ඇත්ත දැන-දැනම පෙළපොතින් මතු කළ පුහු වින්දනය | සිළුමිණ

ඇත්ත දැන-දැනම පෙළපොතින් මතු කළ පුහු වින්දනය

2011දීත් හිටපු ජනාධිපතිගේ හා අධ්‍යාපන ඇමැතිගේ ඡායාරූප පෙළපොතට එක් කළා

පෙළපොත මුද්‍රණයට මිල ගණන් නියම වන්නේ අන්තර්ගතය අනුව නොවෙයි

අමතර ඡායාරූපයක් ඇතුළු කිරීමෙන් කිසිදු අමතර වියදමක් නැහැ

පාසල් පෙළපොත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ දරුවන්ට නොමිලයේ හිමි වන සම්පතකි. 1980 දශකයෙන් ඇරඹි මේ පෙළපොත් සිසු අයිතියට නොමිලයේ පත් කිරීමේ කර්තව්‍ය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිසාර්ථකව කරගෙන යනු ලැබේ. එහෙත් සමහර කාලවල මේ පෙළපොත් සම්බන්ධයෙන් විවිධ මතවාද හා චෝදනා රට පුරා පැතිරී යන අතර, තවත් සමහර අවස්ථාවල දේශපාලන වේදිකාවේදීද මේ පෙළපොත සම්බන්ධයෙන් විවිධ දේශපාලන ඝෝෂා ඉස්මතු වෙයි.

මේ සියලු හැලහැප්පීම් මැද රජය අතිවිශාල මුදලක් වසරකට පෙළපොත් සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් වියදම් කරයි. වසරකට රු. මිලියන 4000කට ආසන්න වූ මේ මුදල පෙළපොත් මුද්‍රණයට, ගබඩා කිරීමට හා බෙදාහැරීමට වෙන් වේ. වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ ගන්නේ දරුවන් අතට අලුත් පෙළපොතක් දීමෙන් ඔවුන්ගේ අලුත් වසර අලුත් කිරීමටය. මේ නිසා වසරින් වසර අලුතින්ම පෙළපොත් වර්ග 443ක් මුද්‍රණය කරනු ලබන අතර, ඒ අනුව වසරකට පෙළපොත් පිටපත් මිලියන 45ක ප්‍රමාණයක් මුද්‍රණය වේ. එසේම වසර 8කට වතාවක් පෙළපොත් අලුතින් ලිවීමක්ද සිදු කෙරෙන අතර, එහිදී පෙළපොතක බොහෝ වෙනස්කම් විෂය විශේෂඥ සංස්කාරක මණ්ඩලයක් අතින් සිදු වෙයි.

පෙළපොත් මුද්‍රණයට වාර්ෂිකව රජයෙන් වැය වන මේ සා විශාල මුදල සැලකිල්ලට බඳුන් කරමින් පසුගියදා විපක්ෂයේ ඇතැම් පිරිස් නැවතත් දේශපාලන වේදිකාවේ පෙළපොත් මුද්‍රණය සම්බන්ධයෙන් දැඩි විවේචන මතු කරන්න පටන්ගත්තේ ඉකුත් වසරේ පෙළපොත් මුද්‍රණයේදී වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ රූපය අධ්‍යාපන ඇමැතිවරයාගේ පණිවිඩය සමඟ ඇතුළත් කිරීම සම්බ්න්ධවය. එසේ ඇමැතිවරයාගේ වර්ණවත් ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් එක් පෙළපොතකට අමතර පිරිවැයක් දරන්නට හේතු වූ බව ඔවුන් ගොඩනැඟූ තර්කය විය.

