මේ ඉඩම් හා ජලය ජනතාවගේ උරුමයකි ! | සිළුමිණ

මේ ඉඩම් හා ජලය ජනතාවගේ උරුමයකි !

“ඉතිහාසයේ විවිධ මානව ශිෂ්ටාචාර සැලකිල්ලට ගත්තොත්, අධ්‍යයනය කළොත් පෙනෙන කාරණයක් තමයි මිනිස්සු ඉස්සෙල්ලාම සටන් කළේ ඉඩම් සහ ජලයට. අවුරුදු ලක්ෂ ගාණකට පෙර මිනිස්සු සටන් කළ දේවල් වලට අදත් සටන් කරනවා. අපේ අසල්වැසි මිත්‍ර රටක් වූ මහා භාරතයේ ඉතිහාසය පිළිබඳව කියවන විට ඉඩම් අයිතිය සහ ජලයේ අයිතිය පිළිබඳව පැවති සටන් පිළිබඳ ව සාක්ෂි සාධක සිය ගණනක් තිබෙනවා.”

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දින කීපයකට පෙර මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කළ සැමට ගෞරව කරමින් කරන ලද ඉහත සඳහන් ප්‍රකාශය අද අපගේ මේ ලිපියට කදිම ප්‍රවේශයක් සලසා දෙයි. මෙරටේ ජල සම්පත සුරැකීම සඳහා කැප වූ උතුම් මිනිසුන්ගේ මෙහෙවර අගයමින් කරන ලද ඒ අදහස් අද මේ රට උකස් කිරීමට හෝ විජාතිකකරණය කිරීම සඳහා පිඹුරුපත් සකසන පටු දේශපාලන චරිත වලට මෙන්ම බටහිරෙන් යැපෙන ඇන්ජීඕ රූකඩ වලට ද අතුල් පහරක් වැන්න. එහෙත් ඒ කිසිවකට සවන් නොදෙන මුරණ්ඩු ස්වරූපයකින් හා අහංකාර විලාසයකින් එබඳු අවස්ථාවාදීහු ක්‍රියා කරති. උපන් බිමට, ඒ බිමෙහි ජාතික හා සංස්කෘතික උරුමයන්ට නොසලකන ජාවාරම්කාර මූග්ධ පැලැන්තියක් විසින් මේ රටට කර තිබෙන හා කිරීමට සැරසෙන විනාශය සුළුපටු නැත. දේශපාලන වශයෙන් පමණක් නොව සදාචාරමය අතින් ද අද මේ රට දැඩි පිරිහීමකට ලක්ව තිබේ. අධිරාජ්‍යවාදීන් විසින් ඇතිකරන ලද සමාජ දේශපාලන වටිනාකම් හිසින් ගත් අපේ ඇතැම් පාලකයන්ට තවමත් මේ ජාතික වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැත. රටක නීති පද්ධතියක් පවත්වා ගෙන යෑම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවට අද සිදුව ඇත්තේ කුමක්ද?

මිනිසාගේ උදාරත්වය, මනුෂ්‍යත්වයෙහි අගය, සමානත්මතාව, මානව හිමිකම්, යුක්තිය හා සාධාරණය, නීතිය ඇතුළු බොහෝ දේවල් පිළිබඳ ජපකරමින් මේ රට අගාධයට තල්ලු කරන දුෂ්ට මෙහෙයුම් කොමපණ සිදු වේ ද? මුළු රට ම වෙළා ගත් කුඩු ජාවාරමෙන් විනාශ වී යන ජනකොටස් බේරා ගැනීම උදෙසා ක්‍රියාත්මක කරන ලද මත්ජාවාරමුන් මැඬලීමේ ජනාධිපතිගේ ක්‍රියාදාමයට අද එරෙහිව සිටින්නෝ කවරහුද? ඒ කළුසල්ලි වලින් සැප විඳින කුඩු ජාවාරමුන් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්ට මහත්වරුන් කියන්නේ මරණ දඬුවම ශිෂ්ට රටකට නුසුදුසු බව ය. අද සකල විධ දුෂ්ට බලවේග මුවා වන්නේ බුදුදහම අවධාරණය කරන සංස්කෘතික හා සදාචාරාත්මක වටිනාකම් වලට ය. මරණ දඬුවම අහෝසි කරනුයි මොර දෙන ඇන්ජීඕ නඩවල සීලය කෙබඳු දැයි අපි දනිමු. වංක දේශපාලන චරිත සමඟ එක්ව බුදු බණ මතක් කරන මේ චෞර නඩවල සැබෑ අරමුණ දුසිරිත දුරලීම හෝ ජාවාරමුන් මැඬලීම නොවේ.

