හැම විටම යහපතින්ම කෙළවර නොවූ පුරාවිද්‍යාවේ උරුම කළමනාකරණය | සිළුමිණ

හැම විටම යහපතින්ම කෙළවර නොවූ පුරාවිද්‍යාවේ උරුම කළමනාකරණය

බෙල්ගේ වකවානුවේ කැණීම් කළ පුරාවිද්‍යා ස්මාරක 20ක් තිබූ තැනවත් සොයාගන්න නෑ...

මුල් වකවානුවේ සංරක්ෂණ කටයුතු කළේ අවබෝධයකින් තොරව...

මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්,

පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යනාංශ ප්‍රධාන,

පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යනාංශය,

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලාංකේය උරුමයේ මුරදෙවොල ය. පුරා වසර 129ක් තිස්සේ මේ ආයතනයේ ශාස්ත්‍රීය මැදිහත්වීම ජාතියේ උරුම කළමනාකරණ විෂයෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. එහෙත් මේ මැදිහත්වීම තුළ සාධනීය කාර්යයක් ඉටු කළ අවස්ථා මෙන්ම අවිද්‍යාත්මක අතාර්කික ස්වරූපයන්ද හඳුනාගත හැකිය. මේ ලේඛනය ඒ ඉතිහාසය පිළිබඳ මැදහත් විවරණයක් සඳහා කෙරෙන සංක්ෂිප්ත එළඹුමකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා ගන්නේ වර්ෂ 1890 දී ය. පළමු පුරවිද්‍යා කොමසාරිස්වරයා එච්.සී.පී. බෙල් ය. ශ්‍රී ලංකාවේ සියලුම පුරාවිද්‍යා ස්මාරක ගවේෂණය කිරීම ආරම්භ කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුවය. එච්. සී. පී. බෙල් සිය ධුර කාලයේ දී පුරාවිද්‍යා ස්මාරක ගවේෂණය කීරීම, ඉහළ මට්ටම් ප්‍රලේඛනගත කිරීම හා කැණීම් සිදු කළේය.

එහෙත් ආරම්භක කාලයේ දී බෙල් ස්මාරක සංරක්‍ෂණය සඳහා අවධානය යොමු කළේ නැත. එම නිසා ඔහු විසින් කැණීම් කරන ලද ස්මාරක බොහොමයක් විනාශ වීමට පටන් ගත්තේය. වාර්තා වී ඇති ආකාරයට කැණීම් කරන ලද ස්මාරකවලින් 20ක් හෝඩුවාවක් හෝ නොතබා මේ වන විට විනාශ වී තිබේ.

සීගිරිය ආශ්‍රිතව කැණීම් සිදු කරන සමයේ මිනිසුන්ගේ ආගමනය නිසා ස්මාරකවල කොටස් විනාශ වීමට පටන් ගත්තේය. එය වැළැක්වීමට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (PWD) භාරදී මහා පරිමාණ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ට පුරාවිද්‍යා ස්මාරක සම්බන්‍ධ අවබෝධයක් නොතිබිණි. එබැවින් ස්මාරකවලට යම් යම් හානි සිදු වී ඇති අවස්ථා ද විය. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුව යටතේ සීගිරියේ දකුණු දොරටුවේ පඩිපෙළ හා සිංහ පාදය උඩින් යන පඩිපෙළ නොවැදගත් ආකාරයට සංරක්‍ෂණය කිරීම ඊට උදාහරණයකි. ඔවුන්ට ස්මාරක සංරක්‍ෂණය සඳහා අවබෝධයක් නොතිබූ බව පෙන්වාදිය හැකි වේදනාත්මක නිදර්ශනය එයය.

එහෙත් යාපහුව පියගැට පෙළ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුව විසින් සංරක්‍ෂණය කිරීම ඊට සපුරා වෙනස් ආදර්ශයක් සැපයීය. එයට අලුතින් කොටසක් එකතු කර සංරක්‍ෂණය කළත් එය හානිදායක නොවන සංරක්‍ෂණයක් විය.

