පුරාණ තාක්ෂණයේ මහිමය කියන පුලතිසිපුර අලුත් කෞතුකාගාරය | සිළුමිණ

පුරාණ තාක්ෂණයේ මහිමය කියන පුලතිසිපුර අලුත් කෞතුකාගාරය

සඳරැසි සුදුසිංහ

රටක සංස්කෘතියේ ක්ෂේමභූමිය වන්නේ එරට කෞතුකාගාරය බවට සැකයක් නැත. එනයින්: ලංකා භූමිය සතු මහා සංස්කෘතික උරුමය සංරක්ෂිත කේන්ද්‍රස්ථාන හැටියට මෙරට ස්ථාන කිහිපයකම ස්ථාපනය කරනු ලැබ ඇති කෞතුකාගාර ජාලය හැඳින්වීමේද වරදක් නැත. අපේ මේ කෞතුකාගාර සියල්ලට පූර්වාදර්ශ සපයනුයේ මීට අවුරුදු 142කට පෙර - එනම්: 1877 ජනවාරියේදී - ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් අනුව කොළඹ 7, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ, ඇල්බර්ට් චන්ද්‍රවංකයෙහි පිහිටුවන ලද කොළඹ ජාතික කෞතුකාගාරයයි.

අද වන විට කොළඹ කටුගෙය ආදර්ශ කොටගෙන මෙරට පිහිටුවා ඇති ජාතික කෞතුකාගාර සංඛ්‍යාව 11කි. ඉන් එකොළොස් වන දරුවා ලෙස ලංකා ඉතිහාසයට එක් වන්නේ පුලතිසි පුර බිහි වන ලංකාවේ ප්‍රථම පුරාණ තාක්ෂණ කෞතුකාගාරයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව පොලොන්නරුව නව නගරයේ ඉදි වූ කෞතුකාගාරය ජාතියට දයාද වනුයේ “පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය” මඟිනි.

2016 වසරේ අගෝස්තු මස මුල්ගල් තැබූ මේ සුවිශේෂ කෞතුකාගාරයේ විශේෂත්වය නම්, නව තාක්ෂණය මඟින් අතීත තාක්ෂණයේ ගම්භීරත්වය ඉදිරිපත් කිරීමයි. ඒ අනුව මැදිරි හතකින් සමන්විත මේ කෞතුකාගාරයේදී පොලොන්නරුවේ ඉතිහාසයද, ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තාක්ෂණය, මැටි හා වාත්තු තාක්ෂණය, වාරි හා කෘෂි තාක්ෂණය, ගොඩනැඟිලි තාක්ෂණය, සිතුවම්, මූර්ති හා දැව තාක්ෂණය මෙන්ම රෙදිපිළි, නාවික හා ගණිත-මිනිත තාක්ෂණය ආදි ශිල්පක්‍රම 22කට අදාළව නිරීක්ෂණය කිරීමට මෙරට අනභි‍භවනීය අතීත උරුමයට පෙම් බඳින දෙස්-විදෙස් නරඹන්නන්ට දැන් අවස්ථාව උදා වී ඇත.

මෙහිදී තාක්ෂණික තත්ත්වයන් පිළිබඳ සියලු නිර්මාණාත්මක ඉදි කිරීම් සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට ඒ පාරම්පරික තාක්ෂණික ගම්මානවල ඇවිද පර්යේෂණ කොට ඒ ශිල්පීන් ලවාම මේ තාක්ෂණික ක්‍රම ශිල්ප නිරූපණය කරවා ඇත. “පණ්ඩිත රඹෑව” නම් වළං හදන ගම්මානයට ගොස් එහි සිටිනා වළං කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් මෙහි ගෙන්වා එම අනුරූ සියල්ල නියම තාක්ෂණික ක්‍රම විදහාපාන ලෙස නිමවීම එයට නිදසුනකි. එසේම පිත්තල වාත්තු ශිල්පීන්, කම්මල් ශිල්පීන් ඇතුළු බොහෝ පාරම්පරික ශිල්පීන්ගේ උපදෙස් මත මෙහි තාක්ෂණික ක්‍රම නිරූපණය කර තිබේ.

