අපූරු ජීව­ක­යකු මැවූ ජපුර රෝහලේ ඩිස්නි­ල­න්තය | සිළුමිණ

අපූරු ජීව­ක­යකු මැවූ ජපුර රෝහලේ ඩිස්නි­ල­න්තය

මට ඕන වුණේ දරු­වන් වෙනු­වෙන් ලස්සන ලෝක­යක් හදන්න

ඔහු රෝහල් වාට්ටුවේ අපූරු ඩිස්නි­ල­න්ත­යක් මැව්වේය. පූලා, ටෙඩී බෙයාර්ලා පම­ණක් නොව සෙසමි වීදි­යත් මේ ළමා වාට්ටුවේ මැවුණේ එසේය. ඔහු ඒ සියල්ල කළේ සිය පෞද්ග­ලික ධනය නොම­සු­රුව විය­දම් කර­මිනි.

ජය­ව­ර්ධ­න­පුර මහ රෝහල කව­දත් අති­ශය කාර්ය බහු­ලය. රෝගීන් රැගත් වාහන එහා මෙහා යන්නේ වේග­යෙනි. රෝහල් කාර්ය මණ්ඩ­ල­යද සුපු­රුදු පරිදි කාර්ය ශූරය. ඔවුහු නොපි­රි­හෙළා සිය සේවය ඉටු කර­න්නට ලක ලැහැ­ස්තිව සිටිති. පාන්දර සිට ගවු ගණන් දුර ගෙව­මින් සායන කරා පැමිණි රෝගීන් තව­මත් පෝලිම් වල පෙළ ගැසීය. ඔවුන් නොඉ­ව­සි­ල්ලෙන් තම වාරය පැමි­ණෙන තුරු බලා සිටින්නේ හැකි ඉක්ම­නින් ප්‍රති­කාර ගෙන නිවෙස් කරා යාමේ අපේ­ක්ෂා­වෙනි.

අප ද ජය­ව­ර්ධ­න­පුර රෝහල කරා ඇදුණේ මෙවන් ජනා­කීර්ණ වූ මෙහො­ත­කය. රෝහල් බිමේ සිටින දහ­ස­කුත් දෙනා අත­රින් මම ද යායුතු තැන සෙවූ­යෙමි. රෝහ­ලක ඇති කටුක, රළු දසුන් අත­රින් මගේ සිත දිව යන්නේ රෝහ­ලක් තුළ නොද­කින අපූරු සුන්ද­ර­ත්ව­යක් සොයාය.

“මම උදේ හතට ඇවිත් වැඩ පටන් ගන්නවා. වැඩ කරන වෙලා­වට දුර­ක­ත­න­ය­ක්වත් ළඟ තියා ගන්නේ නැහැ. ඒ නිසා ආර­ක්ෂක අංශ­ව­ලට මම දැනුම් දීලා තිය­න්නම්. ඔයාලා කෙළින්ම රෝහලේ ළමා වාට්ටු­වට එන්න.” ජය­ව­ර්ධ­න­පුර රෝහලේ ළමා වාට්ටුව භාර විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය රෝහාන් ඇලෝ­සි­යස් මහතා පැවසූ වදන් යළිත් සිහි­පත් වෙයි. ඔහු පැවසු පරි­දිම අවේ­ලාවේ රෝහ­ලට පිවිසි අපට ආර­ක්ෂක අංශ­ව­ලින් කිසිදු බාධා­වක් ඇති නොවීය. මමත් ඡායා­රූප ශිල්පි කැලුම් ත් රොහල් කොරි­ඩෝව දිගේ ජය­ව­ර්ධ­න­පුර රෝහලේ ළමා වාට්ටුව සොයා ගියෙමි.