මෛත්‍රී ජනාධිපතිවරයා කුඩු ජාවාරමුන් එල්ලා මැරීමට යෝජනා කිරීම මහ පොළව නොඋසුලන අපරාධයක් බවට පරසක්වළ ගසන මේ ඇන්ජීඕ නඩ කුඩු උවදුර මැඬලීමට කළ මැදිහත්වීම කුමක්ද? සමාජ දේහයම වසා ගත් මත්කුඩු උවදුර දුරලීමට දැඩි නීති ඉදිරිපත් වීම වැලැක්වීමේ වාසිය කුඩ්ඩන්ට විනා ඉන් ජීවිත විනාශ කර ගත් අයට නොවේ. ඒ පිළිබඳව ඊට වඩා යමක් දැනට නොකියමු. කුමක් වුවත් දැන් කුඩුකාරයන්ට සුවසේ නිදාගත හැකිය.

මේ වන විට සමාජ දේශපාලන අංශවල දැඩි අවධානයට ලක් වූ මාතෘකාව කුඩු නොව ආණ්ඩුව ගෙන ඒමට අර අඳින නව ඉඩම් කෙටුම්පත ය. මෛත්‍රී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රබලයන්ට මූණට ම කියා සිටියේ මේ ඉඩම් පනතට තමන්ට එකඟ විය නොහැකි බවය. පනතෙහි දැක්වෙන විධි විධාන රටට දැඩි හානිදායක බව ජනාධිපතිවරයා කියා සිටියේය. එසේම එම කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට පෙර සංශෝධන ගණනාවක් ම කළ යුතු බව ජනාධිපතිවරයාගේ අවධාරණය විය. මෙබඳු පනතක් සම්මත කිරීමට පෙර මහජන අවධානයට යොමු විය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය. පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදු විය. කෙසේ හෝ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එ් ඉඩම් (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිත ව ම සිය නිරීක්ෂණ දන්වා තිබුණි. ඇමතිවරයාගේ යෝජනා සමඟ තමන්ට එකඟ විය නොහැකි බව දැන්වු ජනාධිපතිවරයා අවධාරණය කළේ කාරක සභා අවස්ථාවේ එය සංශෝධන කළ නොහැකි බව ය.

