කලා කෘති­යක් කර­නවා කියලා හැම­ දේ ම නිරු­වත් කළ යුතු නැහැ : ගුණ­සිංහ හෙට්ටි­ආ­රච්චි | සිළුමිණ

කලා කෘති­යක් කර­නවා කියලා හැම­ දේ ම නිරු­වත් කළ යුතු නැහැ : ගුණ­සිංහ හෙට්ටි­ආ­රච්චි

කුඹල්මණ්ඩිය ලියා අවසන් කරන්න වසර දහයක් ගියා

කවුරු කොහොම කිව්වත් අපේ රටේ මිනිස්සු තවමත් කුල ප්‍රශ්නය නිසා පීඩා විඳිනවා

තමන් ලියන දේ දරුවාගෙන් අයින් කරනවා නම් ඒ නිර්මාණයේ තේරුමක් නැහැ

 

අපේ සාහිත්‍ය ඇල්ම දැල්වුණේ එදා ගුරුවරුන් දැනුම වගේම ජීවිතයත් කියාදුන් නිසයි

ඔහු ගැන කෙටියෙන් ම හැඳින්වුව හොත් ඔහු පාඨක හදට දැනෙන්නට ලියන්නට පුළුවන් පත්තරකාරයෙකි. එමෙන්ම සම්මාන දිනු නවකතාකරුවෙකි. කුඹල්මැණ්ඩිය යනු ගුණසිංහ හෙට්ටිආරච්චි විසින් ලියන ලද අලුත්ම නවකතාවයි. මේ කතාබහ ඒ වෙනුවෙනි.

ඔබ නවකතාවක් කරන්නේ වසර ගණනාවකට පසුව

මෙතන දි කාලය නෙමෙයි ප්‍රශ්නය. මම කලක් ලියනවා; ආයෙත් ටිකක් නිකන් ඉන්නවා; නිදහසේ ලියපු ටික කියවලා බලනවා; හදනවා; නැවත ලියනවා. ඔය විදිහට මම මේ පොත ලිව්වා. ඒ මම පුරුදු වෙලා ඉන්න හැටි. සංස්කරණය කර කර ලියද්දි පොත පෝෂණය වෙනවා. එහෙම බලද්දි මේ පොත අවසන් කරන්න වසර දහයක් ගියා.

 

සකල ශරීරයෙන් ම මැටි නාගත් මිනිහෙක් මහපොළොවෙන් මතු වුණේය‘ ඔබ කුඹල්මැණ්ඩිය නවකතාව අරඹන්නේ එලෙසින්. එයම නවකතාව කියවීමට පාඨකයා තුළ යම් පෙලඹවීමක් ඇති කරනවා. මේ අත්දැකීම ඔබ ඔබේ කර ගත්තේ කෙසේද?

මම මෙවැනි ගම්වල මිනිසුන් ඇසුරු කර තිබෙනවා. කාලයක් තිස්සේ ඇසුරු කරන්න ලැබුණු මේ චරිත ගැන මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණේ. මේ මිනිස්සුන්ගේ ජීවන රටාව, චින්තනය, කුල පීඩනය, දුක මේ සියල්ල දිහා බලුවාම මට විශාල අනුකම්පාවක් දැනුණා. පොතේ එන ජිවදාස, චුටි වගේ චරිත වෙනත් ආකාරයෙන් මගේ හිතේ පැලපදියම් වෙලා හිටියා. මට මේ මිනිස්සු ගැන විශාල දුකක් ඇති වුණා. ඒ අවට ගම්මානවල හිටිය ඇතැම් ප්‍රභුන් මේ ගම්මානයේ අයට පිහිට වීමේ අවස්ථා දැක තිබුණා. මෙන්න මේ අත්දැකීම් ගොන්න තමයි අවසානයේ නවකතාවේ චරිත ලෙසින් ගොඩනැඟුණේ.

 

කුඹල් ගමේ කුල ප්‍රශ්නය, වැඩිහිටියන්ගේ චින්තනයේ ගැටලු තිබුණත් ඔබ සුනිමල් කියන චරිතය හඳුන්වා දෙනවා. සුනිමල් මෙහි ප්‍රබල චරිතයක් ලෙසින් අපට හැගෙන්නේ ඇයි...

මා ඇසුරු කළ කුඹල් ගමේ ඔය වැනි පුත්තු හිටියා. මගේ චරිතයට මුල් වුණ ඔය කියන මනුස්සයා හරි දක්ෂයි. මම දන්න තරමින් එයා පසු කලෙක ගුරුවරයෙක් වුණා. ඔහු උගතෙක් වුණාට පස්සේ ඒ සමාජයෙන් මිදිලා යන්න ගියා.

නමුදු මගේ කතාවේ ළමයා තවම මෝරලා නැහැ. අනාගතයේ තමයි මෙය වෙන්නේ. මොහු තමයි නවකතාව බවට පත්වන්නේ.”

 

අද බොහෝ අය කියන්නේ කුල ප්‍රශ්නය මේ සමාජයේ නැහැ කියලා. එවන් කතාබහක් තියෙන සමයක ඔබ කුල ප්‍රශ්නය ගැන කතා කරනවා.

ඔව්. බොහෝ අය එහෙම කියනවා තමයි. නමුත් මං කියනවා ඒක එහෙම නැහැ කියලා.