මිකි මවුස්ලා, සින්ඩ­රෙල්ලා, බෙලා, පීටර් පෑන්ලා, ස්නෝ වයිට්ලා, පූ ලා සිය­ල්ලම ඩිස්නි­ල­න්ත­යෙන් මෙහි ගොඩ බැස සිටිති. අප සිටියේ අපූරු ඩිස්නි­ල­න්තයේ දොර­ටුව අභි­ය­සය. සුපු­රුදු සාම්ප්‍ර­දා­යික රෝහල් බිමක නොද­කින අපූරු සුන්ද­ර­ත්ව­යක් කැටි වුණු මේ ළමා ලෝක­යට අපි ත් ගොඩ වැදු­ණෙමු. රෝහ­ලක වාට්ටු­වක් පර­ය­මින් සාම්ප්‍ර­දා­යි­ක­ත්ව­යෙන් එහා ගිය සුන්දර ළමා ලොවක් අප දෙනෙක් අභි­ය­සය. ඒ ළමා ලෝකයේ පුංචි එවුන් පම­ණක් නොව ඔවුන්ගේ ආර­ක්ෂ­ක­යින් වු වෙද හෙද පිරිස්ද මේ ලස්සන ලොව තවත් ලස්සන කර­න්නට වෙහෙ­සෙති. මහා­චාර්ය රොහාන් ඇලෝ­සි­යස්, ඒ ළමා ලොවේ මැවු­ම්ක­රුය.

“මේ දොස්තර ධීරා දේව­රාජි. මේ දොස්තර ඉන්ද්‍ර­චාපා. මේ දොස්තර ශිරාස් රාසික්. මේ ඉන්නේ දොස්තර රිද්මි රණ­තුංග. මේ ඉන්නේ දොස්තර කුමු­දුණි අත්ත­නා­යක. අර එහා පැත්තේ ඉන්නේ දොස්තර සමිද්ධි ගුණ­රත්න. මේ දොස්තර නවෝද කුමා­ර­සිංහ. මේ දොස්තර බිමාලි උර්මිලා.” මහා­චාර්ය රෝහාන් ඇලෝ­සි­යස් සිය හවු­ල්කාර වෛද්‍ය­ව­රුන් අපට හඳුන්වා දෙයි. විවිධ ජාති ආග­ම්ව­ලින් යුතු වෛද්‍ය­ව­රුන් වුවද ඔවුන්ගේ අර­මුණ එකකි. සැවොම සෑදී පැහැදී එකා මෙන් වෙහෙ­සෙන්නේ දරු­වන්ගේ යහ­පත වෙනු­වෙනි.

රෝහල් වාට්ටු­වක මැවුණු මේ අපූරු ළමා ලෝකයේ නිර්මා­තෘ­ව­රයා මහා­චාර්ය ඇලෝ­සි­යස් මහ­තාය. මහා­චා­ර්ය­ව­රයා කිසිම භේද­ය­කින් තොරව සිය වෛද්‍ය හෙද හා අනෙක් මණ්ඩ­ලය සම­ඟින් දරු­වන් වෙනු­වෙන් අපූරු ගම­නක් යන්නේය. එය අන් රෝහ­ල්ව­ල­ටද ආද­ර්ශ­යකි.

රෝහල් පරි­ස­රයේ මැවුණු මේ සුන්දර ළමා ලොව, රෝගී දරු­වන්ට ඖෂ­ධ­ව­ලින් කෙරෙ­න­වාට වඩා මනස සුව­පත් කරන ස්ථාන­යකි.

