මරණ දැන්වීමේ රුව දැක මියගිය තරුණියකට හිතවැටී කරගත් විපතක් | සිළුමිණ

මරණ දැන්වීමේ රුව දැක මියගිය තරුණියකට හිතවැටී කරගත් විපතක්

යෝගීහු මිනිස් සිත දියුණු කරගෙන අහසින් යති. වේගයෙන් ගමන් කරති. ගස් ගල් පර්වත බිත්ති විනිවිද යති. ධ්‍යාන අභිඥා ලබා විස්මිත දේ කරති. එහෙත් පොඩ්ඩ වැරදුණොත් කාම රාගයක් පටිඝයක් මතු වුණොත් අහසින් බිම වැටෙති. සමහරු නවතින්නේ අපායෙහි. ඒ ආර්ය භාවනාවල සැටියකි.

ආර්ය භාවනාවලින් කරන්නේ සිත දියුණු කිරීම නොව සිත පිරිසුදු කිරීමයි. කෙලෙස් කුණු කිලිටි කහට පිසදා පිරිසුදු කොට සිත විශුද්ධියට නොව පරම විමුක්තියට පත් කිරීමයි.

එහෙත් පුහුණුවක්, පාලනයක්, ප්‍රාගුණ්‍යයක් නැති අකීකරු සිත අයාලේ ගියොත් ගියාම ය. පිස්සු, විකාර, ඕල්මොරොන්දම් වී මරණයටත් එතැනින් අපායටත් යෑම නොවැළැක්විය හැකිය. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. තනිව හැසිරෙන සිත හිටි හැටියේ දුර ගමන් යයි. ඒ නිසා කල්‍යාණ මිත්‍රයෙකුගෙන් භව නසන බණ ඇසිය යුතුය.

කලණ මිතුරා යනු කලු නසන, සිතේ පවතින කෙලෙස් කලු නසන ගිහි පැවිදි මිතුරා ය. හේතු ඵල දහම හා සසර ණය ගනු දෙනු වටහාගෙන ඒ ධර්මයට අනුව සිතේ මෝහය නිසා පහළ වන ලෝභ ද්වේශ ඒ ඒ මොහොතේ ම හඳුනා ගත (යෝනිසෝ මනසිකාරයෙන්) යුතුය.

සිතේ පහළ වන සුදු කළු හඳුනාගෙන ලෝභයක් රාගයක් මතු වන විට ම අසුබය මෙනෙහි කළ යුතුය. ද්වේෂයෙන් තරහක් ඉරිසියාවක් මතු වන විට ම පරම මෛත්‍රීය පැතිරවිය යුතුය. ඒ බුදු රජාණන් වහන්සේ දේශනා කළ කරණීය අකරණීය ධර්මයයි.

බණ්ඩාරවෙල සපුමල් තිස් හැවිරිදි බැංකු නිලධරයෙකි. සතුටෙන් ජීවත් වූ අවිවාහකයෙකි. තරමක දඩබ්බර ගති ඇත්තෙකි.

ඔහු හිටි හැටියේ දඩබ්බර ගති අත හැර ඉතා සංවේදී වූයේය. උදේ පාන්දර අවදිව නතිවම භාවනා කරන්නට විය. භාවනා ගුරුවරයෙකුගෙන් තොරව භාවනා කරන්නට විය. රැකියාවට ගියේ ද නැත. කෑම බීම ද ප්‍රතික්ෂ්ප කොට බලාගත් අත බලාගෙන සිටින්නට විය. දැනට මේ තත්ත්වයට වසර දෙකක් පමණ ගතවී ඇත. පවුලේ අය මානසික වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියත් ඒ ප්‍රතිකාර වලින් සුවයක් නොවීය. ඉන්පසු ඔහු හිටි හැටියේ කනත්තට දුවන්නට ද විය.

අවසානයේ සපුමල්ගේ මව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඔහු කැඳවාගෙන ආවාය.

එහිදී ‍ගවේෂකවරයා රෝග පරීක්ෂාවේ යෙදෙන විට සපුමල් ගැහෙන්නටත්, පැද්දෙන්නටත් වූයේය. මොහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට ‍දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස අවශ්‍ය උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ සපුමල්ගේ ශරීරයෙන් භූතාත්මයක් මතු වී අඬන්නට වූවාය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා අඬන්නේ?” යි ඇසීය.

“මම සමන්මලී”

“ගම කොහේද?”‍‍

“හපුතලේ”

“මොනවා වෙලාද මැරුණේ?”

“ඩෙංගු හැදිලා”

“මේ සපුමල් ඔයාගේ කවුද?”

“මම අඳුනන්නෙ නෑ”

“ඇයි එහෙම නම් මෙයාගේ ඇඟට රිංගුවේ?”

“මෙයා ගැන මට දුක හිතුණ. අනුකම්පා හිතුණා. ඒ නිසයි. මම මැරුණට පස්සෙ මෙයා ම‍ෙග් පින්තූරය දැකලා මට ඉතාම තදින් ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදරණීය සිතුවිලි මට තදින් ම දැනුණා. මාව මෙයා ළඟට ඇදිලා ආවා.” යි භූතාත්මය කීවාය.

ප්‍රතිකාරවලින් සපුමල් තරමක් සුවපත් වූ විට ඔහුගෙන් ම අනාවරණය වූ පරිදි සිද්ධිය මෙසේය.