මෙහිදී පෙළපොත්වලට අධ්‍යාපන ඇමැතිගේ පණිවිඩයක් ඇතුළත් කිරීමේ ඉතිහාසය මඳක් විමසා බැලුවොත්: එය පෙළපොත් නොමිලයේ සිසු අයිතියට පත් කිරීම ඇරඹුණු වකවානුවේ විෂයභාර ඇමැතිවරයාව සිටි ලයනල් ජයතිලක මහතාගේ යුගයේ සිටම පැවැත එන සිරිතක් බව පෙනී යයි. එපමණක් නොව, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාගේ පණිවිඩය හා සමහර අවස්ථාවල සම්පාදකවරුන්ගේ පණිවිඩද පෙළපොතට ඇතුළත් කෙරුණු අතර, විශේෂ අවස්ථාවලදී ජනාධිපතිවරයාගේ විශේෂ පණිවිඩයක්ද ඇතුළත් වූ අවස්ථා එමටය. මුලදී මේ පණිවිඩය කළු-සුදු වර්ණයෙන් මුද්‍රණය වූයේ පෙළපොත්ද කළු-සුදු පැහැ‍යෙන් පමණක් මුද්‍රණය වූ නිසාය. එහෙත් පසුකාලීනව චතුර්-වර්ණයෙන් පෙළපොත් මුද්‍රණය ආරම්භ වීමත් සමඟ මේ පණිවිඩද සිව්වර්ණයෙන්ම පළ වූ අතර, සමහර අවස්ථාවල පණිවිඩ සම්පාදකගේ ඡායාරූපයද අන්තර්ගත වීය.

මේ වන විට විපක්ෂයේ තර්කය වී ඇත්තේ වත්මන් අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡායාරූපය අදාළ පණිවිඩය සමඟ මුද්‍රණය කිරීම සම්බන්ධයෙනි. එහෙත් මේ විවේචකයන් පසුගිය වකවානුවල හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් යම් යම් අවස්ථාවල සිය පණිවිඩය පෙළපොතට ඇතුළත් කළා පමණක් නොව, මේ ආකාරයෙන්ම සිය වර්ණ ඡායාරූපද පණිවිඩයට ඇතුළු කර ඇති බව නොදැන සිටීම කණගාටුවට කරුණකි. එමෙන්ම කිසියම් මුද්‍රණයක මිල ගණනය කරනු ලබන්නේ, චතුර්-වර්ණ හෝ කළු-සුදු පිටු ගණන ඇතුළත් පිරිවිතර මත මිස, පිටුවල අන්තර්ගතය පරීක්ෂා කරමින් නොවන බව නොදැන සිටීම විමතියට කරුණකි.

ඒ සඳහා හොඳම උදාහරණය ලැබෙන්නේ මහ ඈතකින් නොවේ. 2011 වසරේදීද මේ ආකාරයෙන්ම අධ්‍යාපන ඇමැතිවරයාගේ පණිවිඩයට ඡායාරූප ඇතුළත් කිරීමක් සිදුව ඇති බව මෙහි ඉදිරිපත් කර ඇති ඡායාරූපවලින් සනාථ වෙයි මෙහි නිදර්ශක ලෙස දැක්වෙන්නේ 2011 වසරේ මුද්‍රණය වූ 11 වසරේ සෞඛ්‍ය අධ්‍යාපනය පෙළපොතය). සැබැවින්ම ඒ අවස්ථාවේ අධ්‍යාපන ඇමැතිවරයාගේ පමණක් නොව; එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද ඊට ඇතුළත් කර ඇති බව පෙනී යයි. මෙහි එකල අධ්‍යාපන ඇමැතිව සිටි බන්දුල ගුණවර්ණ මහතාගේ හා ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ වර්ණ ඡායාරූප මතු නොව, සම්බුද්ධත්ව ජයන්ති ගීතයක්ද ඇතුළත් කර ඇත්තේ චතුර්-වර්ණ පිටුවලය.

මෙසේ ඇස් පනා පිටම යථාර්ථය ඔප්පු වද්දී, හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් පනා මුවින් නොබැණ සිටීම තිබියේවා! මේ කොමිසම හමුවේ පෙත්සම් ඉදිරිපත් කළ තැනැත්තාද මෑත කාලයේ අධ්‍යාපන ඇමැතිකම දරා ඇත්තකු වීම අප වටහාගත යුත්තේ කෙසේද? පෙළපොත් මුද්‍රණ ක්‍රියාවලියේ යථාර්ථය අල්ප මාත්‍රයක් හෝ ඔහු නොදැන සිටි බව පැවසිය නොහැකිය.