පුරාණයේ රෙදිපිළි තාක්ෂණය පිළිබඳ හඳුන්වාදීමට මෙහි සකසා ඇති පැරණි රෙදි විවීමේ තාක්ෂණය රැගත් යන්ත්‍රය ලෝකය පුරා ප්‍රචලිත වූ යන්ත්‍රයකි. ඒ යන්ත්‍රය නම් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විසින් 1909 වසරේදී පළකළ මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ සඳහන් කරන යන්ත්‍රයයි. ආනන්ද කුමාරස්වාමි මහතා තම ග්‍රන්ථයේ පළ කර ඇති ඡායාරූපවල එන මේ යන්ත්‍රය මැද මහනුවර “තලගුණේ” යක් දෙස්සලානේ පරපුරට අයත් වූවකි.

මේ තාක්ෂණික කෞතුකාගාරය ඉදි කිරීමේදී කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව වංශ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සෙනරත් වික්‍රමසිංහ මහතා විසින් තලගුණේ ගම්මානයට ගොස් යක්දෙස්ස පරපුර සොයා ඇත. අද වන විටත් ඒ පරපුර රෙදි විවීමේ නියැළෙන අතර, එදා ආනන්ද කුමාරස්වාමි විසින් ඡායාරූපගත කළ විවීමේ යන්ත්‍රය නිවෙසේ අටුවෙහි දමා තිබී මෙම කෞතුකාගාරයට රැගෙන විත් තැන්පත් කොට ඇත.

එසේම ඒ ඒ කර්මාන්තයන්ට පාරම්පරික තාක්ෂණයන් රැගත් වීඩියෝ දර්ශනද මේ ප්‍රදර්ශන කුටිවල වෙන් වෙන් වශයෙන් ප්‍රදර්ශනය කෙරේ. ඒ සඳහා යොදාගනු ලැබ ඇත්තේ වෘත්තීය නළු-නිළියන් නොව, සැබෑවටම ගම්මානවල ඒ කාර්යයන්හි යෙදෙන මිනිස්සුය.

මෙහි ඇති පුරාවස්තු එකතු අතර, පොලොන්නරුවෙන් හමු වූ පුරාවස්තු රැසක් ප්‍රදර්ශනය කෙරෙන අතර, පුරාණ වැව්-අමුණු තාක්ෂණයන්ද එකින් එකට ඉතා පැහැදිලි අනුරූ මඟින් ඉදිරිපත් කර ඇති අයුරු විශිෂ්ටය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ එකදු කෞතුකාගාරයක හෝ මෙලෙස පැහැදිලි අනුරූ මඟින් එම තාක්ෂණය ප්‍රදර්ශනය සිදු නොවන අතර මෙය ඒ සියලු අඩුපාඩු සමනය කරන්නට ගත් සාර්ථක උත්සාහයක් ලෙස හඳුන්වා දිය හැකිය.

පුරාණ තාක්ෂණ කෞතුකාගාරය තුළ තැන්පත් කොට ඇති පුරාවස්තු අතර දඹුලු විහාරයේ සිතුවම් ඇඳි “ජීවන් නයිදේ” විසින් ප්‍රතිමා නිර්මාණයේදී මිනුම් අනුපාතයන් සඳහා භාවිත කළ “ගාරිපුත්‍ර” පුස්කොළ ග්‍රන්ථයද වේ.

මේ සියලු පුරාවස්තු අබිබවා යමින් පුරාණ තාක්ෂණික ක්‍රම ශිල්ප මේ බිමේදීම ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකිවන ලෙස ප්‍රායෝගික කාමරයක්ද (Activity Room) ඉදි කොට ඇත. එසේම මෙහි පැමිණෙන පර්යේෂකයන්ට තම අධ්‍යයන කාර්යයන් සඳහා භාවිත කළ හැකි පුස්තකාලයක්ද ඉදිව තිබේ. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර පුස්තකාලය මෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරය සතුවද පුස්තකාලයක් වේ. ඒ මඟ යමින් ඒ කෞතුකාගාරයන්හි පිටපතක් ලෙස මේ පුස්තකාලය ඉදි කොට ඇත.

