැවැති රජය පුවත්පත් සඳහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සුක වූ බැවිනි. 1965 දී පුවත්පත් නිදහස වෙනුවෙන් ලංකාදීප පමණක් නොව දවස, වීරකේශරි, දිනමිණ යන සියලුම පුවත්පත් එක්සත් ජාතික පක්ෂයට උදව් කළේය.

එහෙත් පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමේ ඇණවුම දවස ප්‍රකාශකයන් වන ගුණසේන සමාගමට නොදීම නිසා දවස පුවත්පත 1970 මහ මැතිවරණයේදී සහය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. 1965 දී එක්සත් ජාතික පක්ෂයට සහය දුන් ටයිම්ස් ආයතනය 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උදව් කළේය. එහෙත් 1975 වන විට ලංකාදීප පත්‍රය එක්සත් ජාතික පක්ෂයට හිතවත් යැයි ඉව වැටුණු එවක පැවැති රජය ටයිම්ස් ආයතනයේ සභාපති තනතුරට අනුර බණ්ඩාරනායක මහතාගේ මිත්‍ර හරිස් හුළුගල්ල පත් කොට එහි බලය ස්ථාපිත කරනු ලැබීය. 1977 දී එක්සත් ජාතික පක්ෂය විසින් ටයිම්ස් ආයතනයට මුදල් ගෙවීම සඳහා කෙටි කාලයක්වත් නොදී පැය 24කින් පමණ රජයට පවරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුංචිම පුංචි හෝ ඉඩක් නොතබමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උදව් කළ දවස පත්‍රය, 70 පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුවේ ඇතැම් පක්ෂවල සාමාජිකයන් ගුණසේන ආයතනය තුළ වෘත්තීය සමිති පිහිටුවා ගැනීමෙන් මතු වූ අරගල නිසා ම ආණ්ඩු විරෝධී පුවත්පතක් බවට පරිවර්තනය විය. 1977 බිහි වූ නව රජයත් සමඟ ආණ්ඩු‍වේ හොරණෑවක් බවට පත් වූ දවස පුවත්පතත් ලංකාදීප පුවත්පත් වැඩිකල් නොගොස් පාඨකයන්ගෙන් ගිලිහෙන්නට වූයේ පාලකයන්ගේ දේශපාලන අරමුණු පාඨකයන්ට වැදගත් නොවන නිසාය.

1980 දශකයේ අගභාගය වන විට ඕෆ්සෙට් රෝටරි ක්‍රමයට පුවත්පත් මුද්‍රණය කිරීම ඇරඹිණි. එහෙත් ලෙටර් ප්‍රෙස් ක්‍රමයට දවස පත්‍රය ඇතුළු සියලුම ප්‍රකාශන මුද්‍රණය කළ ස්වාධීන පුවත්පත් සමාගමට තාක්ෂණය සමඟ ගැටීමද දුෂ්කර කරුණක් විය. ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට ද ඔවුන්ට අපහසු විය. 1990 දෙසැම්බර් 26 වැනි දින දවස පුවත්පත වසා දැමුවේ එමනිසාය.

1979 පෙබරවාරි 04 දින මල්ටිපැක්ස් ආයතනය ආරම්භ කළ “සත්දින” පුවත්පත එහි අධිපති හරිස් හුළුගල්ල විසින් නවතා දැමුවේ එම පත්‍රය එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහි ව කටයුතු කරන බවට පවසමිනි. මෙම පත්‍රයේ කර්තෘ ධූරය හෙබවුයේ චන්ද්‍රසේන කිරිවත්තුඩුව ය.

මේ ආකාරයට ලංකාවේ පුවත්පත් ඉතිහාසය පිරික්සා බැලීමේදී පුවත්පත් දේශපාලනයට ගැති වීමෙන් එම පුවත්පත්වල කඩා වැටීම සිදු වන බව තහවුරු වේ. මෙම කාරණාව අද දවසේ වැසුණු පුවත්පත්වලට ද අදාළ ය.

මීට අමතරව පුවත්පත් තුළ ඇති වූ මතවාදී ගැටුම් හේතුවෙන් හිරු සහ ලක්දිව පුවත්පත් වැසී යෑම සහ කළමනාකාරිත්වයේ ගැටුම් හේතුවෙන් යුක්තිය පුවත්පත නවතා දැමීම වැනි අවස්ථා ද ඉඳහිට අසන්නට ලැබේ.