මේ වන විට බෙල්ට සංරක්‍ෂණයේ ඇති වැදගත්කම වැටහී තිබිණි. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට එය කළ නොහැකි බව ද අවබෝධ කරගෙන තිබිණි. සංරක්‍ෂණ කටයුතු සඳහා මුල් වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මිනිසුන් බඳවාගෙන පොලොන්නරුවේ වටදාගෙය තුළ ඉහළ මට්මේ සංරක්‍ෂණයක් බෙල් ඉන් පසුව සිදු කළේය.

ලංකාවේ බෞද්ධ පුනර්ජීවන කණ්ඩායම්වල පිබිදීම ආරම්භ වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් වැඩ කරගෙන යන අතරය. ඒ සඳහා අනගාරික ධර්මපාලතුමා හා වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා කැපීපෙනෙන වැඩ කොටසක් කළහ. ඔවුන් ඉංග්‍රීසි ආණ්ඩුවට බල කරන ලද්දේ මුළුමනින්ම එම ස්මාරක ඉදි කර ඒවායේ මුල් ස්වරූපයට ගෙන එන ලෙසය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංරක්‍ෂණ හා ප්‍රතිසංස්කරණ මණ්ඩලය බිහි විය. එමඟින් ථූපාරාමය ප්‍රතිසංස්කරණය, ලංකාරාමය ප්‍රතිසංස්කරණය සිදු විය.

මේ අතරතුර තායිලන්ත රජ කුමරකුගේ මාර්ගයෙන් මිරිසවැටිය සංරක්‍ෂණය සඳහා බෞද්ධ පුනර්ජීවන කණ්ඩායම් රජයේ අවධානය යොමු කරවීය. ‍ඔටෙල් විසින් ඒ සඳහා ප්‍රතිසංස්කරණ වාර්තාවක් සකස් කරන ලදී. එම සංරක්‍ෂණ යෝජනාව ඉතා උසස් විශිෂ්ට සැලසුමකින් යුක්තව 1903 දී සකස් කරන ලදී. ලංකාවේ ස්මාරක පිළිබඳ පුදුමයට පත් වී අභයගිරිය, රුවන්මැලිය, ජේතවනය යන ස්තූප සඳහා ද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනාවලි ඔටෙල් ඉදිරිපත් කළේය. පසු කලෙක දී රුවන්මැලිසෑය සංරක්‍ෂණයට එම යෝජනාවලි ඉතා වැදගත් වී ඇත.

1910 පමණ වන විට එංගලන්තය හා යුරෝපයේ ස්මාරක ප්‍රතිසංස්කරණයට විරුද්ධ බලවේග නැඟී ආවේය. ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ ඒවා ප්‍රතිංසංස්කරණය නොකර තිබෙන අයුරින් තැබීම වැදගත් බවය. එම මතය එංගලන්තය, ප්‍රංසය, ඉතාලිය දැඩිව ක්‍රියාත්මක කළ බැවින් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව ද ස්මාරක පැරණි මට්ටමින් ආරක්‍ෂා කිරීමට උත්සාහ ගත්තේය. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර එම මතයට විරුද්ධ වුවත් ඉංග්‍රීසි ආණ්ඩුව එයට එකඟවූයේ නැත.

එම කාලයේ දී මෙරට තිබූ මධ්‍යකාලීන යුගයේ ගොඩනැගිලි සම්බන්‍ධ ඉතා වැදගත් තොරතුරු කෙරෙහි ආනන්ද කුමාරස්වාමි අවධානය යොමු කිරීම කැපීපෙනිණි. එම ගොඩනැගිලි නවීකරණය කිරීමෙන් ඒවා දිරාපත් වී යෑම සහ විකෘති වීම ඔහු විසින් අවබෝධ කරගන්නා ලදී. එම ස්මාරක වෙනස් කරන අය පුවත්පත් මඟින් දැඩි ලෙස විවේචනය කළේය. උදාහරණ වශයෙන් උඩරට ප්‍රභූන් වෙත විවෘත සංදේශයක් යවමින් 1905 දී Ceylon Observer පුවත්පතේ ලිපියක් පළ කරන කුමාරස්වාමි මධ්‍ය කාලීන යුගයේ ගොඩනැගිලි විකෘති කිරීම සම්බන්‍ධ තොරතුරු ඇතුළත් කරන ලදී. එම මතවාදය එවකට යුරෝපයේ ක්‍රියාත්මක වූ මතවාදය හා සමාන විය.