මතුපිටින් බැලුවාම නම් කාටත් පේන්නේ ඒ විදිහට තමයි. ඔබ බලන්න පත්තරයක පළ වන මංගල දැන්වීම් තීරයක් අරගෙන. ඒ දැන්වීමේ මුල්තැන දීලා තියෙන්නේ කුලයට. ඡන්දයකදි මිනිස්සු තැන දෙන්නේ කෙනෙක් තෝරා ගන්නේ කුලයට මුල් තැන දීලා. මේ ප්‍රශ්නය මිනිස්නුන්ගේ හිතේ හැංගිලා තියෙනවා. අවශ්‍ය වෙලාවෙදි මතු වෙනවා. අපේ රටේ කුල ප්‍රශ්නය ඉතාම ප්‍රබලව දැකිය හැක්කේ සංඝ සමාජය තුළ. බුද්ධ දේශනාව තුළ නිකාය බේදයක් නැහැ. නමුත් අද අපේ භික්ෂු සමාජයේ නිකාය බේදය තියෙනවා. ඉතින් කොහොමද අපි කියන්නේ මේ වර්තමාන සමාජයේ කුල බේදය නැහැ කියලා. හැමෝම සමානයි කිව්වට, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා කිව්වට මේවා ඇත්තට ම තියෙනවද කියලා හිතෙන්නේ ඒ ගැන නැවත නැවත කල්පනා කිරීමේදි. කවුරු කොහොම කිව්වත් අපේ රටේ මිනිස්සු තවමත් කුල ප්‍රශ්නය නිසා පීඩා විඳිනවා.

 

අද බිහිවෙන නවකතා ගැන විවිධ කතා, විවිධ විචාර තියෙනවා. සමහරු ඉන්නේ ලිංගිකත්වය නැත්නම් පොත් විකුණ ගන්න බැහැ කියන තැන. නමුත් ඔබ බොහෝම සංයමයෙන් ඉවසීමෙන් මේ පොත ලියා තිබෙනවා.

මගේ කෘතියේ කුඹලාගේ අධ්‍යාත්මය කියන්නේ එකක්. ලිංගිකත්වය කියන්නේ තව එකක්. බොහෝ අය හිතනවා නවකතාවක ප්‍රමුඛතාව දිය යුත්තේ ලිංගිකත්වයට කියලා. අද බොහෝ විට වෙළෙදාම වෙලා තියෙන්නේ එයයි. මම මෙහෙම කියන්නම්, නවකතාකරු හෝ නවකතාකාරිය අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු නම් තමන්ගෙ දරුවාට මුහුණ දෙන්න ඕන; තමන් ලියන දේ දරුවාගෙන් අයින් කරනවා නම් ඒ නිර්මාණයේ තේරුමක් නැහැ.

අපි ඉන්නේ සංස්කෘතියක් ඇතුළේ. කලා කෘතියක් කරනවා කියලා හැම දේම නිරුවත් කළ යුතු නැහැ. ඒක ඒ අයගේ විදිහ; මේක මගෙ විදිහ. මේ වන විටත් මට මගේ නවකතාව සම්බන්ධයෙන් එය කියවූ පාඨකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ලේඛකයෙක් විදිහට මට ඒ ගැන තිබෙන සතුට අපමණයි.

 

නවකතාකරුවෙක් වීමට පෙර ඔබ පුවත්පත්කලාවේදියෙක්. ගුණසිංහ හෙට්ටිආරච්චි නම් වූ නිර්මාණකරුවා, ගොඩනැඟෙන්නේ කෙලෙසින්ද?

අපිට අපේ පාසල් කාලයේදි හොඳ රසවින්දනයක් තිබුණා. හොඳ පොත් කියවන්නට ලැබුණා. ජීවිතය තේරුම් ගන්නට උගත් බුද්ධිමතුන්ගේ ඇසුර ලැබුණා.මට මතකයි මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලේ සිළුමිණ පුවත්පතට කවි පෙළක් ලිව්වා. ඒ කවි පෙළ මම මගේ සිංහල ගුරුවරයා වුණ ගුණසේකර සර්ට පෙන්නුවා. සර් මේ කවි පෙළ පන්තියේ කියවලා මෙය රසවිඳිමු කියලා එදා පන්තියේදි එය ඉදිරිපත් කළා. ඔහු අපට සිංහල විෂය ගැන මෙන්ම රසවින්දනය ගැන ජීවිතය ගැනත් කියා දුන්නා. එදා සිටිය ගුරුවරු පාසල් විෂය පමණක් නොව ජීවිතය ගැනත් ලෝකය ගැනත් කියා දෙන්නට හැකියාව තිබූ අය හිටියේ. ඒ අාභාසය නිසයි අප තුළ සාහිත්‍ය ගැන නිර්මාණ ගැන ඇල්ම ඇති වුණේ.

 

කුඹල්මැණ්ඩිය විප්ලවකාරයකු ගේ කතාවක් ද?

මේ කතාවට පාදක වන්නේ මම ආව ගිය ගමක ඇසු දුටු අසුරු කළ චරිත. මේ චරිත පුද්ගල සිද්ධින් සාහිත්‍යයෙන් තොරව මම වින්දා නම් මෙය නිකම්ම නිකම් කතාවක් විතරයි.

නමුත් මම ලේඛකයෙක් නිසා, කුඹල්මැණ්ඩියට අයත් ගම්මානයේ පුද්ගලන්ගේ හැසිරිම් ඔවුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත ඔවුන්ගේ සංස්කෘතිය ආදී නොයෙක් දේ මම වින්දා .

මා තුළ යම් ප්‍රතිභාවක් ඇති නිසයි එලෙස වුණේ. නිකම්ම නිකම් අත්දැකීම් ලියැවෙන්නේ නැතිව ගම්මානය අවට පරිසරය ආදිය ගැන ලියැවිලා තියෙන්නේ. මේ චරිත සංවේදි වෙලා තියෙන්නේ ඒකයි.

සැබැවින්ම පොත රසවිඳීමේ අයිතිය පාඨකයාට අයිතියි.

 

අදහස්