“අද වන විට හුඟක් පත්තර පටන් අරන් තිබෙන්නේ සැඟවුණු දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒත් පාඨකයන් ඒ බව තේරුම් අරන් ඉන්නේ. දැන් පාඨකයන් රැවටෙන්නේ නැහැ.” යනුවෙන් ආචාර්ය රංග කලංසූරිය සඳහන් කළේය.

එහෙත් පුවත්පත් පවත්වාගෙන යන්නේ පාඨකයන් මිල දී ගැනීමෙන් ලැබෙන මුදලින් නොවේ. වෙළෙඳ දැන්වීම් මඟින් උපයන මුදලිනි. වැඩි පාඨක පිරිසක් කියවන පුවත්පත්වලට ලැබෙන වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය ඉතා විශාලය. ප‍ාඨකයන්ගෙන් ගිලිහෙන පුවත්පත්වලට දැන්වීම් ලැබෙන්නේ නැති තරම්ය.

“වෙළෙඳ දැන්වීම් වුණත් විශාල වෙළෙඳපොළක් ඇති වෙන්නේ නැහැ. තියෙන වෙළෙඳ දැන්වීම් පත්තර ගොඩකට බෙදිලා යනවා. කේක් එකක් පොඩි පොඩි කෑලිවලට කැපෙනවා වගේ තමයි.” යනුවෙන් තවදුරටත් පැවසුවේ ආචාර්ය රංග කලංසූරිය ය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ සඳහන් කරන්නේ වත්මන් පුවත්පත් තුළ දක්නට ලැබෙන ස්වකීය මතයක් නැතිකම සහ පෘෂ්ඨීය වාර්තාකරණය අද පුවත්පත්වල ගුණාත්මක තත්ත්වය අඩු වීමට බලපාන බවයි. එමෙන්ම වර්තමාන පුවත්පත් කලාවේදීන් තුළ පවතින සංකල්පීය දරිද්‍රතාව ඊට බලපාන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

“අද පත්තරවල අලුත් අදහස් නැහැ. නැවුම් බවක් නැහැ. ඒකට තමයි සංකල්පීය දරිද්‍රතාව කියන්නේ. වැඩක් නැති කතාන්දර, දීර්ඝ ලිපි හා සංවාද පිටු ගණන් පළ වෙනවා. සමාජ ප්‍රශ්න ගැන මතයක් මේ පත්තරවල දකින්න ලැබෙන්නේ නැහැ.

වෙන රටවල්වල සමාජ ප්‍රශ්න ගැන පත්තරේට මතයක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත් අපේ රටේ පත්තර එහෙම නැහැ. එය ස්වකීය මතයක් නැතිකම කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරුහරි කියන දෙයක් රෙකෝඩ් කරගෙන ඇවිත් ඔහේ ලියනවා. තොරතුරු ගවේෂණය කරලා අලුත් කරුණු එකතු කරලා ලියන්නේ නැහැ. ජනමාධ්‍යයේ පෘෂ්ඨිය වාර්තාකරණය යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඒ නිසා පත්තර වසා දැමීම ගැන කතා කරන විට පත්තරවල ගුණාත්මක භාවය අඩුවීම ගැන වගේම ඊට වග කිව යුතු මාධ්‍යවේදීන් ගැන ද කතා කරන්න වෙනවා.

මාධ්‍යවේදියාගේ වෘත්තීය භූමිකාව ඔවුන් නැවුම් විදියට වෙනස් විදියට හිතලා ඉතාමත් නිවැරදිව ඉටු කරනවා නම් පත්තරවල පැවැත්මක් තියේවී. අනෙකුත් සමාජ කාරණා වගේම පත්‍ර කලාවේදීන්ගේ වගකීමත් පුවත්පත්වල පැවැත්මට බලපාන බව අපි අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ පවසන කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වන අපට ද දෙවරක් සිතන්නට සිදු වේ. ආචාර්ය රංග කලංසූරිය ද පවසන්නේ පුවත්පත් කලාවේදීන් අලුත් ආකෘතියකින් පුවත්පත් තුළ වෙනසක් ඇති කළහොත් පුවත්පත් වෙළෙඳපොළ පවත්වා ගෙන යා හැකි බවය. එහෙත් පත්‍ර ආයතන හිමිකරුවන්ගෙන් ඊට ලැබෙන අනුබලය පිළිබඳව ද අප සිතා බැලිය යුතුය.

