විශ්වාස භංගයට රනිල් මහින්ද කලින්ම සූදානම් වෙලා | සිළුමිණ

විශ්වාස භංගයට රනිල් මහින්ද කලින්ම සූදානම් වෙලා

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංගය ආණ්ඩුව විසින් ඡන්ද 119 ලබා ගනිමින් ජයග්‍රහණය කළා. ඇයි එහෙම වුණේ?

ඇත්තටම අපි මෙය පරාජයක් හැටියට දකින්නේ නැහැ. මීට පෙර රජයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාවලදී මේ තරම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ නෑ. මෙවර රජයට එරෙහිව මන්ත්‍රිරවරුන් 92 ඡන්දය ප්‍රකාශ කළා. මෙහි ඇති අනිත් ප්‍රධාන කරුණ තමයි විපක්ෂයේ මන්ත්‍රිවරුන් 12 දෙනකුම නොපැමිණීම. නොපැමිණි පිරිස අතර ඒකාබද්ධයේ ප්‍රබල දේශපාලන චරිත සිටිනවා. අපට හිතෙන්නේ මේක ඩීල් එකක් කියලයි. ඒ කියන්නේ විශ්වාස භංගයට රනිල් මහින්ද කලින් සූදානම් වී ඇති බවයි.

ආණ්ඩුවට සම්බන්ධ එක මන්ත්‍රිවරයයි ආවේ නැත්තේ. රාජපක්ෂ මහතාට සම්බන්ධ 12ක්ම ආවේ නෑ. අනික මෙයින් බොහෝදෙනකුම සවස 3, 4 වන තුරුම පාර්ලිමේන්තුවේ රැඳී සිටියා. ඇයි ඔවුන් ඡන්දය විමසන අවස්ථාවේ පමණක් නොසිටියේ කියන ගැටලුව ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් පහසු කාරණයක්. ඉතාම තියුණු ලෙස ආණ්ඩුවට අභියෝගයක් එල්ල වුණු මේ අවස්ථාව මඟ හැරි පිරිස අතර පවිත්‍රා දේවි, ගම්මන්පිල, විජේදාස රාජපක්ෂ ග්‍රේරු වගේ පිරිසකුත් එස්.බී. නාවින්න මහතා යන අයත් හිටියා.

මේ රටේ ජාතික ආරක්ෂාව නැති කරමින්, මේ රට මහා විනාශයකට ගමන් කරමින් මේ ආණ්ඩුව සිදු කරන අධම පාලනයට විරුද්ධව තමයි අපි‍ මේ පියවර ගත්තේ.

මෙහිදී සුපුරුදු පරිදි ටී.එන්.ඒ. මන්ත්‍රිවරුන් පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ හොර නඩේ රකින්නට කටයුතු කළා. රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමට වඩා ටී.එන්.ඒ. එකට අවශ්‍ය වුණේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ගණකාධිකාරිවරයෙක් ලබා ගැනීම තමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. ඒ සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය රැක ගැනීමට ටී.එන්.ඒ. සංවිධානය සහය දැක්වූයේ.

මොවුන් මෙහිදී සිදු කළේ මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කළ සහරාන්ගේ සිද්ධියයි ගණකාධිකාරිවරයා ලබා ගැනීමයි තරාදියකට දමලා ගණකාධිකාරිවරයා ලබා ගැනීමේ පැත්ත බර කරලා එය ලබා ගැනීමයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධය සමඟ එක ගමනක් ගියා කියලා කිව්වොත් ඒ චෝදනාවට මොකද කියන්නේ?

ඇත්තට ම එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒ නඩය සිදුකරන දේශපාලනය අපට වඩා සම්පූර්ණ වෙනස්. අප සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් කැප වුණු දේශප්‍රේමි ව්‍යාපාරයක කටයුතු. අපට ඕන මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රටට ජාතියට ආදරය කරන දේශපාලන බලවේගයකට මේ රට බාර දෙන්නයි. ඒ නිසා අප කිසිවිටක වෙන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ.

අනික විශ්වාස භංගය ගෙන ආවේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඔවුන්ගේ ජන ජීවිතය රැක ගැනීමේ අරමුණෙන්.