මහා­චාර්ය ඇලෝ­සි­යස් මේ රෝහල් වාට්ටුව බාර ගත්තේ 2007 වස­රේ­දීය. එකල මෙතැ­නද සුපු­රුදු පරීදි ජය­ව­ර්ධ­න­පුර රෝහල් සංකී­ර්ණයේ තවත් එක් වාට්ටු­වක් පම­ණක් විය. එහෙත් දරු­වන් සුව­පත් කිරීම වෙනු­වෙන් සිය ජිවි­ත­යම කැප­කර සිටින මේ වෛද්‍ය­ව­ර­යාට ඇවැසි වූයේ මෙහි පැමි­ණෙන දරු­වන්ට ඖෂධ ප්‍රති­කා­ර­යට වඩා මාන­සික සුව­යක් අත්පත් කර දීම­ටය. ඔහු මුදලේ වටි­නා­කම තුට්ටු­ව­ක­ට­වත් මායිම් නොක­ර­න්නේය. ඇති තරම් මුදල් විය­දම් කළේ දරු­වන්ගේ සිත් ඇද­ගන්නා ප්‍රිය­ම­නාප පෙනු­මක් වාට්ටු­වට දෙමින් දරු­වන්ගේ ගත සුව­පත් කරන වට­පි­ටා­වක් සැක­සී­ම­ටය. මාසේ අන්තිම ලබන වැටුප ඔහු වැය කළේ අස­රණ රෝගි දරු­වන් වෙනු­වෙන් ළමා ලොවක් තන­න්න­ටය. ඒ අර­මු­ණෙන් හෙතෙම රෝහල් බල­ධා­රීන්ගේ ද අව­ස­රය ඇතිව රෝහල් වාට්ටුවේ අපූරු ඩිස්නි­ල­න්ත­යක් මැව්වේය. පූලා, ටෙඩී බෙයාර්ලා පම­ණක් නොව සෙසමි වීදි­යත් මේ ළමා වාට්ටුවේ මැවුණේ එසේය. ඔහු ඒ සියල්ල කළේ සිය පෞද්ග­ලික් ධනය නොම­සු­රුව විය­දම් කර­මිනි.

රුපි­ය­ලට දෙකට අස­රණ රෝගීන් ප්‍රාණ ඇප­යට ගන්නා ඇතැම් වෛද්‍ය­ව­රුන් ගැන අපි කොතෙ­කුත් අසා ඇත්තෙමු. එසේ තිබි­යදී දරු­වන් වෙනු­වෙන් මිනි­ස­ත්කම උප­රී­ම­යෙන් දායාද කළ මේ අපූරු වෛද්‍ය­ව­ර­යාගේ සේවය ලොවක් තර­මට වටින්නේ එහෙ­යිනි.

“ 2007 දි මම බාර ගන්න කොට මේ වාට්ටුව තිබුණේ සාමාන්‍ය වාට්ටු­වක් විදි­යට. මට ඕන වුණා මේ වාට්ටු­වට එන දරු­වන්ට ප්‍රති­කා­ර­යෙන් පම­ණක් නොව මාන­සි­ක­වත් හැකි ඉක්ම­නින් සුව­පත් වෙන පරිදි රෝහල් පරි­ස­රය සක­සන්න. දරු­වන්ගේ රෝග සුව­වෙන්න පිරි­සුදු වාට්ටු­වක් වගේම හොඳ පරි­ස­ර­ය­කුත් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වුණේ හැම දරු­වෙ­කුම ඉක්ම­නින් සුව­පත් කර නිවෙ­සට පිටත් කර හරි­න්නයි. මේ වාට්ටුව ලස්සන කරන්න පටන් ගත්තේ ඒ අනු­වයි. එය බොහෝ විය­දම් යන වැඩක් බව තේරුණා. අපි වාට්ටු­වට පිවි­සෙන දොර­ටුවේ සිට ඇතු­ළත දක්වාම වෙනස්ම විදි­ය­කට සකස් කළා. දරු­වන් වෙනු­වෙන් ලස්සන ලෝක­යක්, ඒ වගේම මේ වාට්ටු­වට එන දරු­වන්ට අර්ථ­වත්ව කාලය ගත කරන්න පුළු­වන් ආකා­ර­යට සකස් කළා. දරු­වන්ගේ රෝහල් වාට්ටු­වෙන් එපිට වත්ත අලං­කාර ලෙස සකස් කර සම­නල උය­නක් සැදුවා. එහි දරු­වන්ට ක්‍රීඩා කරන්න සෙල්ලම් පිට්ට­නි­යක් සකස් කළා. වාට්ටුව ඇතු­ළත අලං­කාර කර­මින් මාළු ටැංකි­යක් දැම්මා, දරු­වන්ගේ මාන­සික සුවය පතා. එයට ගොඩාක් අයත් උදවු කළා. අද ඇඳට වෙලා අස­නී­ප­යෙන් සිටින දරු­වන්ට කිය­වන්න පුස්ත­කා­ල­යක් තියෙ­නවා. ඒ පුස්ත­කා­ලයේ තියෙන්නේ ඉංග්‍රීසි පොත්පත්. ඒ වගේම රෝගීව ඇඳට වැටුණු දරු­වන්ට චිත්‍ර අඳින්න පහ­සු­කම් ඇති කළා. මේ දරු­වන්ගේ චිත්‍ර වෙනු­වෙන් අපි බිත්ති පුව­රු­වක් සකස් කර හොඳම චිත්‍ර­ව­ලට තෑගි දුන්නා.” මහා­චාර්ය ඇලෝ­සි­යස් පව­ස­න්නේය.

