ශ්‍රීලනිප බහුතරයක් ඉන්නේ පොහොට්ටුව එක්කයි | සිළුමිණ

ශ්‍රීලනිප බහුතරයක් ඉන්නේ පොහොට්ටුව එක්කයි

ජනතා විමුක්ති‍ පෙරමුණ විසින් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන ලද විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවට හැකිවුණා නේද ‍.?

කැඩිලා බිඳිලා සුනුවිසුණු වෙලා ගිය ආණ්ඩුව එකතු කරන්න ඒවගේම ස්ථාවර කරන්න ගෙනාව විශ්වාසභංගයක් විදිහටයි මා මෙය දකින්නේ. ඒනිසා එය පරාජය කිරීමේ අපේක්ෂාවක් ඒක ගෙනාව අයට තිබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විස්වාසභංගය ගෙන ආවේ, රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විස්වාස භංග යෝජනාව ජයග්‍රහණ කිරීමටයි. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රිවරුන් සමඟ සාකච්ජා කිරීමට ක්‍රියා නොකළේ ආණ්ඩුව රැක ගැනීමේ යටි අරමුණින් කියලා අපිට සැකයක් තියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ හදිසි නීතිය ගෙන ඒමට පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම ආණ්ඩුව බාර ගතයුතු බවට ගෙන ආ මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට කිසිදු සදාචාර අයිතියක් නැහැ. විශ්වාස භංගයේදි ආණ්ඩුව ට සහය දුන් දෙමළ පක්ෂ සංධානය සැබැවින්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියනවා. මේ ආණ්ඩුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවාට වඩා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ වරදාන වරප්‍රසාද ලබාදෙනවා

ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ‍ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡා අගෝස්තු මාසයේ දහ වැනිදායින් පසුව අවසන් වන බවත් පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බවත් ඇතැම් මන්ත්‍රිවරුන් සඳහන් කරනවා.?

මේ වන විට එකඟතාවක් නැහැ. කාරණා විසිපහක් සම්බන්ධයෙන් දෙපාර්ශ්ව අතර පුළුල් සාකච්ඡා මේවන විට පවත්වනවා. අවසානයේ සාකච්ඡා වටය පැවැත්වුවාට පසුව ඒ මොනවාද, එකඟතාවන් මොනවාද කියලා අපිට දැනගන්නට පුළුවන් වෙයි; පක්ෂ දෙකම ඒ සම්බන්ධයෙන් රටට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරයි. දහවැනිදා වන විට සාකච්ඡා වට ඉවර වෙනවා; එ් වනතුරු අපිට එකඟතාවන් මොනවාද කියලා කියලා කියන්න අමාරුයි. සාකච්ජාවල අරමුණ තියෙන්නේ එ ජා ප ආණ්ඩුවට විරුද්ධ රටේ පුළුල් සන්ධානයක් ‍ගොඩනඟන එකයි. අපි හිතනවා එයට ශ්‍රිලනිපයත් එක්සත් ජාතික පක්ෂ විරෝධි පිලට එකතු වෙයි කියලා. අද රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත් වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණයි. එවැනි අවස්ථාවක මම හිතන්නේ නැහැ ශ්‍රිලනිප ට එජාපය සමඟ සන්ධාන ගතවීමට අවශ්‍යතාවක් නැති වෙයි කියලා.

එකඟතා සම්බන්ධයෙන් ඇති කරුණු තවම සාකච්ජා මට්ටමේ තියනේනේ කියලා ඔබ කීවත් එම ගොඩනඟන්නට යන පක්ෂයේ ව්‍යුහය පිළිබඳ සාකච්ජා කර අවසන් කියලා ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා ?

සාකච්ජාවට කිහිපයක්ම පැවැත්වුවා. තවදුරටත් සාකච්ජා වෙමින් පවතිනවා කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් සියයට සියයක් එකඟතාවකට ඇවිත් නැහැ .

පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමට නොහැකි වුවහොත් වෙනම සන්ධානයක් ගොඩනඟන බව ශ්‍රිලනිප ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා.?

ශ්‍රිලනිපයේ ප්‍රතිපත්ති ද, එජාපයේ ප්‍රතිපත්ති ද වැදගත් වෙන්නේ කියලා එදාට අපිට බලාගන්න පුළුවන්. ශ්‍රිලනිප ඇතුළෙ බහුතරයක් ඉන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වෙලා. ඉන්න පාර්ශ්වත් ඉන්නේ එජාපය සමඟ සන්ධාන ගතවීමේ අරමුණින් නොවෙයි. ශ්‍රි ලනිප එවැනි තීරණයක් ගනී කියල මම හිතන්නේ නැහැ. එහෙම තීන්දුවක් ගන්න ක්‍රමවේදයකුත් නැහැ; එජාප සමඟ සන්ධාන ගතවෙලා හදපු ආණ්ඩුවත් අසාර්ථක වුණානේ. එ නිසා මම හිතන්නේ නැහැ ඒ වගේ තැනකට ගමන් කරයි කියලා.

අගෝස්තු එකොළොස්වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ව හෙළිදරව් කරනවා කියලා ප්‍රකාශ කරනවා. පක්ෂයේ අති බහුතරයක් මන්ත්‍රිවරුන් වගේම ඔබේ තේරීමත් ගෝඨාභය රාජපක්ෂ මහතාද ?

‍ගෝඨාභය රාජපක්ෂ මහතා වඩා සුදුසුයි කියන කාරණාව පිළිගන්නෙ මම විතරක් නොවෙයි. මේ රටේ දේශපාලනඥයන් පමණක් නොවෙයි; දේශපාලනයට ඍජු ව සම්බන්ධ නොවන පිරිස් පවා අපේ රටේ ඊළඟ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව යෝජනා කරනවා. ජනතා මතවාදයට පිටින් ගමන් කරන්නට කාගේවත් අවශ්‍යතාවක් නැහැ. එකොළොස්වැනිදා මේ රටේ ජනාධිපති වීමට සුදුසුම නායකයා පිළිබඳ ව නිවේදනය නිකුත් කරයි.

ශ්‍රිලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයකු පත් වුවහොත් වඩා හොඳයි කියලා ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා?

ඇත්තටම ශ්‍රීලනිපයට තියන ආදරයට ද එසේ කියන්නේ එසේ නැතිනම් එජාපයට සිදුවන හානිය වළක්වන්න ද කියලා අපි හිතන්න ඕන. මේ ර‍ටේ අති බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය දක්වනවා අපිට ඒ ජයග්‍රහණය ගැන විශ්වාසයි.

ආණ්ඩු පක්ෂය විපක්ෂය විසින් මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, වර්ග වාදය ඇති කරන්න හදනවා කියලා චෝදනාවක් කරනවා ?

අදටත් ජාතිවාදය අවුස්සලා මැතිවරණයකට යන්න තමයි ආණ්ඩුවට ඕන. අපිට එසේ කිරීමට අවශතාවක් නැහැ; ඒ අයටයි ඒ අවශ්‍යතාව තියෙන්නේ.

අදහස්