සුද්දන්ගේ නාවික හමු­දා­වට බැඳී ලෝක යුද්ධ මතක අතරේ දිවි ගෙවන අම­ර­සේන මුත්තා | සිළුමිණ

සුද්දන්ගේ නාවික හමු­දා­වට බැඳී ලෝක යුද්ධ මතක අතරේ දිවි ගෙවන අම­ර­සේන මුත්තා

* බ්‍රිතාන්‍ය රාජ­කීය නාවික හමු­දා­වට බැඳුණේ 1943... 
* දෙවැනි ලෝක යුද්ද කාලෙ ත්‍රීකු­ණා­මල වරා­යට වැඩි­පුර ආවෙ රුව­ල්නැව්
* රාජ­කා­රිය දේව­කා­රිය වගේ ඉටු කිරීම අප සුද්ද­න්ගෙන් ලද ලොකුම දායා­ද­යයි

ඔහු නමින් අම­ර­සේ­නද සිල්වාය. වයස අවු­රුදු 95කි. ඔහු නාවික හමු­දා­වට එක්වූයේ බ්‍රිතා­න්‍ය­යන් අප රට යටත් කර­ගෙන සිටි කාල­යේය. එකල රාජ­කීය නාවික හමු­දා­වය. නාවික හමු­දාවේ කියුම් කෙරුම් ගැන ඔහු දන්නා දේ බොහෝය.

“යුද්දෙ නිසා කන්න බොන්න තර­ම්වත් ඉස්පා­සු­වක් නැති තර­මට අපිට වැඩ තිබුණා. දවස් ගාණක් එක දිගට වැඩ කරල මහ­න්සි­යෙන් හිටපු මට පැය 6ක් වත් නිදා ගන්න ලැබුණෙ නැහැ. උදේ පාන්දර 4 ඉඳල 8 වෙන­කල් ඩියු­ටි­යක් තිබුණා. ඒ ත්‍රිකු­ණා­ම­ලය වරාය පිවි­සුම ආස­න්නයේ මුහුද මැද තියෙන පොඩි දූප­තක. චැපල් හිල් කියල තමයි ඒ දව­ස්වල ඒ දූප­තට කිව්වෙ. මට තිබුණෙ දූපතේ ඉඳල වරා­යට ඇතු­ළු­වන නැව් ගැන මෝස් කෝඩ් එකෙන් සංඥා දෙන එකයි. ඒ සංඥාව ත්‍රිකු­ණා­ම­ලයේ ප්‍රධාන නාවික මූල­ස්ථා­න­යට යනවා. ඒකෙන් සිය­ලුම නිල­ධා­රීන් දැන ගන්නව වරා­යට ඇතුළු වන නැව අපට සම්බන්ධ එකක් කියලා. මොකද ඒ දව­ස්වල අපි නොදන්න නැව් පවා එනවා. ඒවා­යින් ලබා දෙන මෝස් සංඥා රහස් පණි­වුඩ අනුව තමයි අපි දැන ගන්නේ නැව ගැන විස්ත­රය.

මට දිනේ මාසෙ නං මතක නැහැ. ඒත් අවු­රුද්ද නම් 1944 කියල හොඳ­ටම මත­කයි. උදේ 4 ට රාජ­කාරි බාර­ගත්ත මට උදේ 5 ට විතර තද බල බඩේ කැක්කු­මක් ආවා. කලින් දවසෙ කාපු කෑම නිසා අජී­ර්ණ­යක් වෙලා කියල මට තේරුණා. කොහොම හරි විනාඩි 30කට කිට්ටු වෙලා­වක් මට අජී­ර්ණය හින්ද වැසි­කි­ළියේ ඉන්න සිද්ධ වුණා. මම මගේ රාජ­කාරි ස්ථාන­යට එන­කොට මෝස් සංඥා පුව­රු­වට දිගට හර­හට පණි­විඩ එනවා. මුහුද වැඩි­යෙන් කැල­ඹෙන්නෙ මොකද කියල ඒ එක්කම මම බැලුවා.