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් නිසා එහි තිබෙන සීමිත ඉඩම් ප්‍රමාණයෙහි හිමිකම් සම්බන්ධයෙන් ඉතා ප්‍රවේශමින් හා සාවධානව ක්‍රියා කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. අප ආරම්යේදි සඳහන් කළ පරිදිම මේ රටේ බලයට පත් ඇතැම් ආණ්ඩු විසින් සිදු කරන ලද ඉඩම් කොල්ල ගැන විවිධ චෝදනා තිබේ. ඉතිහාසය මුළුල්ලේම එබඳු අසාධාරණ ක්‍රියාකාරකම් නිසා ජනතාවට අත්වූ විපාක ගැන ද අපි දනිමු. එහෙත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන නොතකා ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පවසා තිබුණි. ඔහුගේ චෝදනාව වූයේ ජනතාව භුක්ති විඳිමින් සිටි පාරම්පරික ඉඩම් නව පනත හරහා ඇමෙරිකාව ඇතුලු බහුජාතික සමාගම් වලට ලබා ගැනීමේ සැලසුමක් තිබෙන බව ය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ ඉඩම් ප්‍රතිපත්තිය එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජය විසින් අනුමත කළ ප්‍රතිපත්තියට සමාන වූවකි. එයින් ප්‍රකාශ වූයේ ඉඩම් අයිතිය මුල් කොට ඇති වූ වැඩවසම් යුගයේ මනුෂ්‍ය සබඳතාවල නටබුන් සාර්ථක ලෙස දුරලීමටත් ගම්බද ණයගැති බව තුරන් කිරීම සුළු ඉඩම් හිමියාගේ ඉඩම් දියුණු කර කැබලිවී ගිය ඉඩම් කට්ටි ඒකාබද්ධ කිරීම හා ගම්බද ඉඩම් වලට නිරවුල් ඔප්පු ලබා දීම වැනි කරුණුය. එදා මැතිනියගේ ආණ්ඩුව ඉඩම් සම්බන්ධයෙන් දැක්වුයේ මෙරටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට නොදිය යුතු බව ය. ඉඩම් හිඟය මඟහැර ලීමට වගා නොකළ වතු ඉඩම් රජයට පවරා බෙදා දීමට ද තීරණය වී තිබුණි.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැනි ව්‍යාපෘතිවල මුඛ්‍ය අරමුණ වී ඇත්තේ ද ජලය, ඉඩම් අයිතිය සුරැකීමත් ග්‍රාමීය ජීවිත නංවාලීමත් ය. මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ නීති සම්පාදනය කළ යුත්තේ ජනතා හිත සුව සඳහා බව ය. ආණ්ඩුවේ කාට හෝ මෙරටේ භූමිය, නැතහොත් ඉඩම් හිමිකම සට කපට ලෙස ජනතාවට අහිමි කිරීමේ දුෂ්ට අරමුණක් තිබේද යන්න අපි නොදනිමු. එහෙත් ජනාධිපතිවරයාගේ අදහස් නොතකා ඒවාට උඩින් පැන ඉඩම් පිළිබඳ අයිතිය ලිහිල් කිරීම ජාතික අපරාධයක් බව අපි සෘජුවම කියමු. එනිසාම එබඳු තීරණයක් ඉතා අනුචිත බව අපගේ ද අදහස ය. කලකට පෙර මෙරටේ ඉඩම් අක්කරයක් රු.2ක් වැනි මිලකට කත්සේරු කර තම හිතවතකුට දීමේ පුවතක් ගැන ද අපට මතකය. කෙසේ වුවද වර්තමාන දේශපාලනය තුළ ක්‍රියාත්මක වන සමාජ, දේශපාලන හා සංස්කෘතික ගැටුම නව ලිබරල්වාදය මත ඇති වන්නක් බව ඉතා පැහැදිලිය. මෛත්‍රී ජනාධිපතිවරයා එයට ඉඩ නොදීම හා බටහිර ගැති ආර්ථික න්‍යායන් සමග එකඟ නොවීම ද අද රටට ම පෙනෙන දේශපාලන චිත්‍රයයි.