මින් නොනැ­ව­තුණු මහා­චා­ර්ය­ව­රයා දරු­වන් වෙනු­වෙන් කරන විවිධ සත්කාර වැඩ සට­හ­න්ව­ල­දීද සිය ශ්‍රම­යෙන් හා මුද­ලින් දාය­ක­ත්වය සප­ය­න්නේය.

ගිලන්ව ජය­ව­ර්ධ­න­පුර රෝහ­ලට ඇතු­ළත් කෙරෙන දරුවෝ අද රෝගී සයන මතට වී කල් නොගෙ­වති.

රෝගී සය­නයේ සිටින දරු­වන් අත­රින් බොහො­ම­ය­කගේ මුහුණු රෝගී බව යට­පත් කර­මින් සිනා රැල්ල­කින් එළිය වෙයි. කොත­රම් රෝගී වුවද මේ දරුවෝ ප්‍රබෝ­ධ­මත්ය. සම­හ­රෙක් ඇඳට වී චිත්‍ර අඳිති. හොඳට ඇන්ඳ­හොත් තමන්ගේ චිත්‍රය රෝහල් නිර්මාණ පුව­රු­වට එක්වන බව ඔවුහු දනිති. තවත් අය ඇඳට වී ඉංග්‍රීසි පොත­පත කිය­වති. ඒ ලොකු දොස්තර අංකල් ගේ කැප­වී­මෙන් මේ දරු­වන් ශාරී­රි­ක­වත්, මාන­සි­ක­වත් සුවය ලබන අයු­රුය.

“සර් එක්ක උදේ 7 ට අපි වැඩ ආරම්භ කරන්නේ දරු­වන් වෙනු­වෙන් සෙත්පතා යාඥා කර. මේ හැම­දේම සකස් වුණේ සර්ගේ විය­ද­මින්. අපිත් හැකි විදි­යට සර්ට උදවු වුණා. ළමා උද්‍යා­නය මාස­යක් තුළ ඉඳි­කළා. අද මේ වත්තේ සම­න­ලුන් පිරිලා. දරුවෝ සම­න­ලුන් පස්සේ දුව­නවා බලන් ඉන්න ආසයි. අපි දරු­වන් වෙනු­වෙන් පොඩි පුස්ත­කා­ල­යක් දැම්මා. ගොඩාක් පොත් සර් දරු­වන් වෙනු­වෙන් පිට­ර­ටින් පවා ගෙන්වුවා. සම­හර දරු­වන් ටිකට් කපා ගෙන­යන විට ආසා­වට ඒවත් ගෙදර අර­ගෙන යනවා. අපි මුකුත්ම කියන්නේ නැහැ. නත්ත­ලට, අවු­රු­ද්දට, ළමා දින­යට දරුවෝ මේ වාට්ටුවේ ගොඩාක් විනෝද වෙනවා. ඒ අයට අපි තෑගි විත­රක් නෙමේ අපිට දෙන්න පුළු­වන් උප­රී­ම­යෙන් ආද­ර­යත් ලබා දෙනවා.” වෛද්‍ය ඉන්ද්‍ර­චාපා පැව­සු­වාය.