දෙයි­යනේ! නැවක් වරාය ඇතු­ළ­ටම යන්න ඇවිත්”

නොදැන ආ නැවක්

දෙවැනි ලෝක මහා යුද්ධය මුළු ලෝකය පුරා පැතිර තිබූ එම වක­වා­නුවේ ත්‍රිකු­ණා­ම­ලයේ කුඩා දූප­තක සේවය කළ හෙතෙම එදා වූ සිද්ධිය අප හා විස්තර කළේය.

“තව පොඩ්ඩෙන් අපේ අය නැවට පහර දෙනවා. පුදු­මා­කාර විදි­හට ඒක වැළැ­ක්වුණේ. ඒ දව­ස්වල ලෝකෙ හැම තැනම යුද්දෙ. සතුරු නැව් එන්න පුළු­වන් හින්ද ත්‍රිකු­ණා­ම­ලයේ පොඩි දූප­තක අපේ නාවික සංඥා මධ්‍ය­ස්ථා­න­යක් පිහි­ටුවා තිබුණා. වර­යාට ඇතුළු වන සිය­ලුම නැව් සම්බ­න්ධව එතැ­නින් ත්‍රිකු­ණා­ම­ලය නාවික හමුදා ප්‍රධාන කාර්යා­ල­යට දැන්විය යුතුව තිබුණා. අස­නීප තත්වය නිසා නැව වරාය ඇතු­ළට යන්න පටන් ගන්න තුරුම මට ඒ ගැන දන්වන්න බැරි­වුණා.

මොස් කෝඩ් එක භාවිතා කරල එන නැව් ගැන විස්තර දැනුම් දෙන්න බැරි වුණු නිසා ප්‍රධාන කාර්යා­ල­යෙන් නැවට පහර දෙන්න සුදා­නම් කර­ලයි තිබුණේ. දැන් නැවට ගහන්න ලෑස්තියි. ඒ නැව බ්‍රිතාන්‍ය රාජ­කීය නාවික හමු­දා­වට අයත් එකක්. මම ඉක්ම­නට මෝස් කෝඩ් එකෙන් පණි­වු­ඩය දුන්නා ඒක අපේ රාජ­කීය නාවික හමු­දා­වට අයත් නැවක් බව. මම තවත් තත්ත්පර 90ක් පමා වුණා නම් එදා ඒ නැව එතැ­නම මුහුදු බත්වෙන්න තිබුණා.” අම­ර­සේන මහතා ඒ අතීත අත්දැ­කීම විස්තර කළේය.

අදටත් මත­ක මෝස් කෝඩ්

“මෙච්චර වය­සට ගිහි­ල්ලත් මට අදත් මෝස් කෝඩ් මත­කයි.” ලෝක යුද සමයේ කතා රැසක් සම­ගින් සිය නාවික හමුදා ජීවි­තයේ අත්දැ­කීම් අප හා බෙදා හදා ගැනී­මට ඔහු සූදා­නම්ය.

“මම ඉප­දුණේ 1924 අවු­රුද්දේ සැප්තැ­ම්බර් 7 වැනිදා. අහු­න්ගල්ල ගල්වෙ­හෙර සිංහල පාසලේ 4 වන පංති­යට වෙන­කල් ඉගෙන ගෙන අහු­න්ගල්ල රාජ­පක්ෂ විද්‍යා­ල­යට ගියා. ඒත් අපට දිගින් දිග­ටම අධ්‍යා­ප­නය ලබන්න බැරි වුණා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණාට පස්සෙ ලංකා­ව­ටත් ඒකෙ බල­පෑම තිබුණා.