අද රටට අවශ්‍ය වී ඇත්තේ එක් රටක්, එක් ජාතියක් යන තේමාව වුවත් ඒ තුළ සියලු ජාතික හා සංස්කෘතික අනන්‍යතා සුරැකීම ද අත්‍යාවශ්‍ය වේ. ආර්ථික සමාජ වරප්‍රසාද එක් පන්තියකට හිමි කර දීමේ ධනවාදී න්‍යාය පත්‍රය අතට ගත් අය මේ ආණ්ඩුව සමඟ සිටිති. ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය ආයතන විසින් මෙරටේ ආර්ථිකය මෙයෙවීමේ ප්‍රයත්නයන් පරාජය කිරීම වෙනුවට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මේ රට ඒ බලමුළු වලට අලෙවි කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ මුවාවෙන් ජනතා ඇසට වැලි ගසන එන්ජීඕ නඩ අද මෛත්‍රී ජනාධිපතිවරයාට එරෙහිව සිටින්නේ ද ජන­ාධිපතිවරයා එයට හරස් වන නිසා ය. හොරකම, දූෂණය නාස්තිය පිළිබඳව නැඟෙන චෝදනාවල ද නිමක් නැත. පසුගියදා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා විවාදයේදි ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සමහර මන්ත්‍රීන් විසින් නඟන ලද චෝදනා ආණ්ඩුව දුර්මුඛ කරවන සුළු විය. ආණ්ඩුවට ළැදි පිළිවෙත් අනුගමනය කරන ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇතැම් ඇමතිවරුන්ට එල්ල කරන චෝදනා බරපතල ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ උද්ගතව තිබෙන අවුල ද සුළු පටු නොවේ. 2015 ජනවාරි 08 ජනවරම අනුව ඇති කළ බව කියන ඒ ප්‍රතිසංස්කරණ වලින් රටට, ජනතාවට සිදු වූ සේවයට වඩා රටේ ඉදිරි ගමනට සිදු වී තිබෙන බාධා වැඩි බව එ් ක්‍රියාවලියට අත් එසවූ අය ම කියති. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන්ද විවිධ මත ප්‍රකාශ වෙමින් තිබේ. එසේ නම් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම නොමැනවැයි කිව හැකිද? මහජනතාව විසින් වසර හයක් සඳහා පත් කරන ලද ජනාධිපතිවරයකුගේ ධුර කාලය අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවටද සමහරු තර්ක කරති. කුමක් වුවත් නීති විශාරදයන් හා ඇන්ජීඕ බක පඬිවරුන් දකින ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ සමාජයක් අද මේ රටේ තිබේද? හිතුවක්කාර ලෙස රටට හානිදායක අණපනත් සම්මත කිරීමට හෝ හිතුමතයට ගිවිසුම් වලට එළඹීමට හෝ ඉඩ තිබේද යන්නත් ප්‍රශ්නයකි. 1978 ව්‍යවස්ථාව මගින් දුබල කරන ලද ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් පද්ධතිය 19 වැනි සංශෝධනයෙන් සවිබල ගැන්වී ඇතැයි කිව හැකිද? ඇත්ත කතාව නම් බහුතර ජනතාව තුළ ඇත්තේ සියල්ල විනාශ වී කුණු වී ගිය රටක තමන් අසරණ වී සිටිනවා වැනි හැඟීමකි. දේශපාලන සදාචාරය තම ඇස් පනා පිට කඩා වැටී තිබෙන බවකි. බෞද්ධ දර්ශනයේ පිහිටා ක්‍රියා කරන බව කියන සමහරු අපේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමට තරම් වත් නොදන්නෝ ය. බුද්ධ දර්ශනය පිළිබඳ ඇන්ජීඕ අර්ථකථන ද ඇසෙයි.

ශ්‍රී ලංකාව විජාතික කොළනියක් බවට පත් කිරීමට ගිවිසුම් සකස් කරන බව අද තිබෙන බරපතල චෝදනාවකි. ආර්ථික මර්මස්ථාන විකුණන, ආරක්ෂිත වනාන්තර විනාශ කරන, අන්තවාදීන් පෝෂණය කරන, ඡන්ද මිස රට ගැන නොබලන අන්ද මන්ද දේශපාලන අවුලක් රටේ නිර්මාණ්‍ය වී ඇතැයි විපක්ෂය චෝදනා නඟති. ඇතැම් ඇමතිවරු ජනතා මුදලින් ලක්ෂ ගණන් වැය කර ප්‍රතිරූප නෙළමින් සිටිතියි ද කියනු ඇසේ. රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි අනූදහසකට නොඅඩු බව පසුගිය දිනක පාර්ලිමේන්තුවේදීම කියැවිණි. මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව කියන්නේ රටේ පරමාධිපත්‍යයට හා ස්වෛරීත්වයට හානිවන කිසිවක් නොකරන බව ය.