ආනන්ද කුමාරස්වාමිගේ මතවාදය සඳහා ජෝන් රස්කින් හා විලියම් මොරිස් යන වාස්තුවිද්‍යාඥයන්ගේ මතවාද ද බලපා තිබිණි. විලියම් මොරිස් සහ ජෝන් රස්කින් අතීත ස්මාරක නිර්වචනය කර ඇත්තේ අතීතය විසින් නිර්මාණය කළ නිර්මාණවල අයිතිය ඇත්තේ ඒවා නිර්මාණය කළ උදවියට සහ අලුතින් බිහිවන අනාගත පරම්පාරවට බවය. එසේම වර්තමානයේ ජීවත් වන අප ඒවායේ තාවකාලික භාරකරුවන් බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

වර්ෂ 1922 - 1927 පුරාවිද්‍යා කොමසාරිස්වරයා හොර්කාට්ය. ඔහු විසින් පොලොන්නරුවේ ථූපාරාම පිළිමගෙය, ලංකාතිලක පිළිමගෙය, තිවංක පිළිමගෙය ආදී ස්මාරකවල සංරක්‍ෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. හොකාර්ට් ප්‍රකාශ කළේ තහවුරු කිරීමට හැකි නම් පමණක් ස්මාරක කැණීම් කළ යුතු බවය.

වර්ෂ 1940 - 60 පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් පත් වීමෙන් පසුව ස්මාරක ආරක්‍ෂා කිරීමේ දී පෞද්ගලික දේපළ ආරක්‍ෂා කරගැනීම සඳහා දායක විය හැකි ආකාරයත් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික ඥානය ලබාදිය හැකි බවත් පෙන්වා දුන්නේය. වර්ෂ 1964 දී ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වූ වැනිස් ප්‍රඥප්තියට ද එම මතය අන්තර්ගත වීම වැදගත් වේ. එම කාලයේදී වූ තවත් වැදගත් දෙයක් වන්නේ ස්මාරකවලට අර්ථකථනයක් දීම ආරම්භ කිරීමය. මෙහි මුල් අදහස ශ්‍රී ලංකාවේ ස්තූප යන පොතින් පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

එසේම පරණවිතාන මහතා මෙරට විවිධ ප්‍රදේශවල ඇති ශිලාලිපි රාශියක් කියවා අර්ථ දැක්වීම අතිශය වැදගත් ක්‍රියාවලියක් විය. සීගිරියේ කුරුටු ගි කියවා ඒ සඳහා අර්ථකථන ලබාදීම ලාංකේය ඉතිහාසය කියැවීමේදී වූ විශිෂ්ට කාර්යයකි. එම කාලයේ දී තවත් වැදගත් කටයුත්තක් වූයේ පූජා නගර සංකල්පය ඇරඹීමයි. ඒ සමඟම අනුරාධපුරය සංරක්‍ෂණය විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය සඳහා නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව බිහි වීම කැපීපෙනිණි.

1960 දශකයේ අවසානය මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් සනිටුහන් කරන දශකයක් විය. එතෙක් ස්මාරක මතු කර ගැනීමට කැණීම් සිදු කිරීම වෙනුවට ස්ථරායානුකූලව මානව සංස්කෘතියේ පෙළගැස්ම විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා යොමුවීම කැපීපෙනිණි. මෙහි පුරෝගාමියා වන්නේ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ය. ඔහු විසින් ස්ථරායනය ඇසුරින් තාක්‍ෂණික සංස්කෘතික අවධිවල පෙළගැස්ම සොයනුවස් 1969 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදු කරන ලද කැණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් සහ පූර්ව ඉතිහාසය සම්බන්ධව පර්යේෂණ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ ආරම්භ විය.