ඒ දව­ස්වල රාජ­කීය නාවික හමු­දා­වට ලංකා­වෙන් සාමා­ජි­ක­යින් බඳවා ගනිද්දි මමත් 1943 මැයි 18දා බ්‍රිතාන්‍ය නාවික හමු­දා­වට බැඳුණා. මට වැඩ­ක­රන්න වුණේ සංඥා අංශයෙ. නාවික සංඥා­කරු ලෙස. මට නැව්වල වගේම ගොඩ­බි­මත් වැඩ කරන්න ලැබුණා. බොහෝ විට මම රාජ­කාරි කෙළේ ත්‍රිකු­ණා­ම­ලයේ. එහි චැපල් හිල් දූපතේ වැඩ කරද්දි ලැබුණු අත්දැ­කීම් වැඩියි.

අපි දූප­තට ඕන කරන දේ ගැන ගොඩ­බි­මට දැනුම් දුන්නේ වර්ණ කොඩි වලින් කරපු සංඥා­ව­ලින්. ඒත් රෑට කොඩි සංඥා නොපෙ­නෙන නිසා අපි ඒ වෙනු­වට මෝස් සංඥා භාවිතා කළා. මෝස් කෝඩ් එක භාවිත කරන්න අපි පොඩි යන්ත්‍ර­යක් පාවිච්චි කළා. ඒකට ටෝච් බැටරි දාල එළිය පෙන්නුම් කරල ඇතැම් පණි­වුඩ දුන්නා. අනෙක් වෙලා­වට ‘මෝස් කෝඩ්‘ හරහා තමයි පණි­වුඩ යැව්වේ. අද අය මෝස් කෝඩ් (මෝස් සංකේත සංඥා) කියන්නෙ මොන­වද කියල දන්නෙත් නැතුව ඇති. අපි ශබ්ද යවන ක්‍රමය අනුව අනෙක් තැනැත්තා දන්නවා ඒ පණි­වු­ඩය මොකක්ද කියලා, ඒ වගේම අපි ශරීර අංග­ය­න්ගෙන් පවා සංකේත නිර්මා­ණය කර­ගෙන තිබුණා.

ඒක පුදු­මා­කාර අත්දැ­කීම් බහුල ජීවි­ත­යක්... අද කාලෙ වගෙ අපට පහ­සු­කම් තිබුණේ නැහැ. ත්‍රිකු­ණා­ම­ලයේ ඉඳල කොළඹ එන එකත් හරි­යට ඉන්දි­යා­වට ගිහින් එනව වගේ වැඩක්. දූපතේ ජීවි­තය කියන්නේ හරි­යට වෙනත් රටක ඉන්නවා වගේ. අපිට ගොඩ­බි­මට එන්න ලැබුණේ මාස­ය­කට දෙක­කට වරක්. ඒත් අපි රාජ­කා­රිය දේව­කා­රිය වගේ ඉටු කළා. ඉංග්‍රීසි ජාති­ක­යි­න්ගෙන් අපට ලැබුණු ලොකුම දායා­ද­යක් තමයි ඒ. අනෙක් එක තමයි නාවික හමු­දාවේ සිටි අයට හොඳට ඉංගි­රිසි දැනුම ලැබුණා. අපි වැඩ කෙළේ සුදු ජාති­ක­යින් එක්ක. ඒ දව­ස්වල ලංකා­වට නිද­හස ලැබිල තිබුණේ නැහැ. රාජ­කීය නාවික හමු­දාවෙ කොට­සක් තමයි අපේ රටේ ස්ථාපි­තව තිබුණේ. කාල­තු­ව­ක්කුත් ඒ දව­ස්වල භාවිතා කළා. ගාලු මුව­දොර තියෙන කාල­තු­වක්කු අතර ඒ දව­ස්වල පාවිච්චි කර­පු­වත් තිබෙ­නවා.