මුළු වාට්ටු­වම රෝගී දරු­වන්ගේ දෙඅ­තින් වර්ණ­වත් වූ චිත්‍ර­ව­ලින් විසි­තුරු වී ඇති අන්දම එහි ගිය අපි දුටු­වෙමු. රෝහලේ පළමු වාට්ටුව ඔවුන්ගේ සුර­තලා වූ පූ බෙයාර් සංක­ල්ප­යෙන් විසි­තුරු වී ඇත. හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ගෙනෙන දරු­වන්ගේ වාට්ටුව සෙසමි වීදියේ සිතු­ව­මින් අලං­කාර වී ඇත්තේය. මේ අන්ද­මට රෝහලේ ළමා වාට්ටුවේ වාට්ටු හත­රක් ළමා සිත් ඇද ගන්නා අන්ද­මින් විසි­තුරු වී ඇත.

රෝහලේ සය­න­යක් මතට වී චිත්‍ර­යක් සිතු­වම් කරන ඇය විද්‍යා­ලං­කාර බාලිකා විදු­හලේ 6 වැනි වසර අභි­ෂ්කාය.

“අස­නීප වුණත් මම ගොඩාක් ආසා­වෙන් මේ දවස් ටික හිටියේ. සෙල්ලම් කළා. පුස්ත­ක­ල­යෙන් පොත් අර­ගෙන කියෙව්වා. ඒ වගේම දැන් ලස්ස­නට චිත්‍රත් අදි­නවා. ලොකු දොස්තර අංකල් වගේම අනි­කුත් දොස්තර ඇන්ටිලා අංක­ල්ලත් අපිට හරීම ආද­රෙයි. මම දැන් චිත්‍ර ගොඩාක් ඇන්දා. අපි අස­නී­ප­යෙන් ආවත් මෙහෙදි අමාරු දැනෙන්නේ නැහැ.” ඇය පව­ස­න්නීය.

“ලොකු දොස්තර මහ­ත්ත­යට දරු­වන් ගැන හොඳ මත­ක­යක් තියෙ­නවා. වෛද්‍ය ප්‍රති­කා­ර­ව­ලට වඩා සර්ට ඕන දරු­වන්ව සතු­ටින් තියලා සුව කර­න්නයි. මේ හැම දේම සර් කළේ සර්ගේ විය­ද­මින්. දරු­වන්ගේ වාට්ටුවේ අනිත් පැත්තේ සර් දරු­වන්ට ඉගෙන ගන්න ගමේ තියෙන ආකා­ර­යට ලස්සන මැටි ගෙයක් හැදුවා. ගැමි ගෙද­රක තිබිය යුතු සිය­ලුම දේ එහි තියෙ­නවා. දරුවො ඒ සෙල්ලම් ගෙද­රට වෙලා සෙල්ලම් බත් ඉව්වා. ඒත් පසු­ගිය අධික වර්ෂාව නිසා ඒක විනාශ වුණා. සර් සකස් කළ සම­නල් වත්තට දරු­වන් හරීම ආසයි. පුංචි එවුන් සම­න­ලුන් පස්සේ දුව පැන ඇවි­දින කොට බේතක් පවා පොවා ගන්න පහ­සුයි.” රෝහලේ සෞඛ්‍ය කළ­ම­නා­කා­රිණී චූල­කාන්ති මහ­ත්මිය පව­ස­න්නීය.

මහා­චාර්ය ඇලෝ­සි­යස් මහ­තාගේ දැන් වෑයම වාට්ටුවේ පුස්ත­කා­ලය තවත් වර්ධ­නය කිරී­මය. ඔහු මේ වන­වි­ටත් ඒ කාර්ය­යට අත ගසා ඇති අතර පරි­ත්‍යා­ග­ශී­ලින්ට ඒ සඳහා පොත් දරු­වන් වෙනු­වෙන් පරි­ත්‍යාග කිරීමේ හැකි­යාව ඇති බව ඔහු පව­ස­න්නේය.