සපුමල් යහළුවන් සමඟ විනෝද චාරිකාවක් ගියේය. හපුතලේ දී නවාතැන් ගෙන නගරයේ ඇවිදින විට මිය ගොස් ඇති සමන්මලීගේ ඡායාරූපය සහිත පෝස්ටරයක් දැක්කේය. සමන්මලී ඉතා රූමත්ය. විසි හැවිරිදිය. සපුමල් දෑස් අදහාගත නොහැකි ඇලීමකින් ඒ පින්තූරය දෙස බලා සිටියේය. ඔහු යහළුවන් මඟ හැර මළ ගෙදරට ගියේය. ඒ සුරූපී තරුණිගේ දේහය දෙස බලා සිටියේය. එදින ඇගේ අවසන් කටයුතු කරන බැවින් කිසිවෙකුට ඔහු කවුදැයි නිනව්වක් නොවීය.

සපුමල් අවශ්‍ය කාරණයකට අද හපුතලේ නතර වන බවට බොරුවක් යහළුවන්ට කියා එදින හපුතලේ නතර විය. අවමඟුල් පෙරහරට ද සහභාගි විය. සමන්මලීගේ පින්තූර දකින්නට දකින්නට ඔහුගේ චිත්ත සංතානය දැඩි සේ ඊට ආලම්බනය විය. සමන්මලීගේ ඥාතීන් සුසාන භූමියෙන් ඉවත්ව ගිය පසු ද ඔහු ඇගේ මිනීවළ ළඟ සිට ඇගේ සුරූපි පින්තූරය දෙස සමවැදී බලා සිටියේය. ඔහු තුළ ආදරයක් වැනි දෙයක් හට ගත්තේය. ඔහු හැඬුවේය. දින තුනක් ම ඇගේ මිනී වළ ළඟට ගොස් එසේ සම වැදුණේය. හැඬුවේය.

ඔහු ආපසු ගමට ආවේය. රැකියාවට ද ගියේය. එහෙත් දැන් සපුමල් ඉතාම සංවේදීය. වරෙක දෑසින් කඳුළු රූරා වැටෙන්නට විය. ඔහු පිටුපස යමෙකු සිටින බව දැනෙන්නට විය. සමන්මලීගේ සුරූපී දේහය මැවි මැවී පෙනෙන්නට විය. ඔහු රැකියාවට ද නොගොස් ගෙදරම නතර වී ඇය ගැනම සිතන්නට විය. මේ ප්‍රබල චිත්තාකර්ෂණයට ඔහුගේ මොළයේ සෛල සම්පූර්ණයෙන් ග්‍රහණයට පත් වී ඇත. ඔහු වරෙක ඇයට සමීප වෙයි. ඇය වැලඳගනී. ඒ සුන්දර, සුකොමළ, තරුණ ආරම්මනය ඔහුගේ ම‍නෝකාය තුළ රජ වී ඔහු එයින් නොවිඳිනා සුවයක් නොවීය.

මේ භූත ලෝකයේ චිත්තාකර්ෂණීය ආලම්බනයෙන් මිදීමට සමන්මලීගේ ම‍නෝමයකායට ද නොහැකිව අන්‍යොන්‍ය ග්‍රහණයට පත්ව ඇත. පියවි ඇසින් ඔබ්බට ලෝකයේ ක්‍රියාත්මක අද්භූත සුවිශේෂී ආත්මීය බලවේග නොපිළිගන්නා බටහිර වෛද්‍ය ක්‍රමයේ මනෝ වෛද්‍යවරුන්ට රෝගය සොයාගත නොහැකි විය.

ගවේෂකවරයා යළිත් භූතාත්මය සපුමල්ට ආවිෂ්ට කොට ප්‍රශ්න කරන්නට විය.

“ඔබ දැන් මනුෂ්‍ය දුවක් නොවන බව සමන්මලී නොවන බව වැටහෙනවාද?”

“ම්........ ම්.......... ඔව් මම මැරුණු බව මතකයි. ඒත් මටත් හැඟීම් තියෙනවා.”

“ඔබේ අම්මා තාත්තා මතකද?”

“නැහැ. මම මේ පිරිමි ළමයා ගැන දැන් ආසයි.”

“සපුමල් ගැන දුකද?”

“නැහැ. මම මෙයාට ආසයි. ළඟට වෙලා ඉන්නවා”

“ඔබ දැන් සමන්මලී නොවෙයි. තවමත් ප්‍රතිසන්ධියක් නොලැබූ මනො­්කායික ගන්ධබ්බ අවස්ථාවක ඉන්නේ. මේ තරුණයා දැඩි ලෝබයකින් රාගයකින් ඔබ කෙරෙහි බැඳී ඇලී සිටිනවා. මෙයින් මොහු මරණයට පත් වුණොත් ඔබ ඒ මරණයට හේතුව වෙනවා. පවක් උරුම වෙනවා. ඒ නිසා කරුණකර කර්මානුරූපව ඔබට සුදුසු තැනක් සකස් වී ඇති. එතැනට යන්න. මිනිසුන්ටත් අමනුෂ්‍යයන්ටත් එකට ජීවත් වෙන්න බැරි බව වටහාගන්න.”

“මට තේරෙනවා. මට උදව් කරන්න. මෙයා මම නොහඳුනන තරුණයෙක් බවත් දන්නවා. මෙයාගේ සිතේ ග්‍රහණයෙන් මිදී යන්න මම කැමතියි.”

ඇය නමින් දානයක් පිරිනමා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

දානයෙන් පසු නැවත පැමිණි දින සමන්මල් වට්ටියකට භූතාත්මය සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.

අදහස්