"මේ කරුණ හරිම සරල දෙයක්. සමාන්‍යයෙන් පොතක මුල් පිටු දහය වෙන් වන්නේ විෂය මාලාවේ අන්තර්ගතයට නොවෙයි; පොත පිළිබඳ විස්තර හා පණිවිඩවලට. අප පොතක් මුද්‍රණය සඳහා මුද්‍රණාලයට භාර දෙන්නේ අදාළ පොත පිළිබඳ පෙරවිතරක් සකස් කරලායි. අප එය භාර දෙන විට සංස්කාරක මණ්ඩලය විසින් පොත ලියා සංස්කරණය කර අවසන්. එහෙත් මුද්‍රණාලය පොතේ අන්තර්ගතයේ ඇති කිසිවක් දන්නේ නැහැ.

ඒ අයට ඒවා අවශ්‍යත් නැහැ. ඒ අයට අප ලැබෙන්න සලස්වන්නේ පිරිවිතර පමණයි. ප්‍රසම්පාදන කමිටුවේදී ඒ අය අප ඉදිරිපත් කරන පිරිවිතර බලා ඒ සඳහා ඒ ඒ පොත මුද්‍රණයට යන මුදල අපට පැවසිය යුතුය. පෙළපොත් සකස් කිරීමේ පිරිවිතරවල අන්තර්ගත වන්නේ පෙළපොත සකස් විය යුතු ආකාරය පිළිබද විස්තරයි. පෙළපොතෙහි ප්‍රමාණය, කළුසුදු-චතුර්වර්ණ බව, පෙළපොත් වර්ගය, පොත සකස් කිරීමේ නිර්ණායක, ඇතුළත් කඩදාසිය, එහි GSM අගය, කඩදාසියේ ප්‍රභාවත් බව ආදි වශයෙන් වූ පිරිවිතරවලට අනුව තමයි මිලගණන් කැඳවන්නේ.

"මේ හැර පොතේ අන්තර්ගතය කුමක්ද, එහි ඇමැතිවරුන්ගේ වර්ණ පින්තූර තිබෙනවාද, ඒ පින්තූරවල ඉන්නේ කවුරුද කියන එක මුද්‍රණාලකරුට සිය මුදල තීරණය කිරීමට වැදගත් නැහැ.

එහෙම නැතිව ඡායාරූපයක් ඇතුළත් කළා කියා මිලගණන් වෙනස් වන්නේ නෑ. පසුගිය වසරේදීත් මේ ඡායාරූපය පළ කළා කියා සත පහක වියදමක් අමතරව වැය වී නැහැ. මේ වසරේ පමණක් නොව; පසුගිය වසරවලත් මේ ආකාරයෙන්ම පණිවිඩ සඳහා අදාළ ඇමැතිවරයාගේත්, ජනාධිපතිවරයාගේත් චතුර්වර්ණ ඡායාරූප ඇතුළත් කළ අවස්ථා තිබෙනවා."

එසේ පැවැසූයේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතාය.

එබැවින් පාසල් දරුවකුට පවා තේරුම් යන මෙවැනි සරල කරුණු විවාදයට බඳුන් කිරීමද කාලය නිරපරාදේ කා-දැමීමකි. මෙවැනි කිසිදු වැදගැම්මකට නැති කරුණක් හුවා දක්වමින්, නැති ප්‍රශ්න මතු කරලීමෙන් මොවුන් අපේ දරුවන්ගේ අධ්‍යාපනයට මේ කරන්නේ සහරාන්ලා කළාටත් වඩා දැඩි විනාශයක් නොවේද?

සුභාෂිණි ජයරත්න 

Comments