අද බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන කතා කරති. එහෙත් රට පුරා විසිරෙමින් යන වෙනත් ආගමික අන්තවාද ගැන හ්ම් හඬක් නොනගති. හේතුව බලය රැක දෙන ඡන්ද මල්ල අඩු විය හැකිය යන බියයි. 1956 දී සිංහල පමණයි සටන් පාඨය අතට ගත් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එවක ප්‍රකට දේශප්‍රේමියකු වී සිටි විල්මට් ඒ පෙරේරා මහතාට තම පක්ෂයෙන් අගලවත්ත ආසනය තරග කිරීමට ආරාධනා කර ඇත. එහෙත් ඔහු ඒ ආරාධනාව බාර නොගත්තේ සිංහල භාෂා ප්‍රතිපත්තිය නිසා දෙමළ සිංහල භේදයක් අනාගතයේදී ඇති විය හැකි බව කියමිනි. සිංහල දෙමළ ජාතීන් දෙකටම සමගියෙන් ජීවත්විය හැකි රටක් ගැන එලෙස සිතු උදාර මිනිස්සු වූහ. විල්මට් පෙරේරා යනු සිංහල බෞද්ධ සංස්කෘතිය සුරැකීමටත් මේ මව්බිම එක්සත්ව තිබෙනු දැකීමටත් සිය ධනය හා ශ්‍රමය වැය කළ පරමාදර්ශී පුද්ගලයෙකි. එහෙත් අපේ දේශපාලනය තුළ අද බහුලව සිටින්නේ කෙබඳු පිරිසක් දැයි විමසා බලන ලෙස අපි ඔබට ම පවරමු.

පසුගිය දිනක දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එස් ශ්‍රී ධරන් කිළිනොච්චියේ පාසැල් උත්සවයකට සහභාගි වෙමින් ලොමු දැහැ ගන්වන සුළු ප්‍රකාශයක් කර තිබුණි. පාසැල් දරුවන් අමතමින් ඔහු කියා සිටියේ ඔබේ පාසැල සුරැකීමට ප්‍රධාන දොරටුව ඉදිරිපස සිටින සොල්දාදුවා දෙමළ ජාතිය විනාශ කළ හමුදාවට අයත් වූවකු බව ය. ගෙදර ගොසින් මව්පියන් විමසා, එදා හමුදාව දෙමළ වැසියන් ඝාතනය කළ අයුරු දැන ගන්නා ලෙස ද ඔහු ඒ දරුවන්ගෙන් ඉල්ලූ බවක් ද මාධ්‍යවල වාර්තා විය.

අප ඉහතින් සඳහන් කළ විල්මට් පෙරේරා ශ්‍රීමතාණන් සමග සසඳන විට මේ බොහෝ දේශපාලන චරිත ඔල්මාදකාරයන් ලෙස ඔබට සිතෙන්ට ද බැරි නැත. දෙමළ මන්ත්‍රීතුමා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අනුමත කරන්නෙක්දැයි අපි නොවිමසමු. එහෙත් අපේ දරුවන්ට විෂ පොවා සිංහල දෙමළ වෛරය යළි දැල්වීමට යමෙක් ක්‍රියා කරත් නම් ඔහු දෝහියකු බව කීමට අපි කිසිසේත් මැලි නොවන්නෙමු. ශ්‍රී ධරන් වර්ගයේ දේශපාලන චරිත අද උතුරට බිය සැකයකින් තොරව යන්නේත් රට වෙනුවෙන් දිවි දුන් අපේ හමුදා විරුවන්ගේ විකුම් නිසා පමණක් ඔවුන්ට මතක් කර දිය යුතුය.

කුමක් වුවත් මේ රට ගොඩ නැංවීමට මෙන්ම ජාතික සමගිය තහවුරු කිරීමට දේශපාලනඥයන්ට මෙන්ම ජනතාව වන අපටද වගකීමක් තිබේ. ජාතිවාදී ඔළුවේ කැක්කුම් තිබෙන දේශපාලනඥයන් හඳුනා ගැනීමත් ඔවුන් ඉතිහාසයේ කුණු බක්කියට විසි කිරීමටත් සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජන කොටස් බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතු බව අපි යෝජනා කරමු. එසේම මේ මව්බිම හා ජලය යනු අප කාගේත් උරුමය බවට මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද අවධාරණයේ වැදගත් කමද අප සිහියේ රඳවා ගත යුතුය. මේ ජලය හා ඉඩම් වල අයිතිය මතු මතුව බිහිවන පරම්පරාවන් වෙනුවෙන් සුරැකීම මේ මව්බිමට තිබෙන ගරු ණය ගෙවීමක් බවද සඳහන් කළ යුතුය.

අදහස්