නැවක් බෙල්ලන් කඩ­න­තුරු වරායේ

ඒ කාලෙ සම­හර නෞකා ගමන් කෙළේ රුවල් ආධා­ර­යෙන්. අද මෙන් තාක්ෂ­ණ­යෙන් ඉහළ මට්ටමේ නෞකා තිබු­ණා­නම් ඒ ඉතාම අත­ළො­ස්සක්. ත්‍රිකු­ණා­ම­ලය වරායේ ස්වභා­වික පිහි­ටීම ගැන බ්‍රිතාන්‍ය ජාති­කයෝ බොහෝ සතුටු වුණා. එකල තිබුණු ගොඩක් නෞකා කර­ද­ර­යක් නැතිව වරා­යට ඇතුළු කිරී­මට හැකි­යාව තිබුණා. ත්‍රිකු­ණා­ම­ලය වරාය ආස­න්නයේ මුහුද සම­හර තැන්වල කිලෝ­මී­ට­ර­ය­කට ආසන්න ගැඹු­රක් තියෙ­නවා.

රාජ­කීය නාවික හමු­දා­වට අයක් නැවක් ත්‍රිකු­ණා­මලය අසල දවස් ගණ­නා­වක් නැංගු­රම් දමා තිබුණා. ඒ නැව පාවෙන තටා­කාං­ග­න­යට අර­ගෙන එහි අවර පෙත්තේ වගේම වතු­රින් යටව ඇති කොට­ස්වල එල්ලී සිටින බෙල්ලන් අයින් කර­න්නයි එසේ නැංගු­රම් දමා තිබුණේ. අපි නොසි­තු­වාට නැවක අව­ර­පෙත්තේ නැත්නම් ‘රඩ­රය‘ (අව­ර­පෙ­ත්තෙන් බලය ලබා දෙන අතර නැව හැර­වෙන අරි­ත්‍රය) බෙල්ලන් එල්ලී සිටි විට බල­යට සැල­කිය යුතු බල­පෑ­මක් එල්ල වනවා. නැවේ වේග­යට මෙන්ම නැව හැර­වී­ම­ටත් එය විශාල බාධා­වක්.

කපි­තා­න්ව­රයා ඒ බව දැන්වී­මෙන් පසු අද වගේ වියළි තටා­කාං­ගන (Dry Dock) නොතිබූ ඒ කාලෙ නැව පාවෙන තටා­කාං­ග­න­ය­කට ගන්නවා. එහි පතු­ළට වන්නට තියෙන්නේ හුළං පිරවූ අති­වි­ශාල කොට්ට සමූ­හ­යක්. පාවෙන තටා­කාං­ග­නයේ කිමි­දෙ­මින් තමයි අලු­ත්වැ­ඩියා කට­යුතු කරන්නේ.

අපි රාජ­කීය නැව අපි තටා­කාං­ග­න­යට ගත්තා. ඒත් ඒ නැව හුඟක් බර නිසා හුළං පිරවූ එක කොට්ට­යක් පුපු­රලා ගියා. ඒ වෙන­කොට නැව ලොකු දම්වැ­ල්ව­ලින් බැඳල තිබුණේ. ටිකෙන් ටික නැව පුපු­රපු හුළං කොට්ටයේ තිබුණු තැනින් ගිලෙන්න ගත්තා. මම ඉක්ම­නට දුවලා ගිහින් අනෙක් අයට කියලා කෑග­හලා දම්වැල් කපා දැමුවා. ඒ අතරේ කපි­තාන්ට කිව්වා නැව පාවෙන තටා­කාං­ග­න­යෙන් ඉවත් කර­ගන්න කියලා. අපි ඉක්මන් නොවු­ණා­නම් ඒ නැව එදා ගොඩ ගන්න බැරි­වෙන විදි­හට ගිලෙ­නවා.” අම­ර­සේන මහ­තාගේ කතා­බහ සෙමිනි. එහෙත් එකල සිදු­වීම් සියල්ල ඔහුට හොඳින් මත­කය.

“මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. එයින් තුන්දෙ­නෙක්ම පුතාල. ඒ සියලු දෙනාම රටට වැඩ දායක අය කරන්න මට පුළු­වන් වුණා. ඒක මට ලොකු සතු­ටක්.”