ඒ සමඟ මෙරට ඉතිහාසය පිළිබඳ ජගත් අවධානය යොමු විණි. අනතුරුව අන්තර්ජාතිකව පිළිගත් පුරාවිද්‍යාඥයන් රාශියක් මෙරටට පැමිණ පර්යේෂණ සිදු කර සිරාන් දැරණියගල මෙරට මානව ජනාවාසකරණය සම්බන්ධ ඉදිරිපත් කර ඇති මතවාද තහවුරු කළේය. එය මෙරට පුරාවිද්‍යාවේ පසුගිය වසර 129 ඇතුළත් වූ විශිෂ්ට පැතිකඩක් ලෙස පෙන්වාදිය හැකිය.

වර්ෂ 1980න් පසුව මෙරට ඇරඹෙන විවෘත ආර්ථිකයත් සමඟ මෙරට සංස්කෘතිය ලෝකයට විවෘත වීම සහ අන්තර්ජාතික ස්මාරක සමඟ සන්සන්දනය කිරීමට පටන්ගැනීම නිසා යහපත් හා අයහපත් කරුණු රාශියක් මෙරට පුරාවිද්‍යාවට එක් විණි.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ස්මාරක කිහිපයක් ලෝක උරුම ස්මාරක ලෙස නම් කිරීම සිදු වන්නේ ඒ වකවානුවේය. ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ මැදිහත්වීම මත යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ආරම්භ කිරීම සමඟ ලෝක උරුම ස්මාරක නැරඹීම සඳහා සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය විය. එසේම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති මඟින් ස්මාරක කැණීම් කොට සංරක්‍ෂණය කිරීම නිසා මූල්‍යමය වශයෙන් ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයා දුන්නේය.

සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ආරම්භ කිරීම සමඟ එතෙක් සමාන්‍ය ජනයා අතර ප්‍රචලිත නොවූ පුරාවිද්‍යා විෂය සමාජයට විවෘත විය. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් බිහි කිරීමට පුරාවිද්‍යා විෂය විශ්වවිද්‍යාල ගණනාවක ඉගැන්වීම ආරම්භ විය. එම කාලයේ දී අන්තර් ජාතික සම්බන්ධතා ඇතිවීම සමඟ ICOMOSආයතනය(International Council of Monuments and Site) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ නිසා අන්තර්ජාතික වශයෙන් ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය සඳහා පුහුණුවීම්වලට ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන්ට හා වාස්තුවිද්‍යාඥයන්ට අවස්ථාවක් හිමි විය.

යටත්විජිත යුගයේ දී මෙරට ඉදි කරන ලද ස්මාරක ආරක්‍ෂා කිරීම සම්බන්ධව ද ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු වන්නේ මේ වකවානුවේදීය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ විශාල පුරාවිද්‍යා පර්යේෂණ රාශියක් පසුගිය වසර 129 කාලය තුළ සිදු කර අප රටේ ඉතිහාසය ජාතික හා අන්තර්ජාතික තලයට ගෙන ගොස් තිබීම ප්‍රසංශනීය ය. නමුත් වර්තමානය වන විට පුරාවිද්‍යා ක්ෂේත්‍රය පුරාවිද්‍යා පර්යේෂණ සිදු කිරීමට සුදුසු උපාධිධාරී හා උපාධිධාරී නොවන මානව සම්පතින් පොහොසත්ය. ඔවුන්ගෙන් ඵලදායී මෙහෙවරක් ගැනීමට එම ආයතනය අසමත් වී ඇති බව පෙනේ. පෙර මෙන් සැලකිය යුතු පුරාවිද්‍යා කැණීම්, ගවේෂණ හා පුරාවස්තු විශ්ලේෂණ කටයුතු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදු වන්නේ නැත.

එය අප හමුවේ ඇති උභතෝකොටියකි. එම නිසා එම විශිෂ්ට ආයතනය මඟින් දහස් ගණනක් වන විවිධ සංස්කෘතික අවධිවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඒවා ප්‍රචලිත කිරීම සිදු කළ යුතුව ඇත.

අදහස්