පුවත්පත් හිමිකරුවන් අපක්ෂපාති පුවත්පත් කලාවක් වෙනුවට ලාභය ඉපයීම හෝ වෙනත් යටි අරමුණු ඉලක්ක කරගෙන පුවත්පත් පටන් ගැනීමෙන් විනාශ වන්නේ පුවත්පත පමණක් නොවේ. මාධ්‍යවේදීන් ද විනාශ වනු ඇත. අද වන විට වසා දැමූ පුවත්පත් තුළ සේවය කළ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට උරුම වී තිබෙන්නේ මහ පාර පමණි. රැකියා වියුත්තියට එකතුවන මාධ්‍යවේදීන්ට රැකියාවක් සොයා ගත යුතු වන්නේ පුවත්පත් ආයතනයක මිස ඇඟලුම් කම්හලක නොවේ. එහෙත් වැසෙන තරමට පත්තර ඇරෙන්නේ නැත. එවිට සිදු වන්නේ පුවත්පත් කලාවේදීන්ගේ සැපයුමේ අතිරික්තයක් ඇති වීමයි.

එම නිසාම පුවත්පත් කලාවේදීන්ගේ ඉහළ වැටුපකට රැකියාවට යෑමට තිබෙන අවස්ථාව මඟ හැරේ. ඔවුන්ට ‍සොච්චම් මුදලකට ශ්‍රමය විකිණීමට සිදු වේ. රටේ මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙය වූ පුවත්පත් කලාවේදීන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නඟන්නට හැකියාවක් නැත.

පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සමිති ගැන කතා කිරීමේදී ටයිම්ස් ආයතනයේ මුලින්ම බිහි වූ බාලා තම්පෝගේ නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ සේවක සංගමය සිහිපත් කළ හැකිය. 1957 දී එය වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස එළියට පැමිණිය ද ඊට යටින් සිටියේ ඩී.බී.ධනපාල විරෝධී දක්ෂිණාංශික බලවේගය බව එදා සිටි පුවත්පත් කලාවේදීන්ගේ අදහස විය.

එහි ප්‍රතිඵලයක් 1957 ඔක්තෝබර් මාසයේදී ටයිම්ස් පාලකයන් විසින් සේවකයන් එළියට දමා ගොඩනැඟිල්ලේ දොරගුළු වසා දැමීම හෙවත් ලොකවුට් කිරීමය. ලංකාවේ පුවත්පත් ආයතනයක සිදු වූ ප්‍රථම ලොකවුට් එක ලෙස වාර්තා වන්නේ මෙම සිද්ධියයි. ටයිම්ස් ආයතනය නැවතත් විවෘත කළේ සියලුම සේවකයන්ට විනය නීති මාලාවකට අත්සන් කර විනීතව හැසිරෙන බවට පොරොන්දු වීමෙන් පසුවය.

දෙවැනි ලොකවුට් සිද්ධිය වාර්තා වන්නේ දවස පුවත්පත් ආයතනය තුළිනි. ඒ, ස්වාධීන පුවත්පත් සමාගමට අයත් දවස නිවස තුළ පාලකයන්ට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාකාරීන් නැඟී සිටි නිසාය. එහි ප්‍රතිඵලය වූයේ 1970 සැප්තැම්බර් 08 වැනි දින සේවකයන් එළියට දමා ලොකවුට් කිරීමය. මෙම ආයතනය 1970 නොවැම්බර් 08 වැනි දා නැවතත් ආරම්භ කළේ වෘත්තීය සමිතිවලට ගෑවී සිටි අය පවා සේවයට නොගැනීමෙනි.

මේ අනුව අන්‍යයන්ගේ වෘත්තීය සමිති අරගල වෙන‍ුවෙන් පුවත්පත් කලාවේදීන් පෙනී සිටියද පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සමිතිවල තත්ත්වය නම් සුබදායි වූයේ නැත.