යළිත් අතීත මත­ක­යන් අතර සැරි­ස­රන අම­ර­සේන මහතා තවත් එක් අම­තක නොවූ සිදු­වී­මක් ගෙන හැර පෑවේය.

තටු­වක් කඩා­ගෙන ආ ගුවන් යානය

“රාජ­කීය නාවික හමු­දාවේ සේවය කරපු එඩි­න්බරෝ ආදි­පා­ද­ව­රයා ලෝක යුද්ද කාලෙ ලංකා­වට ආවා. ත්‍රිකු­ණා­ම­ලයේ නාවික කටා­කාං­ග­නයේ ඔහු සිටින විට නැවක තිබුණු ප්‍රහා­රක යානා දෙකක් (Ship Aircraft) ගුවන් ගත වුණේ ආදි­පා­ද­ව­ර­යාට පෙන්න­න්නයි. ඒත් එක් ප්‍රහා­රක යානා­වක් වේග­යෙන් පහත් කර­න­කොට අනෙක් ප්‍රහා­රක යානා­වට ඒ වේග­යෙන් ඉහ­ළට යන්නට බැරි වුණා. වේග­යෙන් ආපු යානාව අනෙක් යානයේ තටු­වක් කඩා­ගෙන නිය­මු­වාත් එක්කම මුහුදු බත් වුණා. තටුව කැඩුණු යානාව සැල­කිය යුතු වේලා­වක් මුහුදේ පාවෙ­මින් තිබුණු නිසා එහි නිය­මුවා බේරා ගන්නට හැකි­යාව ලැබුණා. මගේ රාජ­කාරි ජීවි­තයේ දැකපු දුක්මු­සුම සිදු­වීම එයයි. ආදි­පා­ද­ව­ර­යාත් ඒ සිදු­වී­මෙන් දැඩි සේ දුක් වුණා.

රාජ­කිය නාවික හමු­දාවේ හිටපු හැම කෙනෙක්ම දැන් විශ්‍රාම ගිහින්. සම­හර අය මිය ගිහින්. ඉන්න අපි එක්වෙලා පොඩි පොඩි සතුටු සාද පව­ත්වලා තියෙ­නවා. දැන් අපේ බොහෝ අයට අවු­රුදු 84ක් 85ක් ඉක්ම­වලා තියෙන්නේ.. ඉතු­රු­වෙලා ඉන්න අපි ටිකට නිල උත්ස­ව­යන්ට ආරා­ධනා ලැබුන්නෙ නැහැ. ඒත් වත්මන් නාවික හමු­දා­ප­ති­ව­රයා ශ්‍රී ලංකා­ව­ටට ඇම­රි­කා­වෙන් අපට ලැබුණු නවීන යුද නෞකාව දියත් කිරීමේ උත්ස­ව­යට අප­ටත් ආරා­ධනා කළා. අපි­ටත් එහිදී ලොකු පිළි­ගැ­නී­මක් තිබුණා. ඒක අපට කරපු ලොකු ගෞර­ව­යක් ලෙස මා දකි­නවා. අපිට ජනා­ධි­ප­ති­ව­රයා, ආර­ක්ෂක රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙන්ම ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් සමඟ එකට ඉන්නට අව­ස්ථාව ලැබුණා.

1947 අවු­රුද්දේ මම නාවික හමු­දා­වෙන් අස්වුණා.”

මෝස් සංඥා ක්‍රමය ගැන ඔහු සතු දැනුම අති මහත්ය. ඒ දැනුම එක්තැන් කර ‘මෝර්ස් හා (සැමෆෝ) මුද්‍රා සංදේ­ශ­නය’ නමින් අම­ර­සේන මහතා ග්‍රන්ථ­යක් ද සම්පා­ද­නය කර ඇත්තේය.

සේයාරූ-විමල් කරු­ණා­ති­ලක හා සමන් වෙදගේ

අදහස්