මහා­චාර්ය රොහාන් ඇලෝ­සි­යස් මහ­තාගේ සම­නල් වත්තේ බොහෝ ඉදි­කි­රීම් කර ඇත්තේ උප­ස්ථා­යක සුභාෂ් විරාජ් ය.

“මම මේ රෝහ­ලට ඇවිත් අවු­රුදු 35 ක් වෙනවා. සර් මේ රෝහ­ලට ආවේ 1988 දී. සර් එන­කොට මෙහි තිබූ පරි­ස­රය දරු­වන්ට සුන්දර වුණේ නැහැ. සාමාන්‍ය රෝහල් පරි­ස­ර­යට දරු­වන් ගොඩාක් බයයි. සර් ආවාට පස්සේ සර්ගේ විය­ද­මින් මේ වාට්ටුව අලං­කාර කළා. සම­නල්ලු ගෙන්වා ගන්න අවශ්‍ය ගස් පවා සර්ගේ පෞද්ග­ලික විය­ද­මින් ගෙනත් හිටෙව්වා. එදා දරු­වන්ට සෙල්ලම් කරන්න පවා තැනක් තිබුණේ නැහැ. ඒත් අද මේ වාට්ටු­වට ආපු දරු­වෙ­කුට හිතෙන්නේ නැහැ අස­නිප වෙලා රෝහ­ල­කට ආවා කියලා. මේ වාට්ටු­වට එන දරු­වන්ගේ දෙම­වු­පි­ය­න්ටත් එහෙ­මයි” සුභාෂ් පව­ස­න්නේය.

උදේ 7 ට රෝහල් වාට්ටු­වට එන මහා­චාර්ය ඇලෝ­සි­යස් මහතා විටෙක දරු­වන්ගේ රෝග පරී­ක්ෂා­වෙන් අන­තු­රුව දරු­වන් සම­ඟම කාලය ගත කරන්නේ දරු­වන්ගේ නිර්මා­ණ­යන්ට පණ පොව­න්න­ටය. ලස්සන චිත්‍ර රෝහල් වාට්ටුවේ සැර­සි­ල්ලක් වන්නේය. වෛද්‍ය කාර්ය මණ්ඩ­ලයේ කාරු­ණික වදන් දරු­වන් සුව­පත් වීමට තවත් හේතු­වකි.

අපට රෝහල් වාට්වු­වෙන් නික්මී­මට කාලය පැමිණ ඇත. මේ කාර්ය බහුල මහා­චා­ර්ය­ව­ර­යාට ‍අප සමඟ දොඩ­මළු වෙමින් සිටී­මට කාලය ඉඩක් ඉතුරු කර නැත. ඔහු දරු­වන් වෙනු­වෙන්ම වෙන්වු ලොව­කළ සිය කාලය වැය කරන්නේ ය. ඔහු සමඟ සිටින හෙද, වෙද කාර්ය මණ්ඩ­ල­යද එසේ­මය. ජය­ව­ර්ධ­න­පුර රෝහලේ ඉදිවූ මේ සුරං­ගනා ලොවින් නික්මුණු අපි රෝහල් කොරි­ඩෝ­වට පිවි­සි­යෙමු. පුංචි දරු­වෙකු සිය මවගේ අතේ එල්ලි අඬ­මින් යයි.

“ඇයි මේ බෙහෙත් විද­ලද?” මම විම­සු­වෙමි.

“බල­න්නකෝ වාට්ටු­වෙන් යන්න බැහැ කිය­ලයි මේ අඬන්නේ. තව ටිකක් ඉන්න ඕනලු සම­නල්ලු අල්ලන්න.” මව එසේ පව­ස­මින් දරු­වාගේ අත වැරෙන් ගෙන අප පසු කර­මින් රෝහ­ලෙන් නික්මු­ණාය. එහෙත් දරු­වාගේ සිත තව­මත් සැරි සරන්නේ ඒ සුන්දර ඩිස්නි­ල­න්ත­යේය.

සේයාරූ - කැලුම් ලිය­නගේ

අදහස්