ඕනෑම කණ්ඩායමක් රටට යහපත් ක්‍රියාවක් සිදු කරන්නේ නම් අප පක්ෂ වනවා. ඒ වගේම ඕනෑම කණ්ඩායමක් රටට එරෙහිව කටයුතු කරන්නේ නම් අප ඔවුනට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම්.

පළාත් සභා, පාර්ලිමේන්තු ‍හෝ ජනාධිපතිවරණයක් ඉතා ඉක්මනින් පවත්වන ලක්ෂණ පහළ වෙනවා. ඔබලාගේ සූදානම?

ඇත්තට ම ඕනෑම මැතිවරණයකට මුහුණ ‍දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ සඳහා අපි මේ වන විට ජාතික බලවේගයක් සකස් කරමින් ශක්තිමත් වෙමින් සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපති වෙයි කියලා ඔබට කියන්න පුළුවන්ද?

ඇත්තට ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එ.ජා.ප කණ්ඩායමත්, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසත් මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමත් ගතහොත් මොවුන් අතර කියවෙන කිසිම නායකයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී පත් නොකළ යුතුයි. මේ කණ්ඩායම් තුනේම තිබෙන්නේ රට විනාශ කර දැමී‍ෙම් කුමන්ත්‍රණ පමණයි. ඔවුන් රට ගැන හෝ ජනතාව ගැන සිතා ක්‍රියා කරන ආකාරයක් පෙනෙන්නට නැහැ. පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධය පවුල් දේශපාලනයක් සිදුකරමින් තමයි සිටින්නේ. අයියා හෝ මල්ලි මේ රටේ ජනාධිපති වීමට අප තිත තැබිය යුතුයි.

ඉදිරියේදී මේ ‍රටේ පත්වන ජනාධිපතිවරයා දේශයට ආදරය කරන, උගත් බුද්ධිමත් රට හොඳින් කරවන නායකයෙකු විය යුතුයි. ඒ සඳහා ක්‍රියා කරන දේශපාලන පක්ෂයක නායකයෙකු විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් හැටියට මේ සඳහා සුදුසුයි. අප දේශ හිතෛෂි බලවේග ඒකරාශි කරමින් එම නායකයා ගෙන ඒමට ක්‍රියා කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ක්‍රියා කරන ආකාරය පිළිබඳව නොයෙක් චෝදනා එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන් ම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කිරීම. බුද්ධි නිලධාරින් ඉදිරිපත් කිරීම වැනි කරුණු. මේ කරන්නේ හොඳ වැඩක්ද?

ඇත්තට ම මෙවැනි ජාතික ව්‍යසනයකදී පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලයක් තිබිය යුතුයි සහමුලින්ම පරීක්ෂණයක් කරන්න. අනික මෙහිදී හෙළිවී ඇති බුද්ධි තොරතුරක් නැහැ කියන මතය තමයි අප දරන්නේ. අනික මෙයට ඉදිරිපත් වෙන නිලධාරින්ට දැනුම් දෙනවා විශේෂ හෙළිදරව් කිරීමක් (බුද්ධි තොරතුරු) තිබේ නම් ඒ බව දැනුම් දෙන ලෙස. මෙතෙක් එහෙම දැනුම් දීමක් නැහැ.

පැහැදිලිවම මෙම ප්‍රහාරය සම්බන්ධව විශාල පිරිසකගේ රෙදි ගැලවෙනවා මෙම පරීක්ෂණය නිසි පරිදි මෙහිදී සිදු වුණොත්. එහෙත් මෙහි සිටින දේශපාලනඥයන් කිහිපදෙනකු ප්‍රහාරය සඳහා වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බවයි පෙනී යන්නේ. අනික පොහොට්ටුවට මෙයින් සිදුවී ඇත්තේ ඔවුන්ට ලකුණු රැස් කරන්න තිබුණු අවස්ථාව නැති වෙලා ගොස් තිබෙනවා. මෙම තේරීම් කාරක සභා පත් කරන්න අත්සන් තබපු අය අතර එ.ජා.ප. මන්ත්‍රිවරු 17, පොහොට්ටු මන්ත්‍රිවරු 13, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන් 02, ටී.එන්. 04ක් සිටිනවා. ඒ නිසා මෙහි සිදුවන්නේ කුමක්ද කියන එක පැහැදිලියි.

Comments