“අද මාධ්‍යවේදීයාගේ වෘත්තීය භූමිකාව වෙනස්. පත්තර වසා දමන විට වෘත්තීය මාධ්‍යවේදීන්ගේ තත්ත්වය අහිමි වෙනවා තමයි. ඒත් අලුත් තත්ත්වයට ගැළපෙන විදිහට දැනුම පරිපූර්ණ කර ගන්නවා නම් රැකියා අවස්ථා තිබෙනවා. අද පුවත්පත් කලාවේදියාට පරිගණක දැනුම, යතුරුලියනය කිරීමේ හැකියාව, පරිවර්තන හැකියාව වැනි විවිධ ක්ෂේත්‍රවල දැනුම තිබිය යුතුයි. අද තාක්ෂණය නිසා වෘත්තීයත් රැඩිකල් විදිහට වෙනස් වෙලා. හැබැයි නව මාධ්‍යවේදින්ගේ වෘත්තීය පරිවර්තනයක් සමඟම ඕනෑම කෙනෙකුට මාධ්‍යවේදියකු වීමට හැකියාව තිබෙනවා.

විශේෂයෙන් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යජාල නිසා අද ඕනෑම කෙනකුට මාධ්‍යවේදියකු වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ම ගුණාත්මක භාවයේ ගැටලු මතු වෙනවා. ඒත් වර්තමාන යුගය සමඟ මාධ්‍යවේදියා වෙනස් විය යුතුයි. මේ යුගය දෘශ්‍ය යුගයක්. දැකීම තමයි වැදගත්. සමහර පත්තරවල විශාල පින්තූර දාලා කියවන දේ පොඩ්ඩක් දාන්නේ ඒ නිසයි. ඉස්සර අපි විශ්වවිද්‍යාලයේ ළමයින්ට යනුවෙන් විස්තර කරන ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙන්නේ පුවත්පත් කලාවේදීන් කාලීනව වෙනස් වීමේ වැදගත්කම පිළිබඳවය.

මේ අතරවාරයේදී වර්තමානයේ ලෝක වෙළෙඳපළේ ඇති වී තිබෙන කඩදාසි අර්බුදය ද පුවත්පත් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී තිබේ.

කඩදාසි මිල ඉහළ යෑම සහ බදු වැඩි කිරීම හේතුවෙන් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි මිල දී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට පුවත්පත් හිමියන්ට සිදු වී තිබේ. එය පුවත්පත් හිමියන් මුහුණපාන බරපතළ අර්බුදයකි. එම නිසාම අද බොහෝ පුවත්පත්වල පිටු ප්‍රමාණය අඩු කර තිබේ. වර්තමානයේ පත්තර මිල ඉහළ දැමීමට හේතු වූයේ ද මෙම කඩදාසි අර්බුදයයි.

මිල වැඩි කිරීම නිසාද පාඨකයන් පුවත්පත්වලින් ඉවත් වූ බව පත්තර අලෙවිකරුවෝ පවසති. එහෙත් ආචාර්ය රංග කලංසූරිය සඳහන් කරන්නේ පුවත්පත් මිල වැඩි වීම අලෙවිය අඩු වීම කෙරෙහි බල‍නොපාන බවයි.

“පත්තරේ මිල ඉහළ ගියාට අන්තර්ගතය වටිනවා නම් පාඨකයො පත්තර ගන්නවා. දැන් මිනිස්සු ඩේටාවලට කොයි තරම් වියදම් කරනවාද?. ඩේටාවලට කරන වියදම පත්තරවලට වියදම් නොකරන්නේ ඇයි?. අපි කල්පනා කරන්න ඕනෑ ඒ ගැන.”

යනුවෙන් සඳහන් කළේ ආචාර්ය රංග කලංසූරියගේ අදහසය. එයින් ගම්‍ය වන්නේ කඩදාසි පුවත්පත් ලෝකයෙන් ඉවත් වී ඩිජිටල් පුවත්පත් බිහි වන බවද?. “පුවත්පත් මාධ්‍යයෙන් කරපු මෙහෙවර වෙනත් මාධ්‍යයකට විතැන් කරන්න බැහැ. ඒ නිසා පුවත්පත් ලෝකයෙන් ඉවත් වෙන එකක් නැහැ. පුවත්පත පවතිවී. ඒත් යුගයක් එක්ක පුවත්පත් නවීකරණය විය යුතුයි. අලුත් විදිහකට ඉදිරිපත් කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ ය. අප ලංකාවේ පුවත්පත් මුහුණපා සිටින අර්බුද ගැන විමසා බලන විට තවත් පුවත්පත් කීපයක් ලොකවුට් වී තිබිය හැකිය. වර්තමාන පුවත්පතේ ඉරණම එයයි.

අදහස්