මෙහි ඩිජිටල් තාක්ෂණයෙන් පුවත්පත් කියවීම, ශිලාලිපි බැලීම ආදි සුපිරි තාක්ෂණයන්ද මෙම පුරාණ තාක්ෂණික කෞතුකාගාරයේ අනූන වන අතර එය නව තාක්ෂණය මඟින් අතීත තාක්ෂණය ස්පර්ශ කිරීමට යෙදූ කදිම වේදිකාවකි. මෙහි පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ට ලංකාවේ අනෙකුත් කෞතුකාගාර පිළිබඳ දැනුවත් වීමටත්, පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ, දුම්රිය කාලසටහන් පිළිබඳ දැනුවත්වීමටත් මෙහිදී අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා මොබිටෙල් හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන අනුග්‍රහය දක්වා ඇත.

මෙහි පැමිණෙන දෙස්-විදෙස් නරඹන්නන් සඳහා සිහිවටනයක් ලබාගැනීමට පවා පහසුකම් සලසා තිබෙන අතර, එම සියලු සිහිවටන පරිසරය සුරැකෙන පරිදි හා ශ්‍රී ලාංකීය උරුමය රැකෙන පරිදි “තල්පතින්” නිමවූ සිහිවටන මෙහි අලෙවියට තබා තිබේ. එසේම කෞතුකාගාර ප්‍රකාශන අලෙවිසලළක්ද ස්ථාපිතය.

මේ පිළිබඳ අදහස් දක්වන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය කියා සිටියේ “පොලොන්නරුවේ ඉදි වූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය අපේ කෞතුකාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් සටහන් කරන්නක්. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ඉදි වන මේ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලංකාවේ ප්‍රථම තාක්ෂණ කෞතුකාගාරය වෙනවා.

1877 වසරේ‍ෙ සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ලංකාවේ මුල්ම කෞතුකාගාරය ඉදිකරන්න ඒ වෙනුවෙන්ම ගොඩනැඟිල්ලක් ඉදි කළා. පොලොන්නරුව තාක්ෂණ කෞතුකාගාරය සඳහාත් ඒ සඳහාම ගොඩනැඟිල්ලක් ඉදි කිරීම අපේ කෞතුකාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයට සුවිශේෂ වන්නක්. මේ කාර්යය සඳහා අපි ලංකාවේ පැරණි තාක්ෂණික පරම්පරාවන්ගේ ශිල්පීන් වගේම මේ තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ කාර්යන්හි නියැළෙන විද්වතුන්ගෙනුත් සහාය ගත්තා. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වශයෙන් අප විශ්වාස කරනවා මේ පොලොන්නරුව තාක්ෂණ කෞතුකාගාරය අනෙකුත් සියලු කෞතුකාගාර සමඟ සංසන්දනය කළ විට විශේෂ කෞතුකාගාරයක් කියලා. මා ආරාධනා කරනවා දෙස්-විදෙස් සියලු නරඹන්නන්ට මේ විශේෂ කෞතුකාගාරය නරඹන්න, අධ්‍යයනය කරන්න පැමිණෙන්න කියලා” යනුවෙනි.

නවීන ලෝකය අතීතයට රැගෙන යන පුලතිසි පුර පුරාණ තාක්ෂණික කෞතුකාගාරය තවදුරටත් සාම්ප්‍රදායික කෞතුකාගාරයක් නොවී, අතීත උරුමයන්ට රැකවරණ සලසන මහේශාක්‍ය සංස්කෘතික ආයතනයක් වනු නියතය.

ඡායාරූප : සුදත් සිල